කුපිත නො වනු මැන
තමන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ ගේ පුත‍්‍රයා යැයි ජේසුස් වහන්සේ ප‍්‍රකාශ කළ හ. නබීනායකතුමන් පෙනී සිටියේ දෙවියන් වහන්සේ ගේ සුවිශේෂ දූතයා ලෙස ය. තමන් වහන්සේ මිනිසකු මිස දෙවියකු නො වන බව යළි යළිත් අවධාරණය කළ සාස්තෘවරයා වන්නේ බුදු රදුන් පමණි. එ සේ වුව ද බුදු රදුන් ගේ අසමසම මනුෂ්‍යත්වය නිසා උන්වහන්සේ මැවුම්කාර දෙවියකු ගේ තත්ත්වයට පත් කළ අවස්ථා ද නැත්තේ නො වේ. එම දේවවාදී ලක්ෂණවලට ඇලුම් කැරෙන බෞද්ධයෝ සිටිති.
මෙ වර බුදුසරණ කියවන එ බඳු දේවවාදී බෞද්ධයන් කුපිත වී අපට දෝෂාරෝපණය කැරීමට ඉඩ ඇත. බුදු රදුන් ගේ ප‍්‍රතිරූපය හා කේශ ධාතු සංකල්පය යන ලිපියත්, පින කුසල පැනය අභිධර්මයෙන් විසැඳිය නො හැකිය යන ලිපියත් භක්තිවාදය අභියෝගයට ලක් කැරෙන ඒවා වීම ඊට හේතුවයි.
එහෙත්, සැකය වූ කලි සත්‍යාවබෝධයට ද, අධ්‍යාත්මික දියුණුවට ද බාධා කැරෙන පංචනීවරණයන්ගෙන් එකක් යැයි අපි දනිමු. බුදු දහමට අනුව පාපයක් නො වන සැකය පිළිබඳ ව බුදු රදුන් මෙ සේ වදාළ සේක.
“කාලාමයෙනි, ඔබ සැක කැරීමත් විමතියට පැමිණිමත් සුදුසු ම ය. ඔබ ගේ සැකය ඇති වූයේ සැක සහිත තැනක ම ය. කාලාමයෙනි, ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ ‘මෙහෙම ලු’ යන කටලු කථා නිසා හෝ ‘මේ අපගේ පිටක සම්ප‍්‍රදාය’ යි සිතීමෙන් හෝ තර්ක හේතුවෙන් හෝ නය හේතුවෙන් හෝ ‘මේ කාරණය යහපත් වගේ පෙනේ’ යැයි කල්පනා කැරීමෙන් හෝ ‘මෙය අප සිතා බලා සතුටින් ගත් දෘෂ්ටියට ගැළැපේ’ යැයි සිතීමෙන් හෝ ‘මොහු සුදුස්සෙකැ’යි සැලැකීමෙන් හෝ ‘මොහු අපගේ ගුරු ය’ යන හැඟීමෙන් හෝ නො පිළිගනු.
යම් විටෙක මේ දේ අයහපත්ය, අකුසලය, වරද යැයි ඔබට ම වැටහෙන්නේ ද එවිට ඒ අත්හැර දමනු. එ සේ ම යම් විටෙක මේ දේ යහපත්ය, කුසලය, නිවරද යැයි ඔබට ම වැටහෙන්නේ ද එවිට ඒ පිළිගෙන පිළිපදිනු.”
අප කලින් සඳහන් කළ ආකාරයේ විවාදාත්මක ලිපි බුදුසරණෙහි පළ කැරෙනුයේ කුමන අරමුණකින් දැයි පාඨකයාට පැවැසීම ද අප ගේ යුතුකමකි. මෙය බෞද්ධ ඥාන සම්ප‍්‍රදායට පටහැනි නොවීම එක් හේතුවක් යැයි කිව හැකි ය.
එහෙත්, වඩාත් වැදගත් හේතුව නම්, බුදු දහමේ හරය විනාශ කැරෙන මිථ්‍යාවන් හඳුනා ගැනීමට අප පාඨකයන්ට මඟ පෙන්වීම ය.
අප ගේ උත්සාහය කෙ බඳු දැයි අවබෝධ කැර ගනු පිණිස මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචනා කළ බුදුන් වදාළ ධර්මය නමැති කෘතියෙහි සුළු කොටසක් උපුටා දැක්වීමට කැමැත්තෙමු.
‘සැක නො කළ යුතු යැයි හෝ විශ්වාස කළ යුතු ම යැයි කීමේ තේරුමක් නැත.මම විශ්වාස කැරෙමියි කී පමණින් දැකගත් බවක් හෝ තේරුම් ගත් බවක් හෙළි නො වේ.
ගණිත ප‍්‍රශ්නයක් විසැඳමින් සිටින ශිෂ්‍යයෙක්, මීළඟට කළ යුත්තේ කුමක්දැයි තේරුම්ගත නො හැකි අවස්ථාවකට පැමිණෙයි. මෙහි දී සැකයක්, විමතියක් ඔහු සිත් හි පහළ වෙයි. මේ සැකය පවත්නාතුරු ඉදිරියට යන්නට ඔහුට බැරි ය.
ඉදිරියට යන්නට නම් ඔහු ඒ සැකය විසඳා ගත යුතු ය. මෙහි දී මම විශ්වාස කැරෙමි’ යි හෝ මම සැක නො කැරෙමි, යි හෝ කී පමණින් සැකය විසැඳෙන්නේ නැත. තේරුම් නො ගෙන යමක් ඇදහීමට හෝ පිළිගැනීමට බල කැරීම වූ කලි අධ්‍යාත්මික හෝ බුද්ධිමය, කි‍්‍රයාවක් නො ව දේශපාලනාත්මක කි‍්‍රයාවකි’
‘සැක නැති කැරීම පිළිබඳ ව බුදුන් වහන්සේ හැමවිට ම දැක් වූයේ ලොකු සැලකිල්ලකි.
තමන් දෙසූ ධර්මය ගැන යම් කිසි සැකයක් ශ‍්‍රාවකයන් ගේ සිත් හි ඇතහොත් තමන්ගෙන් ප‍්‍රශ්න කළ යුතු බව ද, සැක දුරු කැර ගැනීමට ඉඩක් නො ලැබිණැයි පසු ව විපිළිසර නො විය යුතු බව ද පිරිනිවන් පෑමට ස්වල්ප වේලාවකට පෙර පවා උන්වහන්සේ තම ශ‍්‍රාවක පිරිසට දක්වා වදාළ හ.’
මේ සියලු කරුණු ඉදිරිපත් කැරෙනුයේ අප සර්ව සම්පූර්ණ යැයි කීමට නො ව අප ගේ අරමුණ අවංක බව පෙන්වා දීමට ය. පුවත්පත් ආචාරධර්මයන්ට එකඟ ව දක්වන ඕනෑ ම ප‍්‍රතිචාරයක් අපි සතුටින් බාර ගන්නෙමු.
|