UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රයිගම්පුර ලෙනවර රජමහ වෙහෙර


දහ අටරියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගල් ලෙන තුළ නිමවා ඇති විහාර මන්දිරය

කඳු මුදුනේ පිහිටි
චෛත්‍ය රාජයාණන් වහන්සේ

ඓතිහාසික රයිගම්කෝරළයේ පිහිටි ඉපැරැණි විහාරස්ථානයක් ලෙස හල්තොට ලෙනවර, රජ මහා විහාරස්ථානය හඳුන්වා දිය හැකිය. “ රයිගම් කෝරළ ඉතිහාසය” නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි මහින්දාගමනයෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන විහාර තැනවීමේදී ලෙනවර විහාරයද කළ බව සඳහන් වේ. පොළොන්නරු යුගයේදීද මෙම විහාරය පැවති බවට අදහසක් පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිතු සිතුවමක් පැරණි විහාර මන්දිරය තුළ බිත්තියක සටහන් වී තිබීමෙන් ඇති කරගත හැකිය. කෝට්ටේ යුගය වන විටද මෙම විහාරස්ථානය ඉතාමත්ම දියුණුව පැවති බව කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද පැපිලියාන ශිලා ලේඛනයේ සඳහන් වේ. එහි සදහන් වන්නේ “ රයිගම් නුවර බද ලෙනවර ගල්ලෙන විහාරයට පිදූ ලබුගම හා සල්තොටින් ගෙවතු එකක් හා කුඹුරු බිජුවට තුන්පෑලක වප” යනුවෙනි.

බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාශයේ මිල්ලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම විහාරස්ථානය මහා ගල් ශිඛරයක් පසු බිම් කොටගෙන ඉදිකර ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 600 ක් පමණ උස මෙම ගල් පර්වතය කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි උසම ස්ථානයයි. මෙම ගල් පර්වතයෙහි පිහිටි විශාල ගල්ලෙන තුළ විහාර මන්දිරය නිර්මාණය කර ඇත. ඊට මදක් ඉහළින් පැරණි විෂ්ණු දේවාලය පිහිටා ඇති අතර විහාර මන්දිරය ඉදිරිපිට ඉපැරණි බෝධීන් වහන්සේ රෝපණය කොට ඇත. මෙම බෝධීන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වන අතර, වසර 250 ක් තරම් පැරණිය.

පැරණි විහාර මන්දිරය පසු කාලයේදී ප්‍රතිසංස්කරණයට ලක් ව ඇති අතර, දේවාල මන්දිරය පැරණි ස්වරූපයෙන්ම පවතී. එහි විෂ්ණු, කතරගම , සමන්, ගම්භාර, ආදී දේව රූප දකින්නට ලැබෙන අතර, දේවාල මන්දිරය ඇතුළත අලංකාර චිත්‍ර දියවැල් මල්, ආදියෙන් වර්ණවත්ව ඇත. ගල්ලෙනේ වහලෙහි නාරි ලතා චිත්‍ර ඇඳ ඇත. ගල මුදුනට නැගුණ විට චෛත්‍ය රාජයාණන් වහන්සේ හමුවෙයි.

විහාර මන්දිරයෙහි තැන් තැන්වල පොකුණ හා නටබුන් දකින්න ලැබෙන අතර, අක්කර 10 ක පමණ ප්‍රමාණයක ගල්තලාව පැතිරී ඇත. මෙම කඳු මුදුනට නැගුණ විට නැගෙනහිරෙන් ශ්‍රී පාදය හා කළුතර චෛත්‍යරාජයා දකුණින් දිස්වේ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ පහතරට ප්‍රධාන සඟපරපුරක් වන වීදියගොඩ සඟ පරපුරින් මෙම විහාරස්ථානයේ සඝ පරපුර අඛණ්ඩව අද දක්වාම පැවත එති. වීදියගොඩ සඝපරපුර ඉතිහාසය මහනුවර රාජධානි සමය දක්වා දිවයයි. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ මෙහි නිර්මාතෘ ලෙස සැලකේ. උන් වහන්සේට ශිෂ්‍යයන් වහන්සේ පස්නමක් වූහ. එයින් තෙවනියා ගිණිගත්පිටියේ සංඝරක්ඛිත තෙරුන්වහන්සේය. උන්වහන්සේගේ ශිෂ්‍යයාවූයේ කුඩා ගිණිගත්පිටියේ දීපංකර තෙරුන්ය. උන්වහන්සේට වැළදී තිබූ රෝගයක් සුව කරදීම සඳහා ප්‍රතිකාර කිරීමට බෙන්තර ප්‍රදේශයට වැඩම කළ අවස්ථාවේ ගිමන් නිවා ගැනීම සඳහා නවාතැන් පලක් ලෙස වීදියගොඩ මහා විහාර භූමිය ගොඩනගා ඇති ස්ථානය තෝරාගෙන තිබේ. අනතුරුව බෙන්තර ප්‍රදේශයේ දෝපෙන් රැගෙන ආ ළමයකු මුන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස දෝපේ ගුනරතන නමින් පැවදිකරවා ගත්හ. මෙම හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයාවූයේ බෙන්තර සුදස්සන හිමියන්ය. වීදියගොඩ විහාරය ගොඩනගන ලද්දේ උන්වහන්සේ විසිනි. අනතුරුව වීදාගම භෝභිත හිමි, වීදාගම විහාරස්ථානයේ ආධිපත්‍ය ලබා තම ශිෂ්‍යයන් 6න් තෙවැනියා වූ පුංචි මාහේනේ හිමියන් ලෙනවර රජමහ විහාරයේ අධිපත්‍යයට පත්කර ඇත. මාදම්පේ සීලවංශ සහ කිරිඇල්ලේ සද්ධාතිස්ස හිමිවරුන්ගේ ආධිපත්‍යයෙන් පසුව වර්තමානයේ ගෝවින්නේ සෝමරතන හිමියෝ අධිපතිත්වයේ පසුවෙති. අතීතයේ සිටම වෙදකම වෙනුවෙන් ප්‍රසිද්ධව පැවති මෙම විහාරස්ථානය වෙද පන්සල යනුවෙන්ද අනුවර්තන නාමයකින්ද හදුන්වනු ලබන අතර අදත් විහාරාධිපතීන් වහන්සේ විසින් පවත්වාගෙන යනු ලබන ලෙනවර පීනස් වෙදකම මහත් ප්‍රසිද්ධියක් උසුලයි.

අභිනව තෙමහල් සංඝාවාසය

මෙම විහාරස්ථානය අනුබද්ධිතව ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල නමින් අංග සම්පූර්ණ පුස්තකාල සේවාවක් ද සහිත දහම් පාසලක් පවත්වාගෙන යයි. එහි වත්මන් සිසුන් සංඛ්‍යාව 300 ට අධිකවේ. ප්‍රධානාචාර්ය තනතුර වත්මන් විහාරාධිකාරි හොරණ ශ්‍රී පාලි මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හිදුරන්ගල සෝරත හිමියන් හොබවන අතර සහතික ලත් 17 කගෙන් යුක්ත වූ ගුරුමඩුල්ලක් වේ. මෙය මිල්ලණිය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර, වාර්ෂිකව උසස්තම විභාග ප්‍රතිඵල ගෙන දෙන දහම් පාසලකි.

මෙම විහාරස්ථානය අද දක්වාම මෙහි වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසින් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළද අංග සම්පූර්ණ සංඝාවාසයක අඩුව සම්පූර්ණ කිරීම, මෙම 04 වැනිදා සිදුකෙරේ විහාරාධිපති හිමියන් ගේ අනුශාසනා පරිදි වර්තමාන විහාරාධිකාරි හිදුරන්ගල සෝරත හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද ලබා ගනිමින් 04 වන දින ප.ව. 3.00 ට කැලණි විශ්ව විද්‍යාලයෙහි කුලපති පෑලියගොඩ ශ්‍රී විද්‍යාලංකාර පරිවෙනාධිපති පූජ්‍ය පාද වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයෝ ද හල්තොට නිජ භූමිය වූ හා මෙම විහාරස්ථානයේ දහම් දැනුම ලබා, විහාරස්ථානයේ දහම් සිසිල විදූ වත්මන් පොලිස්පති වයි. වික්ටර් පෙරේරා, මහතා ප්‍රමුඛ ගිහි ප්‍රභූ වරුන් රාශියකගේ ද සහභාගිත්වයෙන් සංඝාවාසය විවෘත කෙරේ.

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]