දහමේ ආභාෂයෙන් පොහොසත් වූ
හෙළ සිරිත්-විරිත්
කුරුණෑගල දහම් සරසවියේ කථිකාචාර්ය,
කු/බුලුවල ශ්‍රී විජය මහ පිරිවෙනේ ආචාර්ය
ඒ. එම්. සෙනෙවිරත්න බණ්ඩා
(ශාස්ත්‍රවේදී ගෞරව, අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමා අධ්‍යාපනපති)
සමාජයේ සංස්කෘතික වශයෙන් සුවිශාල පරිවර්තනයක් සිදු වූයේ සම්බුදු දහම
ලැබීමෙන් පසුවය. ජන හදවත් තුළ සාමය, සහජීවනය, ආගන්තුක සත්කාර වැනි උසස්
සාරධර්ම වැඩි දියුණු කර ගැනීමට හැකි වූයේ ද සම්බුදු දහම තුළිනි.
පුද්ගලයා හා සමාජය අතර ගොඩ නැඟුන සබඳතාවය කාරුණිකත්වය හා සුහදත්වය මත
වඩා වර්ධනය විය. අපේ රටේ ජන සමාජයට බුදු දහම කේන්ද්‍ර කරගෙන යහපත්
සිරිත් විරිත් බද්ධ වී ඇති ආකාරය මෙරට ජන ජීවිතයේ සමාජ චර්යාවෙන්
මැනවින් පිළිබිඹු වේ.
මිනිසා සමාජශීලී සත්වයෙකි. ඔහුට සමාජයේ හුදෙකලාව ජීවත් විය නොහැකිය.
මිනිසා නිබඳවම අන් අය සමඟ සබඳතා පවත්වයි. එහි දී පොදු සමාජ ධර්මවලට
අනුගත විය යුතුය. සමාජ සාරධර්මවලට ගරු නොකරන්නා සමාජයේ ගැරහුමට ලක් වේ.
අපේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයන් හා විවිධ ආයතන සමඟ
සබඳතා පවත්වා ගැනීමට සිදු වේ. රෝහල, සමුපකාරය වැනි ආයතන සමඟ ගනුදෙනු
කිරීමේ දී එකී ආයතනවලට අනුගතව, ආයතනික නීතිරිතිවලට පටහැනි නොවන ආකාරයට
අපේ අවශ්‍යතා සපුරා ගත යුතුය. අන් අයගේ අයිතිය උල්ලංඝණය නොකළ යුතුය.
පෝලිමේ යා යුතු අවස්ථාවල පෝලිමෙන් පිට පැන ආත්මාර්ථකාමීව හැසිරීම
අනුචිතය. අනවශ්‍ය ගැටළු අර්බුද ඇතිකර නොගෙන සාමකාමීව හැසිරිය යුතුය.
බිළිඳු දරුවකු වඩා ගත් මවකට, අසරණ වූ මහල්ලෙකුට තම වාරය පිරිනැමීමට
කාරුණික විය යුතුය.
බස්රිය, දුම්රිය වැනි පොදු වාහන ජාතිය සතු පොදු දේපලය. ඒවාට හානි
නොකිරීමට වග බලා ගත යුතුය. ආසන කුරුටුගෑම, විදුලි බල්බ්, විදුලි පංකා
විනාශ දර දැමීම බරපතල අපරාධයකි. ගමන් බිමන් යාමේ දී අන් අයගේ නිදහසට
බාධා නොවන පරිදි පොදු වහනවල ගමන් කළ යුතුය. ගමනාන්තයට තමා ගෙවිය යුතු
ගාස්තුව නොගෙවා වංචා කිරීම නොහොබී. දඬුවම් ලැබිය යුතු වරදකි. පොදු
වාහනවල ගමන් බිමන් යාමේ දී බුලත් විට සැපීම, දුම්පානය කිරීම අන් අයට
බාධාවකි. ලෙඩෙකුට, ආබාධයෙකුට, බිළිඳකු වඩාගත් කාන්තාවකට තමන් වාඩි වී
සිටින අසුන පිරිනැමීමට ඉදිරිපත්වීම ඉතා අගය කළ හැකිය.
පන්සලකට ඇතුළුවීමේ දී හිස්වැසුම්, පාවහන් ගලවා ඇතුල් විය යුතුය. ආරාම
සන්තක දේපලවලට අලාභ හානි කිරිම නුසුදුසුය. විහාරස්ථානවල ආගමික
කටයුතුවලට සහභාගිවීමේ දී ඉතා චාම් ඇඳුමෙන් සැරසීම ඉතාම සුදුසුය.
පොදු ස්ථානවල දී විනීතව ආචාරශීලීව හැසිරීම අන් අයගේ කාරුණිකත්වය හා
සුහදත්වය තමන් වෙතට නැඹුරු කර ගැනීමට හේතු වේ. තමා ප්‍රියශීලී කෙනෙකු
බවට ද පත් වේ. තමා සමාජය අගය කරන්නෙකු බවට පත්වීමට ද හේතු වෙයි.
ශ්‍රී ලංකාවේ පළාතෙන් පළාතට අවමංගල සිරිත් විරිත්වල යම් යම් වෙනස්කම්
දක්නට ලැබුණත්, ආගමික වත් පිළිවෙත්වලට එහි දී මුල්තැන දීම පොදු
ලක්ෂණයකි. තම ඥාතියකු, අසල්වැසියකු, හිතවතෙකු වියෝවීම දුකට හේතුවක්
වුවද, බුදු දහමට අනුව හටගත්තා වූ සියලුම දේ විනාශවීම පොදු ධර්මතාවකි.
මෙවැනි අවස්ථාවල දී සංවේගය උපදවා ගෙන හැසිරීමට වෙර දැරිය යුතුය. නිවස
තුළ සංවේගදායී පරිසරයක් ඇති කර ගැනීමට බුද්ධිමත් බෞද්ධයා උත්සාහ ගනී.
නිවසේ ආගමික පින්තූ®ර හැර දින දර්ශන, ඡායාරූප වැනි සෙසු දර්ශන කණපිට
හරවා තැබීමත්, බුලත් වට්ටියේ බුලත් කොළ කණපිට හරවා තබන්නේත් වියෝවක්
ඇතිවී තිබීම සංකේතවත් කිරීමටය. සමහර අවමංගල නිවාසවල කැරම් ගැසීම, දාන්
ඇදීම, කාඩ් සෙල්ලම් කිරිම වැනි විනෝදජනක ක්‍රීඩාවල යෙදෙමින්
විනෝදාස්වාදය ලබති. එසේ හැසිරීම කවර ආගමිකයකුට වුවද නො ගැලපේ. අතීතයේ
දී මෙවැනි අවස්ථාවල දී රාත්‍රි කාලයගත කළේ වෙස්සන්තර ජාතකය ශබ්ද නගා
කියමින් හෝ සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනය කරමින්ය. වර්තමානයේ එසේ ක්‍රියා
කරන අවස්ථා දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.
අවමංගල කටයුතුවලට සහභාගිවීමට පිටතින් පැමිණෙන අයත්, නිවසේ අයත් චාම්
ඇඳුමකින් සැරසීම ඉතාම සුදුසුය. බොහෝ දෙනෙක් සුදු ඇඳුම මෙබඳු අවස්ථාවල
දී භාවිතයට ගනිති. සුදු ඇඳුම් චාම් බවේ සංකේතයකි. මෘත දේහය දෙපස
පොල්තෙල් පහන් දල්වා තැබීම චිරාගත සම්ප්‍රදායකි. එහි විද්‍යාත්මක
පදනමක් ද තිබේ. දේහය තැන්පත් කර තිබෙන්නේ හිස බස්නාහිර දිසාවට සිටින
ලෙසටය. ජීවිතයේ අවසානය, බැසයෑම එයින් සංකේතවත් කරයි.
අවමංගල නිවසේ අයටත්, පිටතින් යන එන අයටත් ආහාර පානාදියෙන් සංග්‍රහ
කරන්නේ අහල පහල නෑදැ හිතවතුන්ය. වර්තමානයේ සෑම ගමක් ගමක් පාසාම වාගේ
අවමංගල්‍යාධාර සමිති මගින් මෙම සත්කාර්යය ඉතා හොඳින් ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලාංකීය සමාජය කවදත් සංග්‍රහශීලිය. එවැනි සේවා අගය කළ යුතුය.
දේහය නිවසේ දින තුන හතරක් තබා ගැනීම සෑම අතකින්ම අපහසුකම් ඇතිවීමට හේතු
වේ. මියගිය පුද්ගලයාට කරන සැබෑ ගෞරවයක් ද නොවේ. ඇතැම් ප්‍රදේශවල අවසන්
කටයුතු කිරීම හා දේහය නිවසින් බැහැරට ගැනීම නැකැත් හෝරාවලට අනුව සිදු
කෙරේ. මෙහි විද්‍යාත්මක පදනමක් නැත. මෙවැනි හරසුන් පිළිවෙත් වලින් හැකි
තරම් දුරට ඈත් විය යුතුය.
අවමංගල අවස්ථාවල දී සැරසිලි කරන්නේ මියගිය තැනැත්තාට කරන ගෞරවයක්
වශයෙන් මෙන්ම සංවේගදායක පුවත දැනුවත් කිරීමේ අරමුණෙන්ය. එහිදී ඉතා චාම්
ලෙස සැරසිලි කළ යුතුය. ඉටි රෙදි භාවිතය පරිසරයට හානිදායකය. එබැවින් මේ
සඳහා සම්පත්වලට හානියක් නොවන, පරිසරයට හානි නොවන දෑ යොදා ගැනීමට අපේ
අවධානය යොමු විය යුතුය. ආදාහන පෙරහර ද ඉතා චාම් ලෙස ක්‍රමවත් ආකාරයට
සංවිධානය කර ගත යුතුය. දේහය තැන්පත් කර තැබීමට වත් පොහොසත්කම් අනුව
සාප්පුවකින් මිලට ගත් පෙට්ටියක් යොදා ගනී. මිල අධික වටිනා දැව වලින්
සකස් කළ පෙට්ටියක් භාවිතා කිරීම මියගිය පුද්ගලයාට කරන සැබෑ ගෞරවයක් නම්
නොවේ. හුදෙක් එය ධනවත්කම හුවා දැක්වීමක් පමණි. නිවසේ දී හෝ සුසාන
භූමියේ දී ආගමික වතාවත් සිදුකර මියගිය තැනැත්තාට පින්පෙත් පමුණුවා
ගුණානුස්මරණ කථා පවත්වනු ලැබේ. මෙහි දී ගිහි කථා වාරය ඉතාම කෙටියෙන්
පැවැත්වීමට න්‍යාය පත්‍රය සකස් කරගත යුතුය.
මෘත ශරීරය මිහිදන් කිරීම, තැන්පත් කිරීම හෝ ආදාහනය කිරීම යන ක්‍රම
තුනෙන් එක් ක්‍රමයක් යොදා ගනී. දේහය කරමත තබාගෙන මිනී වළ වටා තුන්වරක්
පැදකුණු කිරීම සාවද්‍ය පිළිවෙතකි. දේහය වළ මත තබා දකුණුලයට හැරී
තුන්වරක් දේහය වටා පැදකුණු කිරීම නිවරැදි ක්‍රමයයි. සෑම ප්‍රදේශයකම
මියගිය ඥතිවරයා වෙනුවෙන් තුන් දවසින්, හත් දවසින්, තුන් මාසයෙන්,
අවුරුද්දෙන් පින් දහම් කර පින් පෙත් අනුමෝදන් කරයි. එය ආනාදිමත් කාලයක
සිට බෞද්ධයන් විසින් පවත්වාගෙන එන යහපත් සිරිතකි.
තරුණියක මනාලයාගේ නිවසට කැන්දාගෙන ඒම ආවාහයයි. තරුණියක් මනාලයාට සරණකර
දීම විවාහයයි. බෞද්ධ පරිසරය තුළ මරණ, මංගල සිරිත් විරිත් ආගමානුකූ®ලව
පවත්වනු ලැබේ. කුල සිරිත් ගරු කරන දෙමව්පියේ තම දූ දරුවන්ගේ ආවාහ -
විවාහ මංගල කටයුතුවල දී සුවිශේෂ අවධානයක් යොමු කරති. කේන්දර බැලීම්,
පොරොන්දම් බැලීම සුබ නැකැත් හෝරාවලට අනුව දින නියමකර ගැනීම ආදිය ඈත
අතීතවල සිට පැවතෙන චාරිත්‍රයන්ය. බෞද්ධ පරිසරයේ හැදෙන වැඩෙන දරුවෝ
මෙවන් අවස්ථාවල දී සිය දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතිව කටයුතු කරති.
සුදුසු කල තම දරුවන්ට ආවාහ - විවාහ කටයුතු කරදීම දෙමව්පියන්ගේ වගකීමකි.
මේ බව ගෞතම බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සුත්‍රයේ දී දෙමව්පියන්ගෙන්
සිය දරුවන්ට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් දේශනා කළ සේක. ගුණ යහපත්කම,
පවුල් පරිසරය, දැන උගත්කම ආදී තොරතුරු සොයා බැලීම කෙරෙහිද අවධානය යොමු
කරති. සුරා සූදුවෙන්, දුම් පානයෙන් වැළකුණු තරුණයකු සිය දියණියට විවාහ
කරදීමට සෑම දෙමව්පියෝම කැමති වෙති. සුදුසු කල වයසට නොපැමිණි දරුවන්
දෙමව්පියන්ගේ ආශිර්වාදය නොලැබ සිය අභිමතය පරිදි ආවාහ - විවාහ කටයුතු කර
ගැනීම නුසුදුසුය.
බොහෝ බෞද්ධ නිවෙස්වල මංගල කටයුතුවලට පෙර දිනයක දී ගරුතර මහා සංඝ රත්නය
ගෙදරට වඩම්මවාගෙන දන් පිරිනමා පිරිත් සජ්ඣායනා කරවා ආශිර්වාද ලබා
ගනිති. එය යහපත් බෞද්ධ සිරිතකි. මංගල උත්සවය අත මිට සරු අය ඉතා ඉහළින්
පවත්වති. අනුකරණයට නැඹුරු වූ අත මිට සරු නැති ඇතැම් දෙමව්පියවරු තිබෙන
නිශ්ඵල චංචල සම්පත් විකුණා දමා සාටෝපයට මංගල උත්සව පවත්වති. මෙහිදී
බුද්ධිමත්ව සරලව එහෙත් අර්ථවත් පරිදි එම උත්සව කටයුතු සිදු කිරීමට
උත්සාහ දැරිය යුතුය. මංගල උත්සවවල දී මත් වතුරින් සංග්‍රහ කිරීම
අනිවාර්ය අංගයක් බවට පත්වී තිබේ. බෞද්ධ පරිසරයට අනුව හැඩ ගැසුනු
නිවාසවල පවැත්වෙන උත්සවවලදී එසේ සංග්‍රහ කිරීම නුදුසුදුය.
මංගල චාරිත්‍ර අතර මංගල පෝරුවේ කෙරෙන චාරිත්‍රවලට වැදගත් ස්ථානයක් හිමි
වේ. මංගල පෝරුව දර්ශනීය ආකාරයට සකස් කරයි. පඬුරු, සහල්, ලද පස්මල්,
පොරි පෝරුව මත විසුරුවයි. පෝරුව දෙපස පුන් කළස් තබා පහන් දක්වනු ලැබේ.
සුබ මොහොතකට අනුව යුවතිපති දෙපල දෙපාර්ශවයේ මාමාවරුන් දෙදෙනෙකු විසින්
පෝරුවට නංවයි. මංගල පෝරුවේ කෙරෙන චාරිත්‍ර ආගමානුකූ®ලව සිදු කෙරේ.
පන්සිල් ගැනීම, බුදු ගුණ ඇතුළත් මංගල අෂ්ටක කීම, යශෝධරා දේවිය හා
සිදුහත් කුමාරයා අතර ඇති වූ විවාහය පිළිබඳ තොරතුරු කවියෙන් කීම වැනි
බෞද්ධ පරිසරයෙන් ඔපවත් වූ සිරිත්වලට මුල් තැනක් හිමි වේ. දෙපාර්ශ්වයේ
මාමාවරුන් විසින් නව යුවතිපති යුවල සුබ නැකතට අනුව මංගල පෝරුවෙන්
බස්සවයි.
චිරාගත සිරිත් විරිත් ගරු කරමින් මෙම උත්සව පැවැත්වීමට අවධානට යොමු
කිරීම ලක්වැසි දූ පුතුන්ගේ වගකීමකි. විද්‍යාව හා තාක්ෂණය අතින් අද ඉහළ
දියුණුවක් ලබා තිබුණත් චිරාගත සම්ප්‍රදායන් ලුහු කොට නොසැලකිය යුතුය.
ජපානය වැනි ඉතා දියුණු රටවල වුවද ආවේණික සම්ප්‍රදායන්, හර පද්ධතින් ඒ
ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ ඒ රටේ ජනතාවට එකී චිරාගත සම්ප්‍රදායන් අමිල
දායාදයන් බැවිනි. ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට උරුම වූ ජාතික සම්ප්‍රදායන්,
සිරිත් විරිත් හරපද්ධතීන් සුරක්ෂිත කර ගැනීම, පවත්වාගෙන යාම, මතු
පරපුරට පවරාදීම ජාතික වගකීමකි.
අප මෙහි දී පෙන්වාදීමට උත්සාහ දරා තිබෙන්නේ අනාදිමත් කාලයක සිට බෞද්ධ
පරිසරයේ ගොඩ නැගුණ සිරිත් - විරිත් කිහිපයක් පිළිබඳවයි. බෞද්ධ ජනතාව
තමන්ට සිය ආගමික සන්දර්භය තුළින් උරුම වූ සිරිත් විරිත් හඳුනා ගෙන ඒවාට
අනුගතව කටයුතු කිරීමට හුරු පුරුදු විය යුතුය. |