පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමු
විශ්‍රාමික ආචාර්ය,
කේ. ආර්.එම්. ගුණසේකර
මේ දිනවල ශ්‍රී ලංකා ගුවන් විදුලිය සේවයේ ස්වදේශීය අංශයෙන් පෙරවරු 8.00
සිට 9.00 දක්වාත් රාත්‍රී 8.00 සිට 9.00 දක්වාත් යනුවෙන් දිනකට දෙවරක්
ධර්ම දේශනා විකාශය කෙරෙයි. මේ කර්තව්‍යය පිළිබඳ ගුවන් විදුලියේ ස්වදේශ
අංශයට ප්‍රශංසා ලැබිය යුතු ය. එහෙත් මේ ධර්ම දේශනාවලින්ද මතු වන එක්
කරුණක් පිළිබඳ අප තුළ ඇති වන්නේ බලවත් කනගාටුවකි. මේ කනස්සල්ලට හේතු
වන්නේ අද්‍යතන පාරිවේණික අධ්‍යාපනය පිරිහී ඇති බව ගම්‍ය වීමයි. මේ අදහස
පිළිබඳ සමහර බෞද්ධ භික්‍ෂූන් වහන්සේ විරුද්ධ වන්නට පුළුවන. එය තමන්
වහන්සේට මදි පුංචිකමක් ලෙස ඔවුන් වහන්සේට හැඟෙන්නට ඉඩ තිබේ.
සත්‍යය අමිහිරි වූවද බෞද්ධ ජනතාව ඒ පිළිබඳ විමර්ශනශීලීව බැලිය යුතු
කාලය එළඹ තිබේ. මෙහි මුලින් කියැවුණු ගුවන් විදුලිය සේවයේ
ධර්මානුශාසනයක් පැවැත් වූ උගත් භික්‍ෂූන් වහන්සේ නමකගේ මුවින් පිට වූ
වදන් අතර ආර්ථිකමය, ලෞකිකමය, භෞතිකමය යන යෙදුම් අසන්නට ලැබිණ. මෙවත්
වදන් අද්‍යතන ව්‍යවහාර භාෂාවේ කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ. අද
ජනමාධ්‍යයෙහි භාවිත වන සිංහල භාෂාව පිරිහී ඇති බව බොහෝ වැඩිහිටි
උගතුන්ගේ අදහස වී තිබේ. ඒ අදහස මුසාවක් නොවේ. එහෙත් පාසල, පිරිවෙන,
විශ්වවිද්‍යාලය යන අපේ අධ්‍යාපන ආයතනයන්හි නිවැරැදිව සැලැකිල්ලෙන්
යුතුව සිංහල භාෂාව ඉගැන්වෙන්නේ නම්, ජනමාධ්‍යයෙහි සේවය කරන්නවුන්ගෙන්
බස මෙතරම් කෙලෙසෙන්නට ඉඩක් නැත. ජනමාධ්‍යයන්හි සේවයට ඇතුළත් වන්නෝ ද මේ
අධ්‍යාපනායතනයන්හි උගත්තවුන් වන හෙයිනි. අපේ රටේ අධ්‍යාපනයෙහි මූලික
වගකීම දරන රජය මේ ගැන අවධානය යොමු කළ යුතු යි. ජනමාධ්‍යය මූලික වරදකරු
නොවේ.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ මෙරට රජයේ පාසල්වල ගුරුවරු දෙලක්‍ෂයක් පමණ
සේවයේ යෙදෙති. එබඳු තත්ත්වයක් තිබිය දී භාෂාව කෙලෙසීමේ වරද ජනමාධ්‍ය
වෙතම එල්ල කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවේ. එහෙත් බොහෝ ජනමාධ්‍යයන්හි
භාවිත සිංහල භාෂාව දූෂිත ව ඇති බව සත්‍යයකි. අපේ බෞද්ධ භික්‍ෂූන්
වහන්සේ විසින් භාවිත කැරෙන භාෂාවද වරදින් ගහණ වෙමින් පවතී නම්, සෙසු
අංශයන්හි බස ගැන කවර කතා ද?
ධර්ම දේශක ස්වාමීන් වහන්සේ නමකගේ මුවින් නිකුත් වූ ඉහත සඳහන් වදන්
පිළිබඳ අපි මඳකට විමසිලිමත් වෙමු. ආර්ථිකමය ලෞකිකමය, භෞතිකමය යන වචන
තුනම අයත් වන්නේ ප්‍රත්‍යායාර්ථ නාම දෙවර්ගයෙන් තද්ධිත අංශයටයි. නාමයක්
අදහස් ප්‍රකාශ කිරීම සඳහා නොයෙක් අර්ථ ගැන්වීමේ දී විභක්ති ප්‍රත්‍යයන්
යෙදිය යුතු වෙයි. එහෙත් සෑම නාමයකටම තද්ධිත ප්‍රත්‍යයන් නො යෙදේ. එසේම
නාමයකට තද්ධිත ප්‍රත්‍යයක් යෙදුණු විට ඇති වන්නේ විභක්ති අර්ථ ගත් නාම
පදයක් නොව, විභක්ති අර්ථ නොගත් වෙනත් නාමයකි. එය නොයෙක් අර්ථයන්හි
යෙදීමට යළි විභක්ති ප්‍රත්‍යයත් යෙදිය යුතුවෙයි. එහෙත් අද බොහෝ නාමයන්ට
අනුචිත තද්ධිත ප්‍රත්‍යයන් යෙදීමට තරම් බස පිළිබඳ නිසි දැනුම බොහෝ දෙනා
වෙතින් තුරන් ව ඇති බවක් පෙනේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ද මේ පිරිහීම්
රැල්ලට අසු වෙමින් සිටින බවක් ගම්‍ය වෙයි.
මෙහි දැක්වුණු වචන තුනම වරදින් යුතු ය. එය දැනගනු සඳහා වචන විග්‍රහ කොට
බැලිය යුතු වෙයි. මේ වදන්වල නාම හා ප්‍රත්‍යය මෙසේ වෙන් කොට දැක්විය
හැකි ය.
ආර්ථිකමය – අර්ථ + ඉක + මය
ලෞකිකමය - ලෝක + ඉක+ මය
භෞතිකමය – භූත+ ඉක+ මය
පිළිවෙළින් මෙහි මුලින් දැක්වෙන අර්ථ, ලෝක භූත යන කොටස් නාම ගණයට වැටේ.
මේ නාම තුනම ‘ඉක’ යන තද්ධිත ප්‍රත්‍යය යෙදී තද්ධිත නාම සැදී ඇත. එය
සිදුවී ඇත්තේ පහත දැක්වෙන ලෙසිනි..
අර්ථ + ඉක – ආර්ථික (ධනය හෙවත් සම්පත් සම්බන්ධ දේ)
ලෝක + ඉක - ලෞකික (ලෝකයට අයත්, ලෝකය පිළිබඳ ලෝකයට සම්බන්ධ)
භූත + ඉක - භෞතික (හටගත් ස්වභාවික දේ)
‘ඉක’ ප්‍රත්‍යයෙන් අයත්, සම්බන්ධ යන අර්ථ දෙකම දැක්වෙන බව මෙහිලා
සැලැකීම මැනැවි. එක් තද්ධිත ප්‍රත්‍යයක් නාමයකට එකතු වී ඇතිවන තද්ධිත
නාමයකට යළි තවත් තද්ධිත ප්‍රත්‍යයක් එක්වීම ව්‍යාකරණ න්‍යායට කිසිසේත
නොගැළපේ. ඒ අනුව ආර්ථිකමය, භෞතිකමය, ලෞකිකමය යන යෙදුම් සාවද්‍ය වේ. ඒවා
නිවැරැදි ව යෙදිය යුත්තේ ආර්ථික, භෞතික, ලෞකික යනුවෙන් පමණි. මෙසේ ‘ඉක’
ප්‍රත්‍යය යෙදී ඇති වචන වලට මය ප්‍රත්‍යය ද යෙදුණු බොහෝ වචන අද්‍යතන
සිංහල භාෂාවේ භාවිත වෙයි. ඒ සියල්ලම වරදින් දූෂිත යෙදුම් වෙයි. එවන්
සාවද්‍ය යෙදුම් උගත් භික්‍ෂූන් වහන්සේ ධර්ම දේශනය හා ධර්ම ලේඛනය සඳහා
භාවිතයට ගැනීමෙන් පෙනෙන්නේ ඔවුන් වහන්සේ ද අද සිංහල භාෂා දැනුමෙන්
පිරිහී යමින් සිටින බවයි.
අද මය ප්‍රත්‍යය නිසි තැනට වඩා නොනිසි තැනට යෙදීමෙන් සිංහල භාෂාව
කෙලෙසී ඇති ආකාරය බොහෝ තැන්වල දැකිය හැකි ය. එවැනි යෙදුම් අපමණ දක්නට
ලැබෙතත් මෙවැනි ලිපියක ඒ සියල්ල සඳහා ඉඩකඩ නොගත හැකි හෙයින් එකක්,
දෙකක් පමණක් මෙහි දක්වනු ලැබේ.
වෘත්තීමය, කාන්තිමය යන දෙවදන පිළිබඳ ව අපි විමසා බලමු. මේ ;දවදන මෙසේ
විග්‍රහ කොට දැක්විය හැකි ය.
වෘත්තීයමය – වෘත්ත+ ඊය+ මය
කාන්තිමය – කාන්ති+ මය
ඉහත දැක්වුණු ආර්ථික ආදී වචනවල මෙන්ම වෘත්තීයම යන්නෙහිද ‘වෘත්ත’ යන
නාමයට ඊයේ,මය යනුවෙන් තද්ධිත ප්‍රත්‍යයන් දෙකක් යෙදී ඇත. වෘත්ත යනු
පැවැත්මයි. එයට ඊය ප්‍රත්‍යය යෙදුණු විට පැවැත්ම හා සම්බන්ධ පැවැත්මට
අයත් යන අර්ථ ගම්‍ය වෙයි. සාමාන්‍යයෙන් අද මෙයින් වැඩි වශයෙන් අදහස්
වන්නේ රැකියාවට අයත් රැකියාවට සම්බන්ධ යන අර්ථයන් ය. වෘත්තීය සමිති
වෘත්තිය අයිතිවාසිකම්, වෘත්තීය දක්‍ෂතා යන යෙදුම්වලින් එය මනා සේ වටහා
ගත හැකි ය. වෘත්තියමය අයිතිවාසිකම් ආදී වශයෙන් භාවිත කිරීම සාවද්‍ය
වෙයි. ඊය යන්නද තද්ධිත ප්‍රත්‍යයකි. එය යෙදී සෑදුණු තද්ධිත නාමවලට යළි
‘මය’ ප්‍රත්‍යයද යෙදීම සාවද්‍ය වූත්, අනවශ්‍ය වූත් ක්‍රියාවකි. මෙවැනි
අනවශ්‍ය යෙදුම්වලින්ද සිදු වන්නේ බස කෙලෙසීමයි.
‘කාන්ති’ යනු එළිය, දිස්නය, රැස් යන අර්ථ දෙන නාමයකි. එයට යෙදිය යුත්තේ
‘මත්’ යන තද්ධිත ප්‍රත්‍යය මිස ‘මය’ යන ප්‍රත්‍ය නොවේ. ‘වත්, මත්’ යන
ප්‍රත්‍යය දෙකින් දෙන අදහස් වන්නේ ඇති, යුක්ත යන අර්ථයි. කාන්ති+ මත් –
කාන්තිමත් යන්නෙන් ‘කාන්තියෙන් යුක්ත’ ආදී අවස්ථාවට උචිත ලෙස අර්ථ
ගම්‍ය වෙයි. ‘කාන්තිමය’ යන්න නුසුදුසු යෙදීමකි. මෙසේ අද බොහෝ සාවද්‍ය
යෙදුම් ජනමාධ්‍යයන්හි බෙහෙවින් භාවිත වෙමින් සමස්ත සමාජයෙහිම පැතිර
යයි. එයින් වැළැකීමට හෝ ඒවා නිරවුල් කර ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක්
නූතන සිංහල භික්‍ෂූන් වහන්සේට ද නොමැති බව පෙනේ.
නාම පද හා යෙදී කරණ අවධි යන විභක්ති අර්ථ දෙන ඉන්, එන් යන ප්‍රත්‍යය
හැර දමා ඒ වෙනුවට අද්‍යතන භාවිතයෙහි තුළින්, හරහා යන පද බවට පත්වීම
භාෂාවේ වර්ධනයට අයත් ලක්‍ෂණයක් නොව, භාෂාවේ පරිහානියට අයත් ලක්‍ෂණයකි.
එය සමස්ත සමාජය කෙරෙහිම බලපා ඇති බවට උදාහරණ වශයෙන් භික්‍ෂූන් වහන්සේ
ගේ ලේඛන හා දේශනවලින් උපුටා දැක්විය හැකි යෙදුම් කීපයක් පමණක් පහත
සඳහන් වෙයි.
(අ) ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා, තුළින් නිර්වාණය අවබෝධ කළ හැකි වෙයි.
(සමහර විට වැකියෙහි අග කොටස”... නිර්වාණය කරා යා හැකි ය. යනුවෙන් ද
යෙදුණු අවස්ථා ඇත.)
(ආ) අවිද්‍යාව හරහා, තුළින් සංස්කාර හටගනී.
(ඉ) චතුරාර්ය සත්‍ය හරහා, තුළින් සියලු දුක් කෙළවර වේ.
(ඊ) ආනන්ද හාමුදුරුවන් හරහා මහා ප්‍රජාපතී බිසව ඇතුළු පිරිසට බුදු
සස්නෙහි පැවිදි බව ලැබිණ.
මේ වාක්‍යයන්හි යෙදී ඇති හරහා, තුළින් යන පදවලින් නිසි ලෙස ප්‍රස්තුතයට
සුදුසු අර්ථ මතු නොවෙයි. මෑතක් වන තෙක්ම මෙවැනි තැන්වල යෙදුණේ ඉන්, එන්
ප්‍රත්‍යයන් ගෙන් තැනට ගැළැපෙන ප්‍රත්‍යය හා යෙදුණු සුදුසු පදයකි. අද ඒ
යෝග්‍ය යෙදුම් දවසින් දවස ශීඝ්‍රයෙන් ඉවත් වී යන බව පෙනේ. අද යෙදෙන
තුළින් යන්න ‘ඉන්’ ප්‍රත්‍යය හා යෙදුණු ‘තුළ’ යන පදයයි. මෙවැනි තැන්වලට
එය යෙදීම නොමනා කාරියකි.
උක්තාඛ්‍යාත සම්බන්ධයේ සිට විවිධ වියරණ විවිධ උල්ලංඝනය කෙරෙමින්ද
අනවශ්‍ය වූත් නොමනා වූත් බස කෙලෙසෙන යෙදුම්වලින් ද අද්‍යතන භාෂා
ව්‍යවහාරය දූෂණය වෙමින් ඇති බවට උදාහරණ කොතෙකුත් දැක්විය හැකි වූවද
මෙහිලා ඒවා ඇතුළත් කිරීමට ඉඩක් නැත. එසේ වූවද ඉහත සඳහන් වූ වාක්‍ය
කිහිපය පිළිබඳව, කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් මෙහිලා අවශ්‍ය වේ. ‘අ’
යන්නෙන් දැක්වෙන වාක්‍යයට තුළින්, හරහා යන පද දෙකෙන් එකක් වත් සුදුසු
නොවේ. එයට යෝග්‍ය වන්නේ මාර්ගය අනුගමනයෙන්, මාර්ගයෙහි යෙදීමෙන්, මාර්ගය
පිළිපැදීමෙන් ආදී යෙදුම් අතරින් එකකි. මාර්ගයෙන් යන්න පමණක් යෙදුණේ
වූවද යම් පමණකට එයද සෑහෙයි. අද්‍යතන කෙලෙසුණු බස් වහරට නතු වූවන් අතින්
මාර්ගය අනුගමනයෙන් ආදී යෙදුම් වූවද යෙදෙතත් ඒවාද නිසි සම්භාවිත විභක්ති
ප්‍රත්‍යයන් අස් කොට මාර්ගය අනුගමනය හරහා තුළින්, මාර්ගය පිළිපැදීම
හරහා තුළින් ආදී වශයෙන් අනවශ්‍ය නූතන භාවිතයට නතු වූ ලෙසින් ම
ලියැවෙනු, කියැවෙනු ඇත.
‘ආ’ යන්නෙහි තුළින් හරහා යන යෙදුම් නිසා බුද්ධ ධර්මයේ පටිච්ච සමුප්පාද
ධර්මය වැනි ගැඹුරු ධර්ම කාරණාවල ඇති සියුම් බව යටපත් වෙයි. ‘අවිජ්ජා
පච්චයා සංඛාරා’ යන්නෙහි යෙදී ඇති ‘පච්චයා’ යන්නෙහි අදහස අවිද්‍යාව
හේතුකොට ගෙන අවිද්‍යාව ප්‍රත්‍යය කොටගෙන යන්නයි. |