UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ මඟුල්

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත‍්‍ර ධර්ම අතර, බෞද්ධ ජනතාව අතර අතිශය ජනප‍්‍රියත්වයට පත් වී ඇති සූත‍්‍රයකි, මංගල සූත‍්‍රය. එසේම ඉතා ප‍්‍රකට තුන් සූත‍්‍රයෙන් එකකි, මංගල සූත‍්‍රය. එදා සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දී බුදුරදුන්ගෙන් දෙවියන් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ බව එහි නිදාන කතාවෙන් පැහැදිලි වෙයි. බොහෝ දෙව් මිනිස්සු මඟුල් කරුණු මොනවාදැයි සිතූහ. විමසූහ. මේ අතර සමහර මිනිස්සු සුබ දසුන් දැකීම මංගල කරුණක් ලෙස සැලැකූහ. ඒ අය දිට්ඨ මංගලිකයන් ලෙස හඳුන්වන ලදී. තවත් පිරිසක් කණට ප‍්‍රිය ආශිර්වාදාත්මක ශබ්ද මංගල කරුණු ලෙස සැලැකූහ. එම අය සුත මංගලිකයන් ලෙස නම් කරන ලදී. එසේම තවත් පිරිසක් යහපත් ස්පර්ශ මංගල ලෙස සැලැකූහ. මේ අය මුත මංගලිකයන් ලෙස නම් කරන ලදී.

මෙසේ දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල වශයෙන් ‘මංගල’ යන්නට නිර්වචන දී ඇත. මේ පැවැති මතවාද පිළිබඳ එකල මිනිසුන් පමණක් නොව දෙවියන් අතර ද මත ගැටුම් ඇති විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මංගල සූත‍්‍රය දේශනා කරන ලදී.

මංගල යනු සියලු සත්වයන්ගේ සැපයට, දියුණුවට, ප‍්‍රගතියට හේතු වන කරුණු ය. මෙලොව ජීවිතයේ දියුණුව සහ පරලොව දියුණුවට හේතුවන ඉවහල් වන කරුණු මංගල ලෙස හැඳින්විය හැකිය. එසේ නම් මංගල සූත‍්‍රය හඳුන්වා දී ඇත්තේ පිරිතක් ලෙස කීමට නොව, එහි අන්තර්ගත මංගල කරුණු ප‍්‍රායෝගික ජීවිතයට එක්කර ගැනීමටයි. අද බෞද්ධයා හුරු වී ඇත්තේ බුදුරදුන් දෙසූ ධර්මය මන්ත‍්‍ර ලෙස ජප කිරීමට මිස එහි අන්තර්ගත දහම් කරුණු ජීවිතයට එක්කර ගැනීමට නොවෙයි. එසේම බොහෝ සූත‍්‍ර ධර්මවල බාහිර තේරුම පමණක් ග‍්‍රහණය කර ගන්නා සමහර බෞද්ධයෝ එහි ගැඹුරු අර්ථය ගැන අවධානය යොමු නොකරයි.

අද ඔබේ අවධානය යොමුකරලීමට මම අදහස් කරන්නේ මෙම මාහැඟි මංගල සූත‍්‍රාගත ගැඹුරු අර්ථකථනයක් සඳහාය. “බහූ දේවා මනුස්සා ච මංගලානි අචිත්තයුං” යනාදී ගාථාවෙන් ඉහත සඳහන් කළ මෙම සූත‍්‍රය දෙසීමට හේතු වූ පසුබිම කියා පායි.ඉන් පසුව ඇති ගාථා වලින් මංගල කාරණා තිස් අටක් පෙන්වා දෙයි. එයිනුත් ප‍්‍රථම ගාථාවට අයත් මංගල කාරණා තුන පිළිබඳ අද ඔබේ අවධානය යොමු කරලීමටයි, අපේ උත්සාහය.

“අසෙවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජා ච පූජනීයා නං
එතං මංගල මුත්තමං”

මේ ගාථාව මංගල සූත‍්‍රාගත ඉතා ප‍්‍රකට පළමු ගාථාවය. මෙහි ඇතුළත් මංගල කරුණු තුනකි. ඒවා නම් බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම මංගල කාරණා ලෙස නම් කළ හැකිය.

මෙහි බාලයන් ඇසුරු කිරීම පුද්ගලයාගේ දෙලොවම ජීවිත අවාසනාවන්ත වෙයි. එම නිසා මංගල කරුණක් ලෙස බාලයන් ඇසුරු නො කළ යුතුයි. බාල යනු වයසින් බාල නොවෙයි. බාල, පහත් ගති ගුණ වලින් හෙබි අයයි. අංගුත්තර නිකායේ තික නිපාතයේ දී බාල ලක්ෂණ මෙසේ හඳුන්වා ඇත.”නිතිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි, කතමානි නීති, බාලො දුච්චින්තීත චින්තී හොති, දුබ්භාසිත භාසී, දුක්කනකම්මකාරී” යන නිර්වචනයට අනුව නපුරු සිතිවිලි සිතන, නපුරු නරක වචන කතා කරන, සමාජයට අහිතකර කි‍්‍රයා කරන පුද්ගලයා බාලයායි. ඒ අනුව තිදොරින්ම සමාජ අහිතකර කි‍්‍රයා ඇති අය විසමාචාර වලින් යුක්ත බාලයා ඇසුරු නොකළ යුතුයි. එය පුද්ගලයාට සැප ලැබීමේ මංගල කරුණකි.

මේ එම ගාථාවේ මතුපිට අපි දකින අදහසයි. එහෙත් මෙය තව දුරටත් විග‍්‍රහ කළහොත් පුද්ගලයා බාල පහත් තත්ත්වයට පත්වන බාල ධර්ම කරුණු තම ජීවිතයට සම්බන්ධ නොකර ගැනීම මින් ගම්‍ය වෙයි. අප ජීවිත පහත් හීන දීන තත්ත්වයට පත් කරවන කායික සහ මානසික කරුණු රාශියක් ඇත. ලෝකය දැඩිව අල්වා ගැනීමේ ආශාව, ද්වේශය තම අප‍්‍රිය දෑ හා ගැටීම (තරහව) මෝහය, දෙයක් නිවැරැදි ලෙස තේරුම් ගැනීමට නොහැකිකම (මෝඩකම) යනාදී

ලාමක ධර්ම බාල ධර්ම ලෙස නම් කළ හැකිය. මේ අකුසල් මුල් තුන පදනම් කර ගෙන ඊර්ෂ්‍යාව, තරහව, මද මාන්න ආදී බාල ධර්ම රැසක් පුද්ගල සන්තානයෙහි ගොඩ නැගෙයි. මෙම බාල ධර්ම වලින් පෝෂිත පුද්ගලයා සිය වචන වලින් සිය කි‍්‍රයාවෙන් සිදු කරනු ලබන්නේ ද නපුරක්මය. අයහපතක්මය. එම නිසා මේ බාල ධර්ම වලින් වැළකී සිටීම “අසේවනාච බාලානං” නම් වෙයි.

මේ බාල ධර්ම හා බාල පුද්ගල ඇසුර නිසා ඇතිවන හානිය කෙතරම්දැයි නූතන සමාජය තුළින් මනාව පැහැදිලි වෙයි. අද පවතින කළ කෝලාහල රණ්ඩු දබර සොරමැරකම් සියල්ලෙහිම මූල බීජය බාල ඇසුරයි. මෙහි අවසාන ප‍්‍රතිඵලය වශයෙන් මිනිසා තම වටිනා ජීවිතය පවා විනාශ කර ගනියි. එවැනි අයගේ පරලොව දිවිය ද අවාසනාවන්ත වෙයි.

මෙම ගාථාවේ දෙවන මංගල කාරණය “පණ්ඩිතානංච සේවනා” යනුයි. පඬිවරු, සත්පුරුෂයින් ඇසුරු කිරීම මින් අදහස් කැරෙයි. පණ්ඩිතයා යනු යහපත් දේ සිතන, යහපත් වචන කියන, යහපත් වැඩ කරන පුද්ගලයායි. ඉහත සඳහන් බාල ලක්ෂණවලින් මිදී යහපතෙහි පිහිටා තමාටත් සමාජයටත් හිතැතිව ජීවත් වන පුද්ගලයා පණ්ඩිතයෙකි, සත් පුරුෂයෙකි.

මේ සඳහා පුද්ගල අධ්‍යාත්මික ජීවිතයට නැඹුරුව ද අර්ථ කථනයක් ගෙන හැර දැක්විය හැකිය. පඬිධර්ම ලෙස යහපත් කුසල ධර්ම පෙන්වා දිය හැකිය. අලෝභය, ඇලීම් වලින් තොර බව, අදෝස, ගැටීම් වලින් තොර බව, අමෝහ, මුලාවෙන් අවිශ්වාසයෙන් තොර බව පණ්ඩිතයාගේ ලක්ෂණය. මේ හැරුණු විට කරුණාව, මෛති‍්‍රය, පරිත්‍යාගී බව වැනි ගුණ ධර්ම වලින් පිරි ජීවිතය පණ්ඩිත ජීවිතයකි. යහපත් පුද්ගල ඇසුර මෙන්ම යහපත් ගුණ දහමින් පෝෂිතවීම , “පණ්ඩිතානංච සේවනා” යන්නට දිය හැකි තේරුමය. මෙවැනි යහපත් ආදර්ශවත් අවංක පුද්ගලයන් අද සමාජයේ සොයා ගැනීමට අසීරුය. එම නිසා අප අපම යහගුණ වලින් ජීවිත පෝෂණය කර ගත යුතුයි.එය පණ්ඩිත ඇසුරකි. මින් උදාවන සෙත පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටම බලපායි. එය මංගල කාරණයකි.

මෙම ගාථාවේ අන්තර්ගත තුන්වන මංගල කාරණය “පුජාච පූජනීයානං” යන්නෙන් පැහැදිලි කැරෙයි. පිදිය යුතු පුද්ගලයන් පිදීම මංගල කාරණයකි. මෙහි දී පිදිය යුතු පුද්ගලයන් ලෙස බුදු, පසේබුදු, මහරහත් උතුමන් නම් කැරෙන අතර, අද ති‍්‍රවිධ රත්නය ම වැඳුම් පිදුම් කැරෙන බෞද්ධ සංකේත ද පූජනීය වෙයි. මේ හැරුණු විට අද ශීලයකින් උසස් තත්ත්වයට පත් මවුපිය ගුරුවර වැඩිහිටියෝ ද පූජනීය උසස් අය වෙති. මේ අයට පිදීම, ගරු කිරීම ද මංගල කරුණකි. මේ මතුපිට ඇති අදහසට වඩා තවත් වැදගත් අර්ථ කථනයක් මේ තුළින් ගෙන හැර දැක්විය හැකිය.

මෙහි පූජා යනු පිදීමේ ස්වභාවයයි. දානය, පරිත්‍යාගය පූජාවේ ස්වරූපයයි. යමෙක් තව කෙනකුට යමක් දෙයි නම් එය තමා සතු දේ අන් සතු කිරීමකි. තම අයිතිය අත්හැර දැමීමකි. මේ හැඟීම හිතට ඇතිවීම “පූජා” නම් වෙයි. තමාගෙන් අන් අයට කළ යුතු යුතුකම් ආදිය ඉටුකරලීමත්, පූජා ගණයට ඇතුළත් වෙයි. යම් දෙයකට සිත බැඳී ඇත්නම් එය සිත් රිදීමට ද හේතු වෙයි. ඇලීම නැති කිරීම, සිඳ බිඳ දැමීම පූජාවෙන් සිදු වෙයි. මෙකී ඇලීම් ස්වභාවයෙන් තොරව අතහැර දැමිය හැකි තත්ත්වයට යම් පුද්ගලයකුගේ සිත පත් වෙයි නම්, එම පුද්ගලයා පූජනීය වෙයි. ඔහු අනුන් විසින් පුදනු ලැබීමට සුදුසු වෙයි.

එසේම පීඩාකාරී ස්වභාව ගෙන දෙන ඇලීම්-බැඳීම් නැති, පූජනීය පුද්ගලයා පිළිබඳ සැකයක්, බියක්, කිසිවකු තුළ ඇති නොවෙයි. මේ නිසාම එම පුද්ගලයා පාරිශුද්ධ පුද්ගලයකු වෙයි. මෙය පූජනීය තත්ත්වයකි. මේ තත්ත්වයට පත්වීම, මංගල කාරණයකි. උසස් සම්පත් ලැබීමට හේතුවන මංගල කාරණයකි.

මෙසේ සලකා බලන විට මෙ ගාථා ධර්මය තුළ ඇති මංගල කාරණා තුන පිළිබඳ ඔබ සැමගේ දැඩි අවධානය යොමු කොට තම ජීවිතයට එම මංගල කරුණු එක් කර ගන්නා ලෙස මතක් කරමි.

දෙලොව සැනසෙන මංගල කරුණු කි‍්‍රයාවට නංවා, ඔබත් වාසනාවන්ත බෞද්ධයකු වන්නට උත්සාහ ගන්න. ඒ සඳහා ඔබට තෙරුවන් සරණ පතමි.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]