සෑම කලට සරිලන ජාතක කතා පොත
රත්නපුර මුද්දුව
ශ්‍රී සුමන මහ පිරිවෙන්හි ආචාර්ය,
ශාස්ත්‍රවේදී
වේරහැර ධම්මරතන හිමි
මෙම ලිපියේ මුල් කොටස
පසුගිය පත්‍රයේ (2008.01.07) පළ විය.
ජාතක කතා මඟින් හෙළි කරනු ලබන තවත් එක් පැතිකඩක් වන්නේ පවුල්
සංස්ථාවයි. පැරැණි පවුල් සංස්ථා අද වන විට දෙදරා ගොස් ඇත. එයට හේතුව
දැඩි ආර්ථික ගැටලු පැනනැගී තිබීමයි. මෙයට පාදක වන්නේ ජනතාව මත පැටවෙන
අධික බදු බරයි. පවුල යනු මව, පියා, දුව හා පුතා වේ. සමාජ විද්‍යාවේදී
මෙය ‘න්‍යෂ්ටික පවුල’ නමින් හඳුන්වනු ලබයි. ‘විස්තෘත පවුල’ යනු ඊට වඩා
පුළුල් එකකි. පැරැණි ජන සමාජයේ සැවොම එක වහලක් යට ජීවත්වීම එනමින්
හැඳින්විණි. සීයා, ආච්චි ඇතුළු දරුවන් මී මුණුබුරන්, මිනිබිරියන් එකට
එකතුව වාසය කිරීමයි. ජාතක කතා තුළ එවන් පවුල් සංස්ථා දක්නට ඇත.
ජාතක කතාවෙන් ජනතාවට සෙත සැලසූ අයුරු පෙනේ. පවුල් සංස්ථාව සාමකාමීව
සතුටින් ගත කළ ආකාරය එයින් පැහැදිලි කරයි. යහපත් ගුණගරුක දරු පිරිසක්
හදාගැනීම පිළිබඳ සාම ජාතකය මගිනුත් දුර දක්නා ලෙස දරුවන් පුරුදු කරවීම
දීඝිති කෝසල ජාතකය වැනි ජාතක කතා මඟිනුත් මනාව විවරණය කොට තිබේ. එමෙන්ම
දුරාචාරයෙන් තොරව ගත කරන පවුල් දිවිය අවුල්වලින් තොරව නිරවුල්ව ගත කළ
හැකි අයුරුත්, සැනසිලිදායක පවුල් දිවිය සැපවත් වන අයුරුත් පෙන්වා දෙන
ජාතක කතා රැසක් ඇත. තම ස්වාමියාට හොරා සොර සැමියන් කරා යෑම අද මෙන්ම
එදා ද පැවැත ඇත.
ස්වාමිවරුන් ද සොර බිරියන් කරා යෑම එදත් අදත් සමාජයේ දක්නට ලැබෙයි.
දැඩි රාගික උන්මාදය පවුල් දිවිය නීරස කිරීමට හේතුවෙයි. තක්කාරිය ජාතකය,
චුල්ල පදුම ජාතකය වැනි ජාතක කතා මඟින් එය මනාව විවරණය කර තිබෙන්නේ,
දුරාචාරය නිවැරැදි පවුල් දිවියට පිළිලයක් බවයි. මේ නිසා මහා ධර්මපාල
ජාතකය මඟින් සදාචාරවත් දිවි පෙවෙත ඉහළින්ම අගය කර ඇත. එමඟින් පන්සිල්
රැකීම, ගුණවත් වීම, දන්දීම, වැනි සත්ක්‍රියා මඟින් මෙලොව දිවිය සාර්ථක
වන බව පැහැදිලි කර දී තිබේ.
දීර්ඝායුෂ විඳීමට හේතුව සුචරිතය හුරුපුරුදුවීම බව පෙන්වා දෙයි. නිරෝගී
දිවියට මග වන්නේ, සීලයට හුරුවීමයි. මේ නිසා යහපත් සමාජයක් නිර්මාණය
කිරීමට ‘පවුල’ සංකල්පය තුළ දැහැමි බව ඉතා වැදගත් ය. මෙලොව පරලොව යහපත්
ලෙස ගත කිරීමට නම් ගුණවත් දිවියක් තිබිය යුතු ය. එසේම ගිහි දිවියේ බාධක
දැක සම්පත් අතහැර අපිස් දිවිය වන පැවිදි ජිවිතයට බුදු සසුනෙහි සුවිශේෂ
වටිනාකමක් වෙයි. ජාතක කතා මඟින් හෙළිවන තවත් කරුණක් නම් ඈත අතීතයේ දී
මිනිසුන් තවුස් පැවිද්ද අගය කර ඇති බව ය. පැවිදි සංස්ථාවක් එකල පැවතී
ඇත. ඔවුහු සියලු සම්පත් අතහැර දමා කාමභෝ ගී දිවියේ ආදීනව දැක කලකිරී
දොලොව දිනීමට වෙර දැරූ අය වෙති. වර්තමාන සමාජය දැඩි තෘෂ්ණාවට බරව ගමන්
කරන බව පෙනෙයි. හැම සැපතම මරණය තෙක් පමණි. ඉන් එහාට ගෙන යා යුතු වන්නේ
කුසල් හෝ අකුසල් ය. මේ නිසා ඈත අතීතයේ සිට භාවනාව පුරුදු පුහුණු කර,
සිත පාලනය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගෙන තිබේ. එමගින් ධ්‍යාන
අභිඥාලාභීව අපිස් දිවියක් ගත කළ ආකාරය, සුමේධ පණ්ඬිතතුමාගේ කතාවෙන්
පැහැදිලි වෙයි. වෙස්සන්තර ජාතකය, මඛාදේව ජාතකය, ආදිය මගින් ද ඒ බව
හොඳින් පැහැදිලි කර ගත හැකි වෙයි. නලීනි ජාතකය තුළින් පැවිද්දට පලිබෝධක
වන මාගම පිළිබඳ සඳහන් කරයි. තවුස් පැවිදි දිවිය ගෙවන්නා ස්ත්‍රිය
පරිහරණය නොකළ යුතු ය. එය තම දියුණු මානසිකත්වය නැවත කිළිටි කර ගැනීමකි.
මේ නිසා ම පංච කාම සම්පත් බැහැර කර, නිරවද්‍ය දිවිය එහි දී අගය කැරෙයි.
මේ ආකාරයට බලන විට වර්තමාන සමාජයට ජාතක කතා මගින් මහත් ආදර්ශයක් සපයන
බව පෙනෙයි. දහම් සොඬ ජාතකය මගින් ගුණවත් බව හා ධර්මය නැති තැන ඇති වන
විපත පිළිබඳ පැහැදිලි කැරේ. කාම ජාතකය, දැඩි තෘෂ්ණාව රෝගී වීමට හේතු වන
බවත්, මනස මධ්‍යස්ථව තබා ගැනීම මගින් නිරෝගී සුවපත් දිවියක් ගත කළ හැකි
බවත් මනා කොට විවරණය කරයි. සුතසෝම ජාතකය මගින් පාලකයා පංච සීලය දුරු කළ
තැන රට විපතට වැටෙන බවත්, පන්සිල් රකින විට සමාජය යහපත් වන බවත් මනා
කොට පැහැදිලි කර දී තිබේ. මේ වටිනාම ග්‍රන්ථය, අප ළමා පරපුරට කියැවීමට
හුරු පුරුදු කළ යුතු ය. ගුණගරුක සදාචාරවත් රටවැසියන් පිරිසක් ගොඩනගා
ගැනීමට ජාතක කතා මගින් සපයනු ලබන ආදර්ශය ඉමහත් ය. වර්තමාන සමාජයේ
මවුපිය උපස්ථානය මඟහැර තමන් මෙලොවට බිහි කළ මවුපියන් මහලු නිවාසවල නතර
කරවා ඇතැම් දූ දරුවන් සැප සම්පත් විඳිනු දක්නට ලැබීම ඉතා කනගාටුදායක ය.
සාම ජාතකය, සීලව නාගරාජ ජාතකය, වැනි ජාතක කතා මගින් උපදෙස් රැසක් සපයා
ඇත. මේ ලෙස කරුණු ගෙනහැර බැලීමේ දී වර්තමාන සමාජයෙන් දුරුවී යන යහ ගුණ
දහම් යළි නගා සිටුවීමට නම් මේ ජාතක පොත් ළමා පෙළ අතර ජනපි‍්‍රය කළ යුතු
වෙයි. දහම් පාසල් අධ්‍යාපනය තුළ දී මේ සදාචාර ධර්ම ළමයාට ප්‍රායෝගිකව
පුහුණු කළ යුතුයි, මවුපිය උපස්ථානය, දන්දීම, සිල් රැකීම, පරිසරය
සුරැකීමට පැළ සිටුවීම හා පරිසර දූෂණ ක්‍රියාවන්ගෙන් බැහැර වීම හා
යුක්ති ගරුක දිවියේ වටිනාකම අප දහම් පාසල් දරුවන්ට ක්‍රියාකාරීව පෙන්වා
දිය යුතුව ඇත. එමගින් ගුණගරුක පුරවැසියන් පිරිසක් රටට බිහි කර ගත හැකි
වේ. |