චෞර ශිෂ්‍යයා හා නවක වදය
පරිපූර්ණ මිනිසකු තැනීම අධ්‍යාපන යේ සැබෑ පරමාර්ථය විය යුතු ය.
එහෙත්, එය එ සේ ම ඉටු වේ ද යන්න ප්‍රශ්නයකි. දිනෙන් දින අසන්නට
ලැබෙන තොරතුරු අනුව අප ගේ මේ සැකය සාධාරණ යැයි සිතමු.
පසුගිය 20 වන දා දිනපතා පුවත් පතක් මෙ සේ වාර්තා කැර තිබිණි.
දිනය ඉකුත් 13 වන දා ය. වේලාව පෙ.ව. 10.30 – 11.00 අතර විය.
විශ්ව විද්‍යාලයක නම සඳහන් බැනරයක් ද සහිත බස් රථයක් එක් වර ම
නගරයේ බස් නැවතුම අසල නතර කොට අත් පා බැඳි අයකු බසයෙන් බිමට
තල්ලු කැර දමා පැමිණි පිරිස බස්රථය ද සමඟින් රූංගා ඉගිල ගියේ
සිද්ධිය දුටු පිරිස මවිතයට පත් කැරැවමිනි.
බසයෙන් ඇද දැමූ පුද්ගලයා ගේ අත් සහ පා ඉතා තදින් ගැට ගසා තිබූ
අතර කට තුළට සපත්තුවක් ඔබා එය ද ගලවා ගැනීමට නො හැකි වන සේ හිස
වටා නූලකින් බැඳ තිබිණ. සිදු වූයේ කුමක් දැයි සිතන්නට වත් පෙර
තවත් එ වැනි ම බස් රථයක් පැමිණ දෙදෙනකු එළියට ඇද දැමිණ. ඔවුන්
ද කලින් සිසුවා ගේ මෙන් ම අත් පා බැඳ දමා තිබිණ.
දෙවනුව බස් රථයෙන් එළියට දැමූ දෙදෙනා විදුලි කණුවක ගැට ගැසීමට
එම බසයෙන් පැමිණි පිරිස කටයුතු කළ හ. එතෙක් දුටු දෙයින් කුමක්
සිදුවන්නේ දැයි වටහා ගත් තණමල්විල නගරවාසීහු දඬු මුගුරු වලින්
එම පිරිසට පහර දීමට පටන් ගත් හ. මෙහි දී විශ්ව විද්‍යාලයීය
සිසු සිසුවියන් යැයි සිතිය හැකි තරුණ තරුණියන් රැසක් පහර කෑමට
ලක් ව සී සී කඩ දිව යෑමට පටන් ගත් හ. ඔවුන් ගේ විලාපයත් සමඟ
නගරය එකම ගාල ගෝට්ටියක් බවට පත් විය.
අප මෙහි සඳහන් කළ සිද්ධිය හැඳින්වීම සඳහා භාවිත වන නවක වදය
නමැති රෝගය සුව කිරීමට යෝජනා වී ඇති ප්‍රතිකර්මය කුමක් ද? එය
අන් කිසිවක් නො ව නවක වද විරෝධී පනත ක්‍රියාත්මක කිරීම ය. උසස්
අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා ගේ
ප්‍රධානත්වයෙන් සියලු ම විශ්ව විද්‍යාලයන් හි උපකුලපති වරුන්
සමඟ පසුගිය 20 වනදා පැවැති සාකච්ඡාවක දී එම තීරණයට එළැඹි බව
පුවත්පත් වාර්තා කැර තිබිණ.
අපට මෙහි දී එක්තරා, සෙන් කතාවක් සිහිපත් විය. එම සෙන් කතාව මෙ
සේ ය.
බන්කේයි නමැති හිමියන් ගේ භාවනා පන්තිවලට ජපානයේ නොයෙක්
පෙදෙස්වලින් සිසුහු සහභාගි වූ හ. එක් භාවනා පන්තියක ශිෂ්‍යයෙක්
සොරකමක් කොට අසු විය. මේ බව දත් සෙසු සිසුහු එම ශිෂ්‍යයා
ආරාමයෙන් නෙරපා හරින ලෙස ඉල්ලූහ. එහෙත් බන්කේයිි හිමියෝ ඒ
පැමිණිල්ල විභාග නොකොට ම ඉවතලූහ.
නැවත වරක් එම ශිෂ්‍යයා සොරකමක් කොට අසු වූයේ ය. එ වර ද බන්කේයි
හිමියෝ පැමිණිල්ල ඉවතලූහ. මෙයින් කෝපයට පත් අනෙක් ශිෂ්‍යයෝ,
හොරා ආරාමයෙන් බැහැර නො කළහොත් තමන් සියලු දෙනා ම ඉවත් ව යන බව
සඳහන් කොට පෙත්සමක් ඉදිරිපත් කළ හ. පෙත්සම සැලැකිල්ලෙන් කියැ
වූ බන්කේයි හිමියෝ, සියලු සිසුන් තමන් වෙත කැඳවා මෙ සේ කීය.
“ඔබ හැම දෙනා ම ඥානවන්තයි. ඔබ සියලු දෙනා දන්නවා හොඳ කියන්නේ
මොකක් ද? නරක කියන්නේ මොකක් ද කියලා. ඔබ ලා කැමැති නම් වෙන
කොහේ හරි ගිහින් තව දුරටත් ඉගෙන ගන්න. ඒත් මේ අසරණයා හරි
වැරැදි අඳුනන්නේ නැහැ. ඔහුට හරි – වැරැදි ගැන මංවත් කියා
දෙන්නේ නැතිනම් වෙන කවුද කියලා දෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනා ම
මං අතහැර ගියත් මං මේ අසරණයා තියා ගන්නවා”
බන්කේයි හිමියන් ගේ කතාව අවසානයේ, සොරකම් කළ ශිෂ්‍යයා ගේ
දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට විය. ඉන්පසු ඔහු කිසි දිනෙක
සොරකම් නො කළේ ය.
අධ්‍යාපනයේ පරමාර්ථය යහපත් මිනිසුන් තැනීම නම්, බන්කේයි
හිමියන් ගේ මඟ අනුගමනය කිරීම මැනවි. |