UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අපවත් වී වදාළ

මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නා හිමියෝ‍

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කළ ශ්‍යමෝපාලි වංශික අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ මහා ලේඛකාධිකාරී ඓතිහාසික මහනුවර ශ්‍රී නාථ දේවාල රාජමහා විහාරාධිපති අති පූජ්‍ය මහාචාර්ය වරකාවේ ධම්මාලෝක මාහිමියෝ පසුගිය 22 වනදා අපවත් වූහ.

ග්‍රාමීය සංස්කෘතික ලක්‍ෂණයන්ගෙන් සැදුම් ලත් ඓතිහාසික කන්ද උඩරට බල ප්‍රදේශය නියෝජනය කරන නාවලපිටිය වරකාව නමැති ග්‍රාමයේ අලහකෝන් සෙනවිරත්න මුදියන්සේලාගේ සෙනවිරත්න සහ එල්. ආර්. රම්මැණිකේ දම්පතීන්ට දාව 1934 නොවැම්බර් මස 18 වැනිදා මෙලොව එළිය දුටු ටිකිරිබණ්ඩා සෙනවිරත්න කුමරුවා නාවලපිටිය පන්දෙනුපිටිය මහා විද්‍යාලයෙන් 6 වැනි ශ්‍රේණිය දක්වා සිප් සතර හැදෑරීමෙන් අනතුරුව එකළොස් හැවිරිදි වියට එළඹීමත් සමඟ ඓතිහාසික මහනුවර ශ්‍රීනාථ දේවාල රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ දොඩම්වලපිටියේ ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් වරකාවේ ධම්මාලෝක නමින් සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය අපේක්‍ෂාවෙන් උතුම් ප්‍රවෘජ්ජත්වයට පත්වූහ.

ස්වකීය ගුරුදේව හිමිපාණන්ගේ පා සෙවණේ දිගු කාලයක් වැඩ සිට සාමනේර භික්‍ෂුවකට මූලික වශයෙන් අවශ්‍ය බණ දහම් මැනවින් හැදෑරූ වරකාවේ ධම්මාලෝක කුඩා සාමනේරයෝ මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වස් වත්තේගම ශ්‍රී විද්‍ය දර්ශන පිරිවෙණට ඇතුළත් වූහ. ඉන් අනතුරුව කුරුණෑගල මලියදේව විද්‍යා දර්ශන පිරිවෙණෙන් ද්විතීක අධ්‍යයන කටයුතු නිමකැර උසස් අධ්‍යාපනයේ සාර්ථක පල නෙලා ගැනීමේ අදිටනින් කැලණිය විද්‍යාලංකාර පිරිවෙණාස්ථානයට ඇතුළත් වූහ. එවකට එහි වැඩ සිට අපවත් වී වදාළ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර යක්කඩුවේ පඤ්ඤාරාම කොටහේනේ පඤ්ඤාකිත්ති, බඹරැන්දේ, සිරි සීවලී යන විනය ධර ධර්ම ධර බහුශ්‍රැත සංඝ පීතෘවරුන්ගේ මාර්ගෝපදේශකත්වයන් ලැබීමට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වූහ.

උසස් අධ්‍යාපන කටයුතු සිදුවන සමයේ එනම් 1954 වර්ෂයේ ශ්‍යාමෝපාලී වංගික අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක ධූරයෙන්ද පිදුම් ලත් අපවත් වී වදාළ අතිපූජ්‍ය යටවත්තේ ශ්‍රී ධම්මරතන නා හිමියන්ගේ උපාධ්‍යත්වයෙන් මහනුවර භයගිරි අස්ගිරි විජය සුන්දරා රාමස්ථ සීමා මාලකයේ දී අධි ශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට ප්‍රවිශ්ට වූහ.

එකල කැලණිය විද්‍යාලංකාර පිරිවෙනස්ථානය කේන්ද්‍රිය කැරගෙන 1956 වර්ෂයේ පැවැති පිරිවෙණේ අවසාන පරීක්‍ෂණයෙන් විශිෂ්ට ලෙස සමත් වීමෙන් පසුව දිවංගත සර් ඩී.බී.ජයතිලක ත්‍යගයද දිනා ගත් ඒ හිමියෝ 1958 වර්ෂයේ දී රාජකීය පණ්ඩිත විභාගයද ඉතා ඉහළින් සමත් වූහ.

එම වර්ෂයන්හි පේරාදෙනිය සාරනන්ද පරිවේණස්ථානයේ පරිවේණාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදීම හරංකාව මොලගොඩ ශ්‍රී පියදස්සි, හල්ඔය, මහනුවර, අම්පිටියේ, බෙරටන්ඩ් විද්‍යාලයන්හි උප ගුරුවරයෙකු ලෙස සේවය කළහ.

1961 වර්ෂයේ දී පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට තේරීපත් වූ ධම්මාලෝක හිමියෝ 1965 වර්ෂයේ ගෞරව ශාස්ත්‍රවේදී විශේෂවේදී උපාධියත් විශිෂ්ට ලෙස සමත් වූහ. එවකට පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සේවය නියුතු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ මහාචාර්ය පීටර් සිල්වා, මහාචාර්ය ඩී.ජේ. විජේරත්න විද්වත්හු සහ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, ධම්මාලෝක හිමියන්ගේ ගුරුවරුන් වූ බවද කිව යුතු ය.

උන්වහන්සේගේ සුවිශේෂ කුසලතාවයන් හඳුනාගත් පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් 1967 වර්ෂයේ දී සිංහල අධ්‍යන අංශයේ සහකාර කථිකාචාර්ය ධූරයක් ලැබිණ. එම තනතුරෙන් ඉහළට ගමන් කළ ඒ හිමියෝ 1975 වර්ෂයේ දී ප්‍රකෘති සිංහලයේ ක්‍රියා යෝජනා විධි නමැති ශාස්ත්‍රී නිබන්ධනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශාස්ත්‍රපති උපාධිය සමඟ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයට තේරී පත් වූහ.

සිය විහාර පාර්ශ්වයේ උන්නතිය උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන අතර ආචාර්ය උපාධිය සඳහා මහනුවර අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි ශ්‍රී දළදා මාලිගාවේ හා නාථ විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලයන්හි ඉතිහාස හා පුරාවිද්‍යාත්මක තොරතුරු මෙන්ම ඓතිහාසික සංස්කෘතික සම්බන්ධතා ඇතුළත් ශාස්ත්‍රීය පර්යේෂණ නිම කිරීමෙන් අනතුරුව පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවියෙන් ඒ හිමියෝ පිදුම් ලැබූහ.

ආගමික සාමාජික දේශපාලනික විෂයන් ඔස්සේ ශාස්ත්‍රී ලිපි ලේඛන පුවත් පත්වලට සම්පාදනය කිරීමටද උන්වහන්සේ අමතක නොකළසේක.

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා දිනපතා සිදු කරන තේවා කටයුතු පිළිබඳ මනා දැනුමක් උන්වහන්සේ සතුව තිබිණ.අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි තේවා මුර වසරින් වසර වෙනස් වේ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සඟරුවන තේවාමුරය බාරගත් බොහෝ අවස්ථාවන්හි වරකාවේ ධම්මාලෝක හිමියෝ එහි නායකත්ව ගෙන කටයුතු කළහ. ඇතැම් රාජකාරී කටයුතු වලදී දියවඩන නිලමේ ඇතුලු සෙසු නිල දරුවන් දළදා මාලිගාවේ පැවැරී ඇති රාජකාරී කටයුතු සම්බන්ධව උන්වහන්සේගෙන් ලබාගත් අනුශාසනා අපමණය.විශේෂයෙන්ම දළදා මාලිගාවේ වාර්ෂිකව සිදු කැරෙන ඇසළ පෙරහර මංගල්‍යයට අමතර කාර්තී මංගල්‍ය හා නානුමුර මංගල්‍ය යන සුවිශේෂ අවස්ථාවන්හි ඉටු කළ යුතු පෞරාණික සිරිත් විරිත් මෙන්ම ඓතිහාසික තොරතුරු ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට බොහෝ විට දායාද කළේ උන්වහන්සේ ය.

තෛ‍්‍ර නිකායික මහානායක මාහිමිවරු ප්‍රමුඛ රාජ්‍ය නායකයන්ගේ ගෞරවයට නිරන්තරයෙන්ම පාත්‍ර වූ දුර්ලභ ගණයේ සංඝ පීතෘවරයකු ලෙස නමක් දිනා සිටි මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමියන්ගේ අපවත්වීම පිරිමසාලීමට නොහැකි පාඩුවකි. ඓතිහාසික මහනුවර ශ්‍රී නාථ දේවාල රාජමහා විහාරය පේරාදෙණිය ගැටඹේ සුධර්මාරාමය හීරිටිය පුරාණ බෝධි මළු විහාරය යන විහාරස්ථානයන්හි දායක කාරකාදීන්ගේ ආගමික කටයුතු මෙන්ම එම විහාරස්ථාන කේන්ද්‍රිය කැර ගෙන ආරම්භ කැර ඇති ධර්ම පාඨ ශාලාවන් දියුණු තියුණු කිරීම සියලු විහාරංගයන්ගෙන් පරිපූර්ණ දැකුම්කළු විහාරස්ථාන බවට පත් කිරීමේ සුවිශේෂ මෙහෙවරක් උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සිදුවිය.

දෙස් විදෙස් ඉමහත් කීර්තියක් ලත් ගිහි පැවිදි විද්වත්හු රැසක් දායාද කළ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අමිල සේවාවක් සිදු කළ අපවත් වී වදාළ මහාචාර්ය වරකාවේ ධම්මාලෝක හිමියනට අමා මහ නිවන් සුව අත්වේවා!

වප් අව අටවක

 

වප් අව අටවක පෝය නොවැම්බර් මස 01
වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]