UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

<% whichfile=ID & ".asp" Set fs = Server.CreateObject("Scripting.FileSystemObject") Set rs = fs.GetFile(Server.MapPath(whichfile)) Call ReadDisplayFile(whichfile) %>‘නිවන’ කුමක්ද? එය ලබන්නේ කෙසේද?

බොදු මඟ ගත් කාගේත් පැතුම වන්නේ පරම නිෂ්ඨාව වූ නිවනයි. සියලු දුක් කෙළවර කොට සසර ගමන නිම කිරීම බුදුරදුන්ගේ ඉගැන්වීම්වල පරමාර්ථයයි. ජීවත්ව සිටිය දී තමන් විසිනුත්, මියගිය පසු අනුන් විසිනුත් පතනු ලබන නිවන යනු එතරම් ම සුන්දර වූ ද සරල වූ ද ප්‍රකට වූ ද ප්‍රාප්තියක් ලෙස ගෙන ඇති බව නොකිවමනා ය. “නිබ්බානං පරමං සුඛං” යනුවෙන් දැක්වෙන පරිදි නිවන පරම සුඛය යි. “පරම” යන්නෙන් උපරිමාර්ථය දක්වයි. එම සුඛය ඉක්මවූ වෙනත් සුඛයක් නැත. එය ලෝකය ඉක්මවා ගිය එකකි.

පිළිගැනීමට කැමැති වුණත්, නැතත්, ‘නිවන’ යනු පුද්ගලයා ගේ මරණයෙන් පසු ලබන තත්ත්වයක් ය යන ආකල්පය අප තුළ බොහෝ විට උත්පාදනය කරනු ලැබ ඇත. නිවන් සුවය පිළිබඳ අපගේ අනුභූතීන් ඒකරාශි වී ඇත්තේ ලෞකික නිර්ණායකයන්ට සාපේක්‍ෂව බව පෙනේ. සැපය පිළිබඳ අපගේ ආකල්ප සැකසී ඇත්තේ ලෙඩදුක් ජරා මරණාදී කිසිවක් නැතිව, ජීවත්වීම සඳහා අවශ්‍ය සියලු දෑ කිසිදු කරදරයකින් තොරව නිරායාසයෙන් පහළ වී සැහැල්ලුවෙන් සතුටින් වාසය කිරීම කෙරෙහි ය. ඒ අනුව නිවන යනු මෙකි සියලු සැප සම්පත්වලින් අනූන වූ, කෑම බීම නිද්‍රාදී කරදර පවා නැතිව අමරණීය වූ එක්තරා සුවිශේෂී සුපිරි තැනක් ය යන ආකල්පයක් කෙනකු තුළ පහළ වී තිබිය හැකි ය. ‘නිවන් සුව විඳින පුද්ගලයෙක් ඇත’ යන දෘෂ්ටිය, එතැන ඇත. තමාට තිබුණු බරපතළ කරදරයකින් මිදුණු විට, ‘නිවන් ගියා’ වාගේ යැයි කෙනෙක් ප්‍රකාශ කරන්නේ, ඒ නිසා විය හැකි ය. ඉදින් එවැනි සුපිරි සුඛයක් ප්‍රාර්ථනා නොකරන්නේ කවුරු ද? තව ද නිවන යනු කෙනකුට කළ හැකි උසස්තම මහා කුසල ක්‍රියා කළ විට එහි “විපාක” වශයෙන් ලබන ඉහළතම සුඛය ලෙසද වරදවා හැඳින්වෙන අවස්ථා ද අසන්නට ලැබේ.

නිවන සක්ෂාත් කර නොගත් අයට, එහි ස්වභාවය කෙබඳු දැ’යි කාරණයෙන් තෝරා දීමට ත්‍රිපිටක දේශනා, අටුවා, ටිකා ඇසුරෙන්, බොහෝ වියත් පඬිවරු ප්‍රශංසනීය උත්සාහයක යෙදී ඇත. අප එය තේරුම් ගැනීමට වෑයමස කරන්නේ, භාෂාව මාධ්‍යය කරගෙන ය. එසේ පැහැදිලි කර ඇති මූලාශ්‍ර ඇසුරු කරගෙන මෙහි දී උත්සාහ කැරෙන්නේ ඒ පිළිබඳ සංක්‍ෂිප්ත හැඳින්වීමක් කිරීමට ය. දේශනා හා ග්‍රන්ථකරණය මගින් එසේ තෝරා දී ඇති වියතුන් නිවන් අවබෝධ ලත් අයද නැත් ද යන්න මේ සඳහා වැදගත් නොවේ. කරුණු පිළිබඳ වටහා ගැනීම වනාහි පුද්ගල බද්ධභාවයෙන් ෂයුක්තව, අපගේම නුවණින් කළ යුතු බව බුද්ධාවවාදය යි. එසේ සඳහන් කැරෙන්නේ, ප්‍රකාශ කරන්නා කෙරෙහි ඇති පැහැදීමට හා පිළිගැනීමට සාපේක්‍ෂව දහම් කාරණාවල සනාථ බව හා වලංගු බව නිර්ණය කිරීමේ ප්‍රවණතාවක්, සමහර සැදැහැවතුන් තුළ ඇති බැවිනි. නිර්වාණාවබෝධය, කාරණයෙන් නොව ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් ම සාක්‍ෂාත් කරගත යුත්තකි.

නිවන නිර්වචනය කර ඇති ආකාර කිහිපයක්ම දක්නට ලැබෙයි. “වාන” යනු තෘෂ්ණාවට පර්යාය වචනයක් බව ද, භවයෙන් භවය ගැට ගසන තෘෂ්ණාවෙන් නික්මුණු බව නිර්වාණය ලෙස ද දැක්වෙයි. රාග ද්වේශාදී එකොළොස් ගින්න නිවී යෑම (නිබ්බුති), නොහොත් කුසල් අකුසල් දෙකේම පලවිපාක විඳීම නම් වූ දඬුවමට නියමව ඇති ‘සිපිරිගෙයින්’ නිදහස් වීම (නිරෝධ) හා නිවීම, නැවැත්වීම, නොපැවැත්වීම යන අරුත් ද එයට දී ඇත. ඉන්ද්‍රිය ගෝචර උදාහරණයක් ලෙස පහනක නිවී යෑමට එය උපමා කැරේ. සංසාරය සංකත (හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්) බැවින් නිර්මාණය අසංඛතය ලෙස ද, සංසාරය පරම බන්දනයක් බැවින් නිවන පරම විමුක්තිය ලෙස ද භවයක් - ජාතියක් හෝ ඉපදීමේ අවස්ථා නැති බැවින් අජාත ලෙස ද, මරණයක් නැති බැවින් අමත ලෙස ද, මැවීමකින් නූපන් බැවින් අකත ලෙස ද, විපරිණමයක් නැති බැවින් පරම ශාන්තිය ලෙස ද, සත්ත්ව පුද්ගල ස්ථාන ද්‍රව්‍ය ආදිය නැති බැවින් අනිමිත්ත ලෙස ද, ප්‍රාර්ථනා හෝ තෘෂ්ණා නැති බැවින් අප්පණිහත ලෙස ද හඳුන්වනු ලැබේ. අමාව, ශාන්තපදය, පාර, අනාසව, ඛේම, අනීතක ආදී බොහෝ නම් නිවන හැඳින්වීම සඳහා යෙදෙයි.

ඝන, ද්‍රව, වායු, අවකාශ ආදී ස්වභාවයන්ගෙන් හෝ සතර මහා ධාතු ශක්තීන්ගෙන් හෝ හට නොගත්තා වූ ද, නිත්‍යව පවත්නා හෙයින් කිසි කලෙකත් අභාවයට නොයන්නා වූ ද, ලෝකය ඉක්මවූ හෙයින් ලෝකෝත්තර වූ ද නිර්වාණය; මෙලොවත් පරලොවත් නොවන, දේශ දිශාවකින් යුක්ත නොවන, එහෙත් පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයකි. පැමිණෙන්නවුන් කොතෙක් ආවත් නොපිරෙන, කිසිවකු නොපැමිණුන ද හිස් නොවන; ‘මේ ඔබේ නිවන ය’ ‘මේ මගේ නිවන ය’ කියා වෙන් කොට ගත නොහැකි; පෙර ආ අය - පසු ආ අය ලෙස හෝ ‘ මේ රහතුන්ගේ නිවනය’ ‘මේ බුදුවරුන් නිවනය’ යනුවෙන් භේදයක් නැති; හටගැනීම හෝ බිඳීම ස්වභාව කොට නොගත් යම් තත්ත්වයක් ඇත්ද, ඒ නිර්මාණය පමණකි.

මේ අනුව මෙවැනි “තැනක්” තිබිය හැකි ද? තිබේ නම් ස්කන්ධ සත්ත්ව පුද්ගලාදීන් වශයෙන් කිසිවක් නැති එවැනි “තැනක” කවර නම් සැපයක් ද? නිවන අවේදයිත (ඉන්ද්‍රියන්ගෙන් නොවිඳින) සුඛයක් ගැන කියැවෙන තැනක් නිසා එහි ඇති සැපයක් කෙසේ විඳිමු ද? එසේ නම් නිර්වාණ ප්‍රාප්තිය අරභයා කෙනකු තුළ සියුම් බියක් ජනනය විය හැකි ය. භාවාන්තරයක් පුරා අපි හටගැනීමට “තැනක්” පිළියෙළ කරගෙන ආ අය වෙමු. ඒ නිසා ස්ථානය පිළිබඳ මූල සංකල්පයෙහි දැඩි ලෙස එල්බගෙන, නිර්වාණයට ද ස්ථානිය අගයක් දීමේ ස්වභාවයේ සිටිමු. අපට යෝජනා කැරෙන කවර පරම සුඛයක් වුව ද කිසියම් ස්ථානයකම අත්දැකීමට හෙවත් වේදයිතව විඳීමට අපි කර්ම භව සංඛ්‍යාත සංසාර වරය ලත් අය වෙමු.

කෙනකුගේ එක් පයක තුවාලයක් හටගත්තේ නම්, එය සුව වූ විට ලබන සුඛය, අවේදයිත ය. එවැන්නක් නොතිබූ අනෙක් පයේ සුවයක් ගැන අපි නොවහරමු. නමුත් සැබෑ සුඛය තිබුණේ තුවාලය හට නොගත් එහි ය. මේ පයේ තුවාලය හටගැනීම නිසා, ඊට පෙර එහි ද තිබූ, සැබෑ සුඛය හෙවත් අවේදයිත සුඛය අහෝසි විය. සුඛයේ අවේදයිත භාවය තේරුම් ගැනීමට මෙය සරල උදාහරණයකි. ඒ නිසා අවේදයිත සුඛය වනාහි හුදු සුඛයක් නොව, සත්‍ය, කෘත්‍ය, කෘත ත්‍රිභේද වූ ප්‍රත්‍යක්‍ෂ අවබෝධ ඥාණයට ගෝචර වන්නකි. ඉන්ද්‍රිය සංඛ්‍යාත වේදයිත සුඛයම සැපය යැයි ගෙන, එහි ම ගිලී සිටින නිසා, අප කෙරෙහිම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සාදිය ඇති කරවන්නා වූ තෘෂ්ණා මූලික සියලු ක්ලේශයන්ගෙන් සහමුලින්ම මිදුණු විට අපට ලැබෙන, අප කෙරෙහිම ඇති වෙන අවේදයිත සුඛය කොතරම් උත්තරීතර දැයි වාචිකව විස්තර කළ හැකි නොවන්නේම ය.

‘නිවන’ යනු මරණයෙන් පසු හටනොගෙන පවත්නා යම් දෙයක්, ගතියක්, ස්ථානයක් හෝ ශක්තියක් ලෙස ගන්නා ශාස්වත දෘෂ්ටියෙන් ද, මරණයෙන් භවය නිම වේය යන උච්ඡේද දෘෂ්ටියෙන් ද වියුක්ත වූ හෙවත් ඒ අන්ත දෙකෙන්ම බැහැර වූ මධ්‍යම මාර්ගයෙන් ලබන අවබෝධ ඤාණයකි. එහි කිසි දුකක් හෝ සැපක් නම් කර දැක්විය නොහැකි ය. එය ජීවත්ව සිටියදී ම ලබන නිවීමක් ලෙස දැක්වෙයි.

ජීවිතයේ දී හටගන්නා රෝග පීඩා, බිය, අනතුරු ආදියෙන් මිදීම ද, නිවීමකි. එහෙත් එය සම්මුති නිර්වාණය යි. ස්වල්ප කාලයකට අකුසල් - ක්ලේශ යන්ගේ නිවී යෑම, තදංග නිර්මාණයයි. ධ්‍යාන - සමාපත්ති ආදියෙන් බොහෝ කාලයක් ක්ලේශ ධර්ම නිවාතැබීම, විෂ්කම්භන නිර්මාණයයි. සෝපාදිශේෂ නිර්වාණය හෙවත් ක්ලේශ මුළුමනින් ප්‍රහාණය කිරීමෙන් ලබන නිවීම ම උතුම් ය. මෙහිදී පංච උපාදානස්කන්ධ නිරෝධයට පත්ව ඇති හෙයින්, ඇලීම් - ගැටීම් කිසිවක් නැත. පහළ වන සිත් ද සකර්මක නොවන ක්‍රියා සිත් පමණකි වර්තමාන පංචස්කන්ධය පරිහරණය කැරෙන බැවින් අනෙකුත් අය ගන්නා අරමුණු සියල්ලම ගැනෙයි. චිත්ත වීථිද පහළ වෙයි. අනවරථ සසර ගමන ගෙනදීමට උපස්ථම්භක වූ සියලු ක්ලේශයන් ගේ අභාවය සිදුවූ හෙයින් ද, නැවත ඒවායේ හටගැන්මක් නැති බැවින් ද එම ස්වභාවය සෝපාදිශේෂ පරිනිර්මාණය නම් වෙයි. රහතුන් වහන්සේට ඉන් පසු තවත් කළ යුතු කිසිවක් නැත. එහෙත් ස්කන්ධ පරිහරණය කිරීම හෙවත් ඕලාරික සිරුර දැරීම නම් වූ දුකෙන් ඒ උතුමෝ නොමිදුණාහු වෙත්.

මෙතෙක් ලබා දරා සිටි පංචස්කන්ධය, නැවත කිසිවිටකත් ඇති නොවන පරිදි සතර මහා ධාතූන්ට වියෝජනය වීම සිදු වන, එනම් සුවිශේෂීව කිවහොත් රූපස්කන්ද පරම්පරාවේ අනුත්පාද අභාවය, මරණයෙන් සිදු වෙයි. එය (නිරුපාදිශේෂ) නිර්මාණයයි. රූපස්කන්ධයේ ශේෂ අශේෂ භාවය මත නිවන ලැබීමේ අවස්ථා මෙසේ ද්වි ආකාර වුව ද, නිවන ද්වි ආකාර නොවේ. ශාන්ති ලක්‍ෂණය අතින් එය එකක් ම ය. නිවන යනු, සියලු කුසලා කුසලයන්ගේ කර්ම ශක්තිය මුළුමනින් අහෝසි කිරීමෙන් සාක්ෂාත් කර ගනු ලබන්නක් මිස, කුදු මහත් කුසලයන්ගේ විපාක ඵලයක් නොවේ.

ථේරවාදි ඉගැන්වීම්වලට අනුව, නිවන පියවර සතරකින් ලැබෙන්නකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ක්‍ෂය වන ;සීවාන් ඵලය, කාමරාග සහ ව්‍යාපාද යන සංයෝජන දෙක තුනී වන සකදාගාමී ඵලය, එම දෙක ක්‍ෂය වන අනාගාමී ඵලය සහ ඉතිරිව ඇති රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන පහම ක්‍ෂය වීමෙන් ලැබෙන අර්හත් ඵලය, එම පියවර සතරයි. මහායාන ඉගැන්වීම්වලට අනුව මෙසේ පියවර හතරක් නොදැක්වෙයි. එමගින් දැක්වෙන්නේ බුද්ධ ප්‍රාප්තිය පමණකි.

මජ්ක්‍ධිම නිකායේ අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයට අනුව නිවනට පිවිසීමේ දොරටු ලෙස ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ඣායනය, ධර්ම සම්මර්ශනය හා භාවනාව යන පහ දැක්වේ.

අවිද්‍යාව නිසා රැස් කරනු ලබන අපමණ කෙළෙස් නිසා විඳින්නට වන දුක් කන්දරාව අපමණ වන්නා සේම, අවිද්‍යාව ක්‍ෂය කර ලබන නිර්මාණ ධාතුවේ සුඛය ද අනන්ත වෙයි. දුක වනාහි පුද්ගලයාගේ චිත්ත සන්තානයෙහි ම පහළ වන්නේ යම්සේ ද එසේම නිවන් සුවය ද චිත්ත සන්තානයෙහි ම පහළ වන්නකි. සෝවාන් ඵලයේ දී අපායගාමී වීමට හේතු වන සියලු ක්ලේශ නැතිවීමෙන් ලබන්නා වූ ක්ලේශ ස්කන්ධ නිරෝධය (නිවන) පුද්ගලයාගේ නාම කාය හා ඤාණයෙන් ස්පර්ශ කරන බැවින්, නිර්වාණය වනාහි ඒකාන්ත වශයෙන් ඇත්තා වූ පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් ලෙස දැක්වෙයි. රහත් ඵලයේ දී සියලු කෙළෙසුන්ගෙන් හිස් වන අර්ථයෙන් වන ඒ මත ප්‍රඥප්ති භාවයෙන් ශූන්‍යතා ලක්‍ෂණයෙන් සැලකුව ද (සුඤ්ඤතං), නිර්වාණය පරමාර්ථ වශයෙන් නො හිස් ය. ප්‍රඥප්ති ධර්ම පරමාර්ථ වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ගන්නා සේ ම, නිර්වාණය ද නිත්‍ය, සුඛ, අනාත්ම ලක්‍ෂණවලින් විද්‍යමාන ය.

අසාධ්‍ය රෝගයක දී මරණාසන්න වූ, කෙනෙක්, මරණයෙන් නිදහස් වීමට දරන වෑයම කෙතෙක්දැ’යි අපි දනිමු. අත, පය කපා දමා හෝ මරණයෙන් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය මහත් ය.

එක් මරණයකින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය එතරම් නම්, සංසාරයේ එළඹෙන සියලු මරණවලින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය හෙවත් නිවන් සුවය කොතරම් උත්තරීතර දැයි නුවණින් විමසන විට පෙනෙයි. වකුගඩුවක්, ඇසක්, හදවතක්, ලේ ටිකක් දන්දීමෙන් ලබන ශාන්ති සුඛය කෙබඳු දැ’යි ඒවා පරිත්‍යාග කළ අය දනිති. ඉඳුරන් පිනවීමෙන් ලබන සුඛය කොතරම් තාවකාලික ද, අනිත්‍ය ද යන්න, මේ අනුව සිතා ගත හැකි ය.

අපගේ කය කිස දුකක් හෝ සැපක් නොවිඳියි. මිය ගිය කෙනකුගේ කයට කිසිවක් නොදැනෙන බව ප්‍රත්‍යක්‍ෂයෙන් අපි දනිමු. සියලු දුක් සැප විඳින්නේ සිතෙනි. නිවන් සුවය ද සිතෙන් ම පරාමර්ශනය කැරෙයි.

ඒ නිසා සෝපාදිශේෂ පරිනිර්වාණයේ දී ම (රහත් ඵලයේ දී) පරම ශාන්ති සුවය විඳීමට හැකි වෙයි. අනුපාදිශේෂ නිර්වාණයේ දී (රහත් වූ අයගේ මරණයේ දී) නාම රූප ධර්මයන් ගේ යළි හටගැන්ම අහෝසි වන නිසා කවර සුඛයක් ;හී විඳින චිත්ත පරම්පරාවක් කවරදාවත් යළි හට නොගනීයි. එසේ නම් එකී කාය - පරිනිර්වාණයෙන් ‘නිවන් සුව‘ විඳීම ද අවසන් විය නොහැකි ද? ඒ අනුව රහත් ඵලය ලබා නිවන් සුව විඳිමින් සැමදා ජීවත්ව සිටීමේ ආශාව නිවන් සුව පතන පෘථග්ජනයා තුළ ඇති විය නොහැකි ද? මෙවැනි ප්‍රශ්නාබිමුඛ කල්පනා ඇතිවන්නේ, විඳින සුඛය (වේදයිත සුඛය) පදනම් කරගෙන එ දෙස බැලීම නිසා ය. ආශාව වනාහි තෘෂ්ණාව ම ය. ආශාව හෙවත් තෘෂ්ණාව ක්‍ෂය කළ රහත් උතුමන්ට නිවනෙහි නිත්‍ය බව අවබෝධ වී ඇත. උපතක් ලත් සෑම කෙනෙක් ම මිය යෑම හෝ නිරුද්ධ වීම, ධම්ම නියාමය යි.

නිරෝධ සත්‍යය, සාක්ෂාත් කරගැනීමෙන් ම අවබෝධ කළ යුත්තකි. භෞතික ලෝකයේ කිසිදු සුවයකට නිවන් සුවය සම කළ නොහැකි ය. උපත නිසා විඳින්නා වූ සියලු දුක් නැති කිරීම නම් වූ - දුකට හේතු වන සියලු කාරණා ක්‍ෂය කිරීම ම, නිවන ය. සංසාරය දුක නම්, නිවන පරම සුඛ යැයි කීවේ එහෙයි නි.

සියලු බුදුවරයන් වහන්සේ දේශනා කළේ දුක නැති කරන පිළිවෙතයි. ඒ නිසා ‘නිවන’ අවබෝධ යනු, සියලු ‘දුක්’ සහ ‘දුක්ඛ මූල හේතු’ නැති කරන දහම් ඇසයි; ප්‍රඥාවයි; විද්‍යාවයි. ඒ සඳහා ඇත්තේ එකම එක මාර්ගයකි. සංසාරය පැවැත්වීමට හේතුවන්නා වූ හෙවත් දුකට හේතු වන්නා වූ ක්‍රියාවල යෙදෙමින් න්‍යාය දර්ශනයෙන් පමණක් නිවන සාක්‍ෂාත් කිරීම කළ නොහැකි ය. ‘නිවන’ යනු පරිබාහිර තැනක පවතින්නක් නොවේ. එය මිනිස් මනසෙහි ම අති විශිෂ්ට ප්‍රාප්තියකි. ඒ සඳහා වූ ප්‍රතිපදාවට පිළිපන් තැන් සිට ම එහි අවේදයිත සුඛය දැනෙන්නට පටන් ගනියි.

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]