UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:

දුලබ කරුණු හතරක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධංම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදො

පින්වත්නී,

මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් වූවකි. මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතු වූ කරුණ මෙසේය. පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි විසි දහසක් අවුරුදු මහණ දම් පිරූ සිල්වත් භික්‍ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ එක්තරා දිනක දිගු ගමනක් යන අතරතුර ගංඟාවක් දැක එයින් එතෙර වීම පිණිස එක්තරා එරු අත්තක් දැක එය අල්වා ගෙන ඔරුවට නැඟීය. එවිගසම එරු අත්ත කැඩී අතට ආවේ ය. මෙය සුළු ඇවතක් යැයි සිතා ගණනකට නොගෙන ඇවත් නොදෙසාම මහණ දම් පිරූහ. මෙසේ කල් ගතවිය. මෙම භික්‍ෂූන් වහන්සේගේ මරණය වන වෙලාවෙහි මෙම කරුණ සිහිපත් වී මෙම එරු ඇත්ත කැඩීමෙන් වූ ඇවත නිසා මගේ ශීලය අපිරිසුදු වී යයි විමතියක් ඇති විය. එකෙනෙහිම කළුරිය කොට ඒරපත්ත නම් නාගරාජව උපන, එක් දිනක මෙම නා රජ බරණැස් නුවර මහරි රුක මුල වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳගෙන අඩන්න පටන් ගත්තේ ය. හඬන කරුණක් බුදුන් විචාල කල්හි සිදු වූ සියලු සිද්ධිය කියා ‘ස්වාමීනී, මම බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවක් නොලද්දෙමි. බුදු කෙනකු නුදුටුයෙමි. බණ ඇසීමකුත් නොලැබුයෙමි ය’ කීහ. බුදුරජාණන් වහන්සේ ඒ අසා ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.

මිනිසත් බව ලැබීම දුෂ්කරය.

මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.

බණ ඇසීම දුර්ලභ ය.

බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ යයි වදාළ සේක.

මිනිසත් බව බොහෝ කුසල් කොට උත්සාහයෙන් ලැබිය යුත්තකි. එය ලබන්නේ සහේතුක කාමාවචර කුසල් බලයෙනි. එයින් ත්‍රිහේතුක කාමාවචර කුසල කර්මයෙන් උපදින්නෝ අල්පේශාක්‍ය වෙති.

මිනිසුන්ගේ සිත නිතර නැමී පවතින්නේ අකුසලය වෙතය. මිනිසාට මිහිරි වන්නේ කුසලයට වඩා අකුසලයයි. ඒ නිසා බොහෝ දෙනා පස්කම් සැපයෙන් ඉඳුරන් පිනවමින් ඒවා දියුණු කරමින් ජීවත් වෙති.

මහ මුහුදෙහි දමන ලද එක් සිදුරක් ඇති වියදණ්ඩක් සතර දිශාවෙන් හමන සුළඟින් සතර දිගට ගෙන යමින් පවතින කල්හි වර්ෂ සියයකට වරක් හිස නගන කන කැස්බා එම වියගි සිදුරෙන් අහස දැකීමටත් වඩා මිනිසත් බව ලැබීම දුෂ්කර කරුණකැයි වදාළේ එහෙයිනි. මිනිසත් බව ලබා පස්කම් සැපයෙන් ජීවත්වන මිනිසාට ජීවිතය පවත්වාගෙන යෑමට මහත් සටනක් කළ යුතුව ඇත. යහපත් ආර්ථික තත්ත්වයක් නොමැතිව ජීවිතය පවත්වාගෙන යෑමට අසීරු ය. අලසයාට, කම්මැලියාට එය කොහෙත්ම කළ හැක්කක් නොවේ. උත්සාහවන්තයා සියල්ල ජයගනී යන කියමන අනුව උත්සාහවන්තයා ජීවන සටනින් ජයගනී.

හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් උත්සාහවන්තව තම යුතුකම් ඉටුකරමින් සමාජයට වැඩදායක දරුවන් බිහිකර මහා මෙහෙවරක් අපේ රටට සිදුකරයි. දයාබර අම්මේ දයාබර තාත්තේ දුක් මහන්සියෙන් ඔබ පෝෂණය කරපු ඔබේ ආදරණීය පුතෙක් හෝ දුවෙක් මේ අපේ මාතෘභූමිය ආරක්‍ෂා කිරීමට පරිත්‍යාග කර තිබේද? එසේ නැතිනම් ඔබේ දුව හෝ පුතා සසුනට පරිත්‍යාග කර තිබේද? එසේත් නැතිනම් ඔබේ දරුවා සමාජ සේවකයෙක් රටට වැඩදායක පුරවැසියෙක් වුණා ද? අන්න එසේනම් ඔබ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් ප්‍රයෝජන ගත්තා වෙනවා. අධ්‍යාත්මික ගුණයෙන් යුත් යහපත් පුරවැසියෙක් බිහිකරන දයාබර අම්මේ තාත්තේ ඔබට මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ආලෝකවත් තෝතැන්නක් වෙනවා ඇත. අන්න එබඳු මනුෂ්‍ය ආත්මය දුෂ්කරයි කියා වදාළ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දිවි පැවැත්ම ද අසීරුයි කියා වදාළහ.

පුවත්පත් සඟරා රූපවාහිනී ගුවන්විදුලි ආදී මාධ්‍යවලින් පොදු ස්ථාන විහාරස්ථාන බෞද්ධ මන්දිරවල බෞද්ධායතන යන සෑම තැනකින්ම බණ ඇසෙනවා. එයින් ප්‍රයෝජන ගන්නා අය ඉතා අල්පයි. නමින් පමණක් බෞද්ධයන් බවට පත්වී ඇති ඇතැම් දෙනෙක් ධර්මය නොදන්නෝ වෙති. බණ ඇසීමක් නැත. විහාරස්ථානයක බණ කීවත් ගෙදරක බණ දේශනා කළත් වෙනත් පොදු ස්ථානයක ධර්ම දේශනාවක් කළත් බණ අසන්නන්ට වඩා නිකරුණේ කාලය කා දමමින් එළිමහනේ වෙනත් කතා සල්ලාප දොඩවමින් බණ අසන ටික දෙනාට බාධා කරමින් සිටින පිරිස වැඩි බව ඔබ දන්නවා ඇති. බණ නෑසීම නිසා ධර්මය පිළිපැදීම, ප්‍රතිපත්තියෙන් තොරවීමද සිදුවුවහොත් එය පරිහානියට කරුණක් වනු ඇත.

හතරවන ගාථා පදයෙන් දැක්වෙන්නේ බුදුවරයන් වහන්සේගේ ඉපදීම දුර්ලභයි. සෑම කල්හිම බුදුවරු පහළ වන්නේ නැත යන්නයි. බුදුවරයන්ගේ ඉපදීම සැපයි. සුඛෝ බුද්ධානං උප්පාදෝ යන බුදු වදනින්ද එය පැහැදිලි වෙයි. මේ බුද්ධ කියන වචනය අපි සිහි කරන්න ඕන. නමෝ බුද්ධාය කියා වඳින්න ඕන. කල්ප කෝටි ගණනකින් පහළ වන මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න ඕනෑ. විහාර පන්සල් තැනූ තරමට බුදුරජාණන් වහන්සේ හැඳින ගත්තා වන්නේ නැහැ. ඒ නිසා කල්ප කෝටි ගණනකින් පහළ වන බුදුරජාණන් වහන්සේ හැඳින ගෙන බුදුගුණ සිත සිතා උන්වහන්සේගේ අසිරිමත් බුදු සිරිත හදවතට ඇතුළු කරගෙන ගුණ ධර්මවලින් පෝෂිත වන්නට හැමදෙනාම උත්සාහ වඩන්න.

එම නිසා බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටින අපි සියලු දෙනාම ප්‍රතිපත්තිකාමීව තම යුතුකම් ඉටුකරමින් සැමට මෙත් සිත පතුරවමින් මෙලොව පරලොව සාර්ථක කරගෙන සාමයෙන් සමගියෙන් ජීවත් වී පරම ශාන්ත වූ නිවනෙන් සැනසීම ලබමු යැයි ප්‍රාර්ථනා කරමු.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]