මහා පවාරණය
දෙකිද අලුත්ගම ධර්මරාජ විහාරාධිපති විශ්‍රාම ලත් නියෝජ්‍ය පරිවේණාධිපති
වරකාවේ සද්ධානන්ද හිමි
වස් තුන්මස අවසානයේ දී පෙරවස් විසූ භික්‍ෂූන් වහන්සේ වප්මස
පුරපසළොස්වක් පොහෝදින පෙරවස් පවාරණය කළ යුතු යි. ඉල්මස පුරපසළොස්වක්
පොහෝ දින පසුවස් පවාරණය කරනු ලැබේ. පෙරවස් විසූ භික්‍ෂූන් වහන්සේගේ
පවාරණය මහා පවාරණය නම්වෙයි.
මේ අනුව මෙම වර්ෂයේ මහාපවාරණය යෙදී තිබුණේ 2007 ඔක්තෝම්බර් 25 වප්මස
පුරපසළොස්වක් පොහෝ දිනටය.
වස් පවාරණය ප්‍රභේද
තුදුස්වක් පවාරණය, පසළොස්වක් පවාරණය, සාමග්ගි පවාරණය තෙවාචික පවාරණය,
දෙවවචික පවාරණය, එක වචික පවාරණය, සංඝ පවාරණය, ගණ පවාරණය, පුද්ගල පවාරණය
යන මෙකී පවාරණ නවයකි. පවාරණයද පොහොය කිරීම හා බොහෝ දුරට සමානයි.
පුබ්බකරණ, පුබ්බ කිච්ච, පත්තකල්ල යන මේව නිමවා ඤත්තිය තබා පවාරණය කරනු
ලැබේ.
පළමුව වැඩිමහලු තෙරුන් උක්කුටිකයෙන් හිද නමස්කාරය කියා පවාරණ වාක්‍ය
තුන් වරක් කියා පවාරණය කරනු ලැබේ. සියලුම බාල භික්‍ෂුහු උක්කුටිකයෙන්
සිටිය යුතු ය. අනතුරුව පිළිවලින් සියලුම භික්‍ෂූහු පවාරණ වාක්‍යය කියා
පවාරණය කළ යුතුයි.
පෙරවස් විසූ සියලුම භික්‍ෂූන් වහන්සේ පවාරණය කළ පසු ජින්න වූ වස් ඇති
භික්‍ෂුවද පෙර වස් නොවැසූ භික්‍ෂුව ද උක්කුටිකයෙන් හිඳ ‘පරිසුදෙධා
අහංභනෙත (ආවුසො) පරිසුදේධාති’ මංධාරෙථ, පරිසුද්ධඋපෝසථය කරන්නේය.
මහණෙනි! වැඩිමහලු භික්‍ෂුහු උක්කුටිකයෙන්හිඳ පවාරණය කරන කල්හි අසුන්වල
නොහිදිය යුතු ය. යමෙක් හිඳියි නම් දුකුලා ඇවැත්වේ. වැඩිමහලු වූ දුර්වල
වූ ස්ථවිර නමක් සියලු භික්‍ෂුන් පවාරණය කරනතුරු උක්කුටිකයෙන් හිඳ
සිහිමුර්ජා වී වැටුණේ ය. එබැවින් තමන් පවාරණය කරන තෙක් උක්කුටිකයෙන්
හිඳීමටත් අවසන් වූ පසු හිඳ ගැනීමටත් අවසර දුන්හ. පොහෝ කර්මය කළ නොහැකි
ගිලන් වූ භික්‍ෂූහු ඇතොත්.
“අනුජානාමිභික්‍ඛවෙ ගිලානෙන භික්‍ඛුතා පවාරණං දාතුං” පවාරණචන්දය දිය
හැකියයි වදාළහ. එසේ නොහැකි නම් ඇඳක හෝ පුටුවක තබාගෙන සඟමැදට ගෙන ගොස්
පවාරණය කර විය යුතු ය. රෝගය බලවත් නම් ඒ භික්‍ෂුව සිටිනා තැනට ගොස්
පවාරණය කළ යුතු ය. පවාරණය තුළින් සංඝ සාමග්ගිය පිණිස හේතු වේ. |