UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දිගු කල් සුව දෙන මහ පින්කම

වස්සාන සෘතුවට ඇති මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමය, කඨිනස්ථාර මාසය ආදී නම් වලින් හඳුන්වනු ලබයි. වස්සානයේ මුල් මාස තුන තුළ වස් ශික්‍ෂාපද ආරක්‍ෂා කරමින් සමථ, විදර්ශනා භාවනා වඩන භික්‍ෂුන් වහන්සේලා අතරින් වැඩි දෙනා ධ්‍යාන අභිඥා මෙන්ම මාර්ග ඵල ධර්මයන්ට පත්වෙමින් ගිහි පින්වතුන්ට ද එවැනි ගුණ පිළිවෙත් පුරා ගැනීමට අවකාශ උදා කරයි. වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිති කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට උන්වහන්සේලාට අවස්ථාව උදාවෙයි. දැන් උදාවී පවතින්නේ ද එම පුණ්‍යවන්ත කාල සීමාව වන නිසා විනය පිටකයේ මහාවග්ග පාලි, පරිවාර පාලි ග්‍රන්ථද්වයේ සහ සමන්තාපාදිකා නම් විනයට්ඨ කථාවේත් තදන්‍යටීකා ග්‍රන්ථ වලත් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විස්තර කරන ලද කරුණු අනුව කඨිනස්ථාරය නම් විනය කර්මය පිළිබඳ කරුණු දැක්වීම නඟාලීම කාලෝචිත යැයි හැඟේ.

කඨිනය යනු කුමක් ද?

පරිවාර පාලියේ දැක්වෙන පරිදි කඨිනය යනු - යම්කිසි ධර්ම සමූහයක එකතුවට ව්‍යවහාර කරන නාම සම්මුතියකි. අටුවාවේ මෙය තවත් පැහැදිලි කරමින් සත්‍යවශයෙන් කඨිනය යැයි දැක්විය හැකි යම් එක් පරමාර්ථ ස්වභාවයක් නැති බවද රූපාදී ධර්ම සමූහයක එකතුවට මෙම නාම මාත්‍රය (ඊට ව්‍යවහාර වශයෙන්) යෙදෙන බවද දක්වයි. මේ කරුණු සියල්ල සමෝදාන කොට දක්වන විනයාලංකාර ටීකාව කියන්නේ, පෙරවස් විසූ භික්‍ෂුවය, (කඨිනය ලබන්නද සමඟ) පස් නමකට නොඅඩු උපසපන් භික්‍ෂූ සංඝයා ය. චීවර මාසය හෙවත් වස්සාන සෘතුවේ අවසාන මාසය එළඹීමයි, දැහැමෙන්, සෙමෙන් සංඝරත්නය වෙත උපන් කඨින වස්ත්‍රය යන නාම රූප ධර්ම සමූහයක් එකට හමු වූ කල්හි එය හැඳින්වීමට මෙම ප්‍රඥාප්ති නාම මාත්‍රය යෙදෙන බවය. එහෙත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ දී කඨිනය ඇතිකිරීමට ගන්නා චීවරයට මෙන්ම එම චීවරය මැසීමට ගන්නා වස්ත්‍රයට ද කඨිනය කියා ව්‍යවහාර කරන බව පෙනේ.

“කථ” ධාතුවෙන් පරව “ඉන” ප්‍රත්‍ය වී “කථ හට කඨ” ආදේශ වී නිපැයෙන කඨින යන වචනයේ වචනාර්ථ දන්නෝ කඨිනාස්ථාරයේ ආනිසංස සමඟ එම වචනාර්ථ ගලපා මෙම වචනය අදාළ ධර්ම රාශියට ව්‍යවහාර වශයෙන් යෙදීමේ නිරවද්‍යභාවය සනාථ කොට පෙන්වා ඇත. ලෙහෙසියෙන් නොකැඩෙන, නොබිඳෙන, විනාශ නොවී (බොහෝ කලක්) පවතින ස්වභාවය යන අර්ථය එම වචනයෙන් උපදියි. “මහණෙනි! විසූ වස් ඇති (වස් වසා පවාරණය කරන ලද) භික්‍ෂූන් වහන්සේට කඨිනයක් අතුරන්නට අනුදනිමි. කඨිනය අතුරන ලද නුඹලාට අනාමන්තචාරය, අසමාදාචාරය, ගණභෝජනය, යාවදත්ත චීවර, යෝච තත්ථ චීවරුප්පාද යන පහක් කැප වශයෙන් හිමි වන්නාහ.”යනු බුද්ධ ප්‍රඥප්තියයි. භික්‍ෂූන් වහන්සේට පනවා ඇති ශික්‍ෂාපද කිහිපයකින් ලිහිල් බව පහසු බව සලසාදීම පිළිබඳව මෙම කරුණු වලින් කියවෙයි. එම ආඥාවට අනුව කඨිනානිසංස 5 උපදවන, එකට එකතු කරන නිසා කඨින යන ව්‍යවහාරය එයට ගැලපේ. කඨිනානිසංස පවතින මාස 5 ක කාලය පුරා තත් ආනිසංස ඉපදී රඳා සිටින බලය ඉන් ඉපදවීම ඊට හේතුවයි. වස් ශික්‍ෂාපද මැනවින් ආරක්‍ෂා කර කඨිනය අතුරන ලද භික්‍ෂු වහන්සේට බුද්ධ ආඥාව පරිදි ඒකාන්තයෙන්ම මේ කඨිනානිසංස උපදින බැවින් ද වස් ආරක්‍ෂා කිරීමේ සහ විනයට අනුව කඨිනය අතුරා එහි ආනිසංස භුක්ති විඳීමේ පුණ්‍ය බලයෙන් භික්‍ෂූන්ට නිවන හිමි කොට (ලෞකික, ලෝකෝත්තර) විපාක උපදවන බව ස්ථිරසාර බැවින් ද, ඒ සඳහා භික්‍ෂූන් වහන්සේට උපකාර කරන ගෘහස්ථයින්ට ද සසර පුරා තිරසාරව විපුල පුණ්‍ය විපාක උපදවා නිවන් පසක් කිරීමට උපකාර වන බැවින් ද එතෙක් සසර පුරා දිගු කලක් සුඛ විපාක භුක්ති විඳීමට ලැබෙන බැවින් ද කඨින යන වචනය ව්‍යවහාර කිරීමට ඉඩ ලැබෙන බව තහවුරු වෙයි.

කඨිනයක් පිදීමට සූදානම් වීම

පෙරවස් වසා පවාරණය කළ එක උප සම්පන්න භික්‍ෂුවක් හෝ කිහිප නමක් වැඩ සිටින විහාරයක දී වප් පුරපසළොස්වක දිනට පසු දින (වප් අව පෑළවිය දින) සිට ඉල් පුරපසළොස්වක දිනය දක්වා වූ වස්සාන සෘතුවේ අවසාන මාසය හෙවත් කාර්තික මාසයේ නියම කරගත් යම්කිසි දිනයක සංඝයා රැස්ව සිටියදී දායක පිරිස සකස් කළ යෝග්‍ය කඨින වස්ත්‍රයක් ඇති කල්හි කඨින අස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව සැලකෙන බව ඉහත තොරතුරු අනුව සනාථ විය. යම්කිසි දෙවියෙකුට මනුෂ්‍යයෙකුට හෝ භික්‍ෂු භික්‍ෂුණී ආදී පැවිදි කෙනෙකුට හෝ කඨිනයක් සඟසතු කොට පූජා කර ගැනීමට අවස්ථාව උදාවන බව දැක්වේ. දායක තෙමේ එය පූජා කරන්නේ සංඝරත්නය වෙතය. (සංඝිකවයි)මෙම සංඝික කිරීම එදින රැස් වූ සංඝරත්නය වෙනුවෙන් එක් නමක් දෙනමක් ඉදිරියේ හෝ සියලු සංඝරත්නය ඉදිරියේ කළ හැකි ය. සෙසු සංඝික පින්කම් වලදී රැස්ව සිටින සියලු සංඝරත්නයට පිරිකර කොටස් බෙදී යන මුත් මෙදින ලැබෙන සියලු පිරිකර වල අයිතිය ලැබෙන්නේ කඨිනය අතුරන ලද භික්‍ෂූන්ට ය.

වස් විසූ විහාරයේ භික්‍ෂූන් වහන්සේලාගේ අනුදැනීමක්, මැදිහත් වීමක් හෝ සංවිධානය කිරීමක් නැතිව දායක පක්‍ෂයේම මැදිහත් වීමෙන් සංවිධායකත්වයෙන් භික්‍ෂූන් වෙත කඨිනයක් පුදන්නේ නම් ඉන් නියම කඨිනානිසංස ජනිතව දෙපාර්ශවයටම මහත්ඵල මහානිසංස ලැබෙන්නේ ය. මේ අනුව පළමුවම කළ යුත්තේ සුදුසු වස්ත්‍රයක් සපයා ගැනීමය. චීවර සඳහා තෝරා ගන්නා වස්ත්‍රය, ගස්වල කොළ, මල්, ගෙඩි, පොතු ආදිය තම්බා ලබා ගත් කහට වතුරෙන් කළ පඬු උරා ගන්නා එකක් විය යුතු ය. එසේම එය අලුත්ම වස්ත්‍රයක් විය යුතු ය. එවැන්නක් නැති විට දෙතුන් වරක් සෝදන ලද වස්ත්‍රයක් ද සුදුසු ය.

ඉන් පැරැණි වූවක් නොසුදුසු ය. එසේම එම සුදුසුකම් සපුරන ලද තැනින් තැනින් එකතු කර ගත් රෙදි කැබලි කිහිපයක් වූවද කඨිනයට යොදා ගැනීමට අවසර තිබෙයි. මෙසේ සපයා ගන්නා ලද කඨින වස්ත්‍රය විහාරයට ගෙන ගොස් සංඝික වශයෙන් පූජා කරනු ලැබෙයි.

අදාළ විහාරයේ වස් විසූ භික්‍ෂූන් 5 නමක් නැති නම් කඨිනය දෙන දිනයට වෙනත් විහාරයකින් හෝ සංඝයා වැඩමකරවා ගත යුතු ය. ඒ නිසා හිටි හැටියේ විහාරයට ගොස් ‘අපි කඨිනයක් දීමට ආවා’ යයි කීමෙන් එහි භික්‍ෂූන් වහන්සේලා ද දායක උදවිය ද විවිධ අපහසුතාවයනට පත් වනු ඇති නිසා වස් අවසානයේ පින්කමක් සිදුකර ගන්නට අවශ්‍ය බැව් දායක උදවිය විහාරයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේලාට දැනුම් දිය යුතුයි. තවත් භික්‍ෂූන් කිහිප නමක් වැඩමවා දෙන ලෙසද ආරාධනා කළ යුතු ය. ඒ අතරතුර ඉතාම සංයතව, ශික්‍ෂිතව කටයුතු කරමින් චාම් සරල පින්කමක් සංවිධානය කළ යුතු ය. කඨින වස්ත්‍රයට අමතරව චීවරය මැසීමට අවශ්‍ය නූල් ද හැකිනම් තවත් ලඝු ගුරු පරිස් කාරද වැඩම වන මහා සංඝරත්නය උදෙසා දානය ද මේ අතරම සම්පාදනය විය යුතු ය. මේ සියල්ල ඉතාම නුවණැතිව ශාසන දයාවෙන් නිවන් අරමුණු කරගෙනම සිදු කිරීම අවශ්‍ය ය. ‘අපි කඨින පින්කම ලොකුවට කලා’ යැයි තැන තැන හපන්කම් කියන සිතින් කැපී පෙනෙන අදහසින් හෝ අනෙක් ස්ථාන සමඟ තරගයට කටයුතු කරන්නට යාමකින් තොරව සියලු ලාමක බලාපොරොත්තු පසෙකලා ‘මේ වනාහී සංඝරත්නයෙහි අති උත්තරීතර විනය කර්මයකට උපකාර කිරීමක් ය’ යන පිරිසුදු චේතනාවෙන්ම මේ කටයුතු කිරීම නිවැරැදි ක්‍රමයයි.

කඨිනයක් පුදන පිළිවෙළ

මෙසේ සකස් කර ගනු ලබන කඨිනය සහ සෙසු පරිස්කාර ආදියත් අළුයම් කාලයේ විහාරයට පමුණුවාගෙන ඒ බැව් මහාසංඝරත්නයට මතක් කිරීම අපේ ගතානුගතික සිරිතය.බොහෝ උදවිය සිතා සිටින්නේ කඨිනය කියන්නේ මෙසේ වස්ත්‍රය විහාරයට පෙරහැරේ ගොන ගොස් සංඝරත්නයට පූජ කිරීම පමණක්ය කියා යි. මෙහි ඉදිරි කටයුතු පිළිබඳ යථාර්ථය ඇතැම් දෙනා දන්නේ නැත.

එනිසාම වැරැදි නිසරු පිළිවෙත් වලට මුල්තැන දී මේ උතුම් ශාසනික කටයුත්තේ ගාම්භීරත්වය පළුදු කරන බව පෙනෙන්නට තිබේ. ඒ නිසා අවංකවම ශාසනය බබළවනු කැමති ශික්‍ෂාකාමී භික්‍ෂුවට විනය පිළිවෙත බැබළවීමෙන් ප්‍රතිපත්තිය තුළින් ශාසනය බැබළවීමට මහත් කැපවීමකින් කටයුතු කිරීමට සිදු වී ඇති බව මෙහිලා අවධාරණය කළ යුතුව ඇත. එනිසා දායක පිරිස් වෙත විස්තර හොඳින් කියා දී මතුමතුවට මේ කටයුතු නිවැරැදිව කිරීමට මග ;පන්වීම භික්‍ෂුවගේ වගකීමකි. විහාරයට ගෙන ආ කඨින ‘ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම’ කියා දායක පින්වතුන් විසින් සාංඝික කළ පසු එය අයිති වන්නේ සංඝරත්නය වෙතය. කඨිනයක් ලබන්නේ ද කඨිනයක් දෙන්නේද සඟරුවනටයි. එයට අවකාශ සලසමින් කඨින වස්ත්‍රයක් සපයා සංඝරත්නයට පූජා කරන්නේ දායක පක්‍ෂයයි. සංඝරත්නයට ලැබෙන කඨින වස්ත්‍රය ගෙන සීමාවට රැස් වන සංඝරත්නය විසින් එම විහාරයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේ අතරින් එක් නමක් සම්මත කරගෙන ඤත්තිදුතිය කම්ම නම් විනය කර්ම මඟින් කඨිනය ඇතිරීම පිණිස ඒ සම්මත කරගත් (කඨිනස්ථාරක) භික්‍ෂුවට පවරා දෙයි. කඨිනය සම්බන්ධ වැදගත්ම කටයුතු සිදු කෙරෙන්නේ මින් ඉදිරියටය. ‘කඨිනය දීම, කඨිනය පැවරීම’ කියා කියන්නේ එම අවස්ථාවටය. එම දිනයේ සංඝරත්නය අවශ්‍ය වන්නේ මේ සඳහා ය. විනය කර්මයක දී සංඝ යනු උපසපන් භික්‍ෂූන් 4 නමක් හෝ ඊට වැඩි පිරිසකි. මෙහිලා පස් නමක් හෝ ඊට වැඩි පිරිසක් සිටිය යුතු යැයි කියන්නේ කඨිනය ලබන්නා ඒ වේලාවේ සංඝරත්නයට අයත් නොවන නිසාය. ඉතිරි හතර නම හෝ වැඩි පිරිස සංඝරත්නයයි.

මෙසේ කඨිනය ඇති කිරීම නම් විනය කර්මය කිරීම සඳහා සංඝරත්නයෙන් කඨිනය ලැබූ භික්‍ෂුව වස්ත්‍රය (කිළිටි වී ඇත්නම් සෝදා වේලා) අවශ්‍ය ප්‍රමාණයට මැනගෙන, නූල් ගසා, කඩ නියම කරගෙන, (කෑලි වලට) කපා, සිවුර මසා, පඬු පොවා, කප්බිංදුව තබා වැඩ නිම කළ සිවුරෙන් පසුදින අළුයමට පෙර ( ඒ දිනය ඇතුළත) කඨිනය ඇතිරීම කළ යුතු වෙයි. අනෙක් සියලු දෙනා වහන්සේ උන්වහන්සේට උපකාර කළ යුතු ය. නැති නම් ඒ සැමට ඇවැත් සිදු වේ. මේ කාරණා අනුව පැහැදිලි වන්නේ සංඝරත්නය වෙත කඨිනයක් පූජා කරන පින්වතුන් ඒ අදාළ දින ඉතා උදෑසනින් එය විහාරයට ගෙන ආ යුතු බව ය. කොස්කොළයේ නටුව පෙනෙන වේලාවට කඨිනය විහාරයට ගෙන යා යුතු යැයි අපගේ මුතුන්මිත්තන් තුළ ජන සම්මත ව්‍යවහාරයක් තිබුණේ මේ නිසා ය.

කඨිනය ඇතිරීම

වැඩ නිම කළ චීවරයෙන් කඨිනය ඇතිරීම එදිනම සිදුකරනු ලබයි. මෙය විනය කර්මයක් යැයි කියන්නේ ඤත්තිදුතිය කර්මයේම පරිවාරක කටයුතු සමූහයක් වශයෙන් මේවා සිදු කෙරෙන නිසා ය. සර්වඥයන් වහන්සේ ‘කඨිනස්ථාරය මෙසේ කළ යුතු ය’ යන ශීර්ෂය යටතේ මෙය කෘත්‍යය සියල්ල සම්පිණ්ඩනය කර වදාරා තිබීමෙන් මේ බැව් තහවුරු වෙයි. වස්ත්‍රය සෝදා, මැන, නූල් ගසා මඩුලු නියම කොට කපා, නැවත එම අතු එක්කොට මසා, පඬු පොවා අවශ්‍ය කටයුතු සම්පූර්ණ කළ පසු සිවුරේ වැඩ නිම වී යැයි කියනු ලැබේ. (විනයගත කරුණු අනුව සංඝරත්නයට කඨිනයක් පූජා කළ පසු ගිහියන්ට එහි මැසීම් පඬු පෙවීම් ආදී කටයුතු කිරීමට ඉඩදීම අවශ්‍ය නොවන බව ඉහත කරුණු වලින් හෙළිවන බවද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතුයි.) වැඩනිමකළ සිවුර ඇති කඨිනස්ථාරක භික්‍ෂුව ඒ චීවරයට සමාන පැරැණි චීවරය පච්චුද්ධරණය කොට ඒ වෙනුවට මෙම නව චීවරය අධිෂ්ඨාන කොට එය වම් අත්ල මත තබා ගෙන දකුණු අතින් පිරිමදිමින් (සුදුසු පරිදි වාක්‍ය යොදා) මෙයින් කඨිනය අතුරමි කියා වාග්භේදය කිරීම හෙවත් වචනයෙන් කීම කඨිනය ඇතිරීම නම් වෙයි. වාග් භේදයම කඨිනස්ථාරය නම් වන බව පරිවාර පාලියේ දැක්වෙන කරුණු වලින් හෙළිවෙයි. මෙසේ කරුණු කාරණා රාශියක් එකට එක් වීමෙන් කඨිනය ඇතිරීම් විනය කර්මය සම්පූර්ණ වන අතර බුද්ධ දේශනාවට අනුව කඨිනය ඇති රූ භික්‍ෂුවට කඨිනානිසංස 5 ක් හිමිවෙයි. එම භික්‍ෂුව විසින් ආරාමයේ වස් විසූ සෙසු භික්‍ෂූන්ට ද කඨිනානිසංස අනුමෝදන් කරවනු ලබනු අතර එම භික්‍ෂුවගෙන් ආනිසංස අනුමෝදන් වූ පසු ඒ සියලු දෙනාම ආනිසංස ලාභීන් වෙති. මෙම අසහාය ශාසනික විනය කර්මයට උපකාර කිරීමෙන් ද සිවුපසය සහිතව කඨිනයක් පූජා කිරීමෙන් ද දායකයනට අද්විතීය සාංඝික පුණ්‍ය කර්මයකින් ලැබෙන ශ්‍රේෂ්ඨ විපාක උපදින්නේ ය. මුලින් කඨිනය ගැන පැහැදිලි කළ විස්තර අනුව මෙහි ආනිසංස දෘඪ තර වන අයුරු තේරුම් ගත හැකි ය. ඊළඟට කිව යුතු කරුණ වන්නේ විනය කර්මයක් වශයෙන් කෙරෙන කඨිනයට පින්කමයැයි කීම සුදුසු නොවන බවය. පින්කමක් කළ පමණින් හෝ කඨිනයක් දී කඨිනය ඇති රූ පමණින් හෝ භික්‍ෂූන්ට කඨිනානිසංස ලැබෙන්නේ නොවේ. ‘මෙය මෙසේ විය යුතු යැයි’ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට අනුව විනය පිළිවෙත් ඉටු වූ කල්හිම එම ආනිසංස ජනිත වනු ලබයි. ඒ නිසා මෙය විනය කර්මයක් බව තිරසාරවම කිව හැකි ය. වස් කාලයේ අවසාන මාසය තුළ දිනයක එම විහාරයේ කෙරෙන පින්කමට ‘වස් අවසාන පින්කම’ කීම අර්ථාන්විතය. ‘අද අසවල් විහාරයේ කඨිනය. අසවල් විහාරයේ අසවල් දවසේ කඨිනය දෙනවා. කඨිනය අසවල් දා තියෙනවා’ ආදී යෙදුම් ඉතාම නිවැරැදි අර්ථාන්විත යෙදුම් ය.

මේ උතුම් ශාසනික ක්‍රියාව ඉතාම නිවැරැදිවත් නියම අයුරින් විපාක උපදවන ලෙසත් කිරීමට කැමති වන නුවණැතියන් වස් විසූ භික්‍ෂූන් වහන්සේ සමඟ එම විහාරයේ කඨිනය ගැන කථා කරන්නට නොයා ප්‍රවේසම් වෙති. ස්ථානයේ කෙරෙන සියලු කටයුතුම එම ස්ථානයේ වැඩ වෙසෙන සංඝයා වහන්සේලා සමඟ සමඟි සමාදාන සම්පන්නව කථාබහ කොට කළ යුතු ය. දායක උදවිය භික්‍ෂූන් පාලනය කරන්නට හදන්නට නොයා උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් සුහදව කටයුතු කිරීමට වගබලා ගැනීම වටී. හිතුමතේ වැඩ කිරීමට යාමෙන් ආරවුල් හට ගනී. ඒ නිසා වස් අවසාන පින්කමද ආරාමස්ථ සංඝයා සමඟ සහයෝගීව සංවිධානය විය යුතු ය. නමුත් කඨිනය ගැන උන්වහන්සේලාගෙන් කරුණු ඇසීම හෝ එය සිදුවන පිළිවෙල කියා අවශ්‍ය උපදෙස් ඉල්ලීම නුසුදුසු බව පෙනෙයි. පිටස්තර ආරාමයක විනය ගරුක භික්‍ෂූන්ගේ උපදෙස් ලබමින් කඨිනයේ වැඩ සංවිධානය කිරීම නුවණැති දායකයාගේ වතකි. වස් පින්කම සහ කඨිනය දෙකකි. වස් පින්කම එහි සංඝයාගේ අනුශාසනා මත පිහිටා කරන අතර කඨිනයට වස්ත්‍ර සෙවීම ආදිය වෙනම සංවිධානය වීම යෝග්‍යය.

දායක උදවිය විහාරයේ වස් විසූ භික්‍ෂූන් වහන්සේ සමඟ කඨිනය ගැන කල්තබා කථා කිරීමෙන් කඨිනයට සෘජුවම සිදුවන හානියක් නැත. නමුත් කඨින විපත් 24 ට ඇතුළත් කරුණු දෙකක් වන 1. පරිකථා කිරීම, (කඨිනයක් ලබා ගන්නා සිතින් ආනිසංස කීම, අවවාද දීම, මෙන්ම ලැබෙන පරිදි ළං කොට කථා කිරීම) 2. මෙයින් කඨිනය අතුරමි කියා කළින් නියම කර ගත් වස්ත්‍රයකින් කඨිනය ඇතිරීම යන විපත් දෙකෙන් ගැලවීමට භික්‍ෂූන් වහන්සේ කල්පනාකාරීව කටයුතු කළ යුතු ය.

කඨින විපත් 24 කි. සිහිමුලාවෙන් හෝ විනය නොදත්කමින් හෝ ඇතැමෙක් ප්‍රත්‍ය ආසාවෙන් මේ විපත් 24 න් එකකටවත් හසු වුවහොත් කඨින ආනිසංස උපදින්නේ නැත. ඒ නිසා කඨින සම්පත් 17 න් කියවෙන පරිදි කඨිනයක් ඇතිරීම් ක්‍රියාව සිදු විය යුතු ය. කඨින විපත් අතරින් ඉතා ලෙහෙසියෙන් මත් බොහෝ සෙයින්මත් පත්වන විපත් දෙක වන්නේ ඉහත කී කරුණු දෙකය. ඒ නිසා ඊට වැට කඩොලු බැඳීම පිණිස අපේ පැරණි ථෙරාචාර්ය වරයන් වහන්සේලා දායකයන් සමඟ කල් ඇතිව කඨිනය ගැන කථාවට නොගිය බැව් පෙනෙයි. කඨිනයක් දීමට (පූජා කිරීමට) සූදානම් වෙනවාය යන හැඟුමෙන් ‘කඨිනය, කඨිනය’ යැයි කියමින් මේ කටයුත්තට සූදානම් වීම කටයුතු සංවිධානය කිරීම නිසා දායක උදවියට වැඩිපුර ආනිසංස උපදවා ගත හැකි වනු ඇති මුත් භික්‍ෂූව එසේ කිරීමට යාමෙන් කඨිනානිසංස නොලැබෙන පරිදි කටයුතු යෙදීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත. එමනිසා භික්‍ෂූන් වහන්සේලා ද කඨිනය පුදන්නෝ ද අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙයි. ආනිසංස කීම කෙළින්ම හෝ අනියමෙන් කඨින වස්ත්‍රය ගැන උපදෙස් දීම එහි සංවිධාන කටයුතු කිරීම නිසා කඨිනය විපතට හෙළා නොගැනීමට අපගේ පුරාණාචාර්ය උතුමෝ කල්පණාකාරී වූහ. ඒ උතුමන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් අපමණ කැප කිරීම් කරමින් විවිධ ක්‍රමෝපායන් තුළින් අරපරෙස්සමට විනය රැකගෙන මඟ ඵල නිවනින් සැනසෙමින් ශාසනය බැබළවූහ.

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]