UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

 සිරිත් විරිත් සොයා යෑම

මේවසර ජාතික චාරිත්‍ර වර්ෂය ලෙස නම් කැර අප ගේ පාරම්පරික සිරිත් විරිත් රැක ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවීම සතුට ට කරුණකි. රජය එ බඳු පියවරක් ගැනීමට හේතු වූ කරුණු, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මෙ සේ විස්තර කැර තිබේ.

“සිරිත් විරිත් වලට ගරු කැරෙන ජනතාවක් අතීතයේ දී ජීවත් වූව ද අද සිරිත් විරිත් කුමක් ද කියාවත් හඳුනන පිරිසක් නොමැති බව සමාජය දෙස බැලීමේ දී හොඳාකාර ව අවබෝධ වෙනවා. ජනතාව ගෙන් ඈත් වී ඇති මේ සිරිත් නැවත ස්ථාපිත කළ යුතු කාලය එළඹිලා. ඒ නිසා 2008 වසර ජාතික චාරිත්‍ර වසර ලෙස නම් කිරීමට රජය තීරණය කළා. මේ වැඩ පිළිවෙළ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින සංස්කෘතික මධ්‍යස්ථාන දාහතර මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කැර තිබෙනවා. මේ සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන්නේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කැර ගෙනයි. ජාතික සිරිත් විරිත් ග්‍රාමීය ප්‍රදේශවල තව ම හොඳින් ආරක්‍ෂා වී තිබෙන නිසා මේ වැඩ පිළිවෙළ යටතේ තරුණ පරපුරට දැනුමක් ලබා දී සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම මෙහි මූලික පරමාර්ථයයි.”

අප ගේ ඉපැරැණි චාරිත්‍ර රැක ගැනීම පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී ඒවා අපෙන් දුරස් වූයේ ඇයි? අපට ඒවා යළි අවශ්‍ය ඇයි? යන ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත යුතු ය. ජාතික අනන්‍යතාව ආරක්‍ෂා කැර ගැනීම සඳහා අපට ඒවා යළි අවශ්‍ය බව කිව හැකි වූව ද ඒවා අපෙන් දුරස් වූයේ ඇයි දැයි පෙන්වා දීම පහසු නැත. ඒ සඳහා විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය කැරේ.

විවාදාත්මක ලිපි නමැති කෘතියෙහි මහාචාර්ය විමල් දිසානායක මහතා දක්වා ඇති අදහස් මෙහි දී අප පාඨකයන්ට වැදගත් වනු ඇතැයි සිතමු. එහි මෙ සේ සඳහන් ය.

“මානව විද්‍යාඥයන් ගේ පොදු පිළිගැනීම අනුව සංස්කෘතිය යන්න කිසියම් ස්ථානයක වෙසෙන ජනකායක ගේ සාමුහික ජීවන ක්‍රමය යි. ඔවුන් ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආචාර විචාර, සමාජ සංස්ථා කලාව හා ආගම තුළින් එම සංස්කෘතිය ප්‍රකට වන්නේ ය. එහෙත් ඒ විවිධාංග එක්තැන් කළ පමණින් ඒ ඒ ජනයා ගේ සංස්කෘතිය කුමක් දැයි නිරවශේෂයෙන් අවබෝධ කොට ගත හැකි නො වේ. මිනිසා ගේ සිරුර, අත් පා, කඳ, මුහුණ ආදී වශයෙන් නොයෙක් කොටස් වලට වෙන් කළ හැකි ය. එහෙත් ඒ විවිධ කොටස් එක් කළ පමණින් මිනිසා බිහි නො වන්නාක් මෙන් ම, කිසියම් ජන සමාජයක විවිධාංග එක් කළ පමණකින් සංස්කෘතිය බිහි නො වන්නේ ය. සමාජ කර්තව්‍යයන්ට පිටු පසින් ඇති අදෘශ්‍යමාන බලවේගයක් වශයෙනුයි සංස්කෘතිය බිහි වන්නේ”.

එ සේ නම් සිරිත් විරිත් යනු මානව සංස්කෘතියේ එක් අංගයක් බව ද එම අංගය රැක ගත් පමණින් සංස්කෘතිය ආරක්‍ෂා නො වන බව ද අවධානයට ලක් විය යුතු කරුණකි. ඉපැරැණි සිරිත් විරිත් අප සමාජයෙන් ඈත් වූ යේ ඇයි ද යන ප්‍රශ්නය මෙහි දී වැදගත් වේ.

වසර හාරසිය පනහක් පමණ පැවැති යටත් විජිත පාලනය නිසා අප ගේ සංස්කෘතිය යටපත් වූ බව ඇත්ත ය. එහෙත්, යටත් විජිත යුගය අවසන් වී වසර හැටකට පසු ද ඉලක්කය කරා ළඟා වීමට අපි අසමත් ව සිටිමු. මේ වසර ජාතික චාරිත්‍ර වර්ෂය ලෙස නම් කිරීමට සිදු වී ඇත්තේ එම අසමත්කම නිසාම ය. මෙයට අමතරව, නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරයේ බලපෑම හා සාර්ථක ජාතිකවාදී ව්‍යාපාරයක් නොමැති වීම යන කරුණු ද සංස්කෘතික පරාජයන්ට හේතු වී ඇත.

කෙසේ වූවද ජාතික චාරිත්‍ර වසර සාර්ථක කැර ගැනීම පිළිබඳ වගකීම සංස්කෘතික අමාත්‍යාංශය වෙත පමණක් නො පැවරෙන බව කිව යුතු ය. මන්ද යත්, ටී.එස්. එලියට් නමැති බටහිර විද්වතා නිවැරැදිව පවසා ඇති පරිදි ආගමික බලපෑමෙන් තොර ව කිසිදු සංස්කෘතියක් බිහි වී හෝ වර්ධනය වී හෝ නො මැති බැවිනි.

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]