UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මළ ගෙදරක දී අපේ පැවැත්ම කෙසේ විය යුතු ද?

ජීවිතයක නිමාව මරණයයි. මව්පියන්ගේ අභාවය පිළිබඳ බලවත් දුකට පත්වන දරුවන් එය සිදු වූ අවස්ථාවෙහිත් ආගමික කටයුතු නිමාකොට සුසාන භූමියට හෝ ආදාහනාගාරයට ගෙනයන අවස්ථාවෙහිත් බලවත් ශෝකයට දුකට පත් වී හඬන්නේත් වැලපෙන්නේත් සිත් තැවුලට පත් වන්නේත් වාවගත නොහැකි දුක් වේදනාවෙන් පසුවන්නේත් එබැවිනි. එය තමන්ගේකම මමත්වය හෙවත් පෘථග්ජන ස්වභාවය නිසා ඇතිවන්නකි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන දිනයේ දී කුසිනාරා නුවර විහාරගෙයි දොර අගුල් කණුවක එල්ලී මාගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන්, පාන්නේ යැයි ආනන්ද තෙරුන් බලවත් දුකට පත්වෙමින් හඬමින් පසුවූහ. ඒ බව දත් බුදුහු ආනන්ද ශෝක නොවන්න! නොවැලපෙන්න! සියලු ප‍්‍රියමනාප දෙයින් වෙන්වීමට සිදුවන බව මා විසින් කියන ලද්දේ නොවේද? ආනන්ද, ඔබ පින්කළ ඇත්තෙකි. වීර්ය වඩන්න. රහත් බවට පැමිණෙන්නේ ය. අලං ආනන්ද මා සෝචි මා පරිදේවි යනුවෙන් ඒ බව මහා පරිනිබ්බාණ සූත‍්‍රයෙහි සඳහන් වේ.

බුද්ධ කාලයේ රූප සුන්දරියක්ව සිටි සිරිමා ගණිකාව ධනවත් කාන්තාවක් වශයෙන් වැජඹුණා ය. ඇයගේ අභාවය පිළිබඳව එක් හිමි නමක් නොවැලඳූ දාන පාත‍්‍රය අතැතිව සිටියේ ය. බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඇයගේ දේහය පිළිබඳ අවසාන කටයුතු පමාකළ අතර බුදුහිමිගේ දැන්වීම් පරිදි දෙව්රම් වෙහෙර භික්‍ෂූන් වහන්සේ ද කොසොල් රජුගේ නියමයෙන් කෝසල ජනපද වාසීන් ද නියමිත වේලාවට රැස්වූහ.

රජතුමා ගණිකාවගේ මෘත දේහය රන් කහවණු දහසකට මිල නියම කළ අතර අනතුරුව රන් කහවනු පන්සියයට අර්ධයෙන් අර්ධය අඩු කරමින් වෙන්දේසි කෙළේ ය. කිසිවෙක් මුදලට ගැනීමට නොවූ බැවින් කැමැති කෙනෙක් නොමිලයේ ලබා ගන්නා ලෙස දැන්වීය. අවසානයේ අභිරූපිකාවගේ මෘත දේහය නොමිලයේ ගැනීමට ද කිසිවෙක් නොවූහ.

නගර ශෝභනීය ජීවත්ව සිටිය දී ඇයගේ දේහයට ඇලුම් කළ බොහෝ දෙනා ඇයගේ මෘත දේහය නොමිලයේ වත් ගැනීමට ඉදිරිපත් නොවූයේ එහි පිළිකුල හා දුගඳ නිසා බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

බිම්බිසාර රජුගේ අගමෙහෙසිය වූ රූමත් ඛේමා, බිසව බුදුන් දැකීමට නොපැමිණියේ තම රුවට බුදුන් ගර්හා කරතියි යන හැඟීමක් ඇය තුළ පැවැති නිසා ය. එහෙත් දිනයෙක වේළුවනයෙහි සිරිනරඹන්ට පැමිණි ඇයට පෙනී ගියේ විශාල පිරිසකට දහම් දෙසන බුදුරජාණණන් වහන්සේ ඉදිරියෙහි තමාටත් වඩා රුවැති තරුණියක් විජිති පතකින් බුදුන්ට පවන් සලන ආකාරයයි. මේ දර්ශනය ඛේමාවන්ට පමණක් පෙනේවායි බුදුහු අධිෂ්ඨාන කළහ. සොළොස් හැවිරිදි තරුණිය ගැබිණියක් වශයෙන් ද දරුවන් වැදූ මවක් වශයෙන් ද පවන් සලමින් සිටියි. දශකයෙන් දශකය වෙනස් වන ඇය මැහැලියක්ව වැඳිරියකගේ තත්ත්වයට පත්ව මැරී වැටුනාය. විසිරී ගිය ඇට කැබලි දුටු ඛේමා බිසව තමා තුළ මෙතෙක් පැවැති රූප මදය පිළිබඳ කලකිරී භික්‍ෂුණියක් බවට පත් වූවා ය.

මෙබඳු අවස්ථාවලින් පැහැදිලි වන්නේ ජීවිතාවසානයේ සිදුවන මරණය හා ඉන්පසු ස්වභාවය ඉතා දුකක් පිණිස පවතින බවය. දුටුගැමුණු රජතුමා සමඟ කඩු සටනක නියැලුනු එළාර රජතුමා අවසානයේ දී මරණයට පත් වූයේ ය. එළාරගේ අවසන් කටයුතු ඉතා ගෞරවයෙන් සිදු කොට එළාර සොහොනට ගරු කළ යුතු බවට සෙල්ලිපියක් ද එහි ස්මාරකය වශයෙන් තබන ලදී. මෙයින් පැහැදිලි වන්නේ මියගිය සතුරාට ද අවසන් ගෞරවය පුද කිරීම සිංහල සභ්‍යත්වයේ ලක්‍ෂණයක් වී ඇති බවය.

මහළු නිවාස හෙවත් වැඩිහිටි නිවාස බටහිර සංස්කෘතියෙන් සිංහලයන්ට ආවේණික වූවකි. බටහිර රටවල බොහෝ දෙමාපියන් රජයේ සේවයෙන් විශ‍්‍රාම යාමත් සමඟම එම නිවාසවල විවේක ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කොට නතර වී සිටින්නේ, එසේ ජීවත්වීම ඔවුන් පි‍්‍රය කරන නිසා විය හැකි ය. නමුත් ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක ලක්‍ෂණය වී ඇත්තේ විශ‍්‍රාමික දෙමාපියන් දූදරුවන් ගේ ඇප උපස්ථාන ලබමින් දූ දරුවන් සමීපයෙහිම ජීවත් වීමය. “මාතා පිතා දිසා පුබ්බා” යනුවෙන් මව්පියන් පූර්ව දිසාව වශයෙන් සඳහන් කරන ලදී. බුද්ධ දේශනයේ වැදගත්කම බෞද්ධ සමාජයේ රැඳී පැවැතීම මේ සඳහා මුල් වූවක් බව පැහැදිලි ය.

මවුපියන් වැඩිහිටියන් මිය යාමෙන් පසු ඔවුන් විසූ නිවසේ දීම මතක වස්ත‍්‍ර පූජාව සිදුකොට මතක ධර්ම දේශනය, තෙමස් හා වාර්ෂික සංඝගත දක්‍ෂිණාව ඉතා ඉහළින්ම සිදු කොට පින් පමුණුවනු ලැබේ.

එහෙත් සමහර විටෙක රෝහලේ දී මිය යන වැඩිහිටියන් වෙනුවෙන් දේහය පිළිබඳ අවසාන කටයුතු මල්සාප්පුවට හෙවත් මෘත ශරීරාගාරයට පවරා ඒ ස්ථාන වලදීම ආගමික කටයුතු සිදු කරනු ලැබේ. පසුගිය දිනෙක මල් සාප්පුවකදී සිදු කළ එම අවසාන කටයුතු වලින් දූදරුවන් බලාපොරොත්තු වූයේ බොහෝ දෙනකුට පැමිණීමට ඇති පහසුකම සඳහා එසේ සිදු කළ බවය. මංගල සාදයකදී මෙන් වරුවක් පමණ වේලා පැමිණෙන්නවුන් රැඳී නොසිටින නිසා තම නිවසේදීම මවුපියන්ගේ අවසාන කටයුතු සිදුකිරීම එය ඔවුන්ට කරන ගෞරවයක් බව සඳහන් කළ යුතු ය.

මළ ගෙදරට ඔබ ගියේදැයි එසේ ගිය කෙනකුගෙන් විමසුවොත් ඔවුන් කියන්නේ තමා එහි ගිය අතර මෘත දේහය ඉතා ගරු සරු අන්දමින් අලංකාර ;ලස තිබූ බව ය.

මළ ගෙදරකට පිවිසෙනවාත් සමඟම නෙතට දර්ශනය වන්නේ විවිධ සමිති සමාගම් හා ආයතන මඟින් ශෝක ප‍්‍රකාශය සිදු කරන ලද නාම පුවරු එල්ලා තිබෙන ආකාරයයි. නිවස ඉදිරිපිට ඇතැමෙක් දාම් කී‍්‍රඩාව සිදු කරන ආකාරයත් තවත් තැනෙක කාඩ් සෙල්ලමෙහි නිරතව සිටින ආකාරයත් දැකිය හැකි ය.

මෘත දේහය තැන්පත් කර ඇති ස්ථානයට ගොස් ගෞරවාචාර දැක්වීම, වන්දනා කිරීම දක්නට ඇතත් වසර හතළිහකට පණහකට පෙර ගම්බද අවමඟුල් නිවසක තිබූ තත්ත්වය අද මුළුමනින්ම වෙනස් වී ඇත. ඊට හේතුව වන්නේ වාණිජ පදනමකින් කි‍්‍රයා කරන සමාජයකට මිනිසා ප‍්‍රවේශ වීම ය.

ඒ නිසා වසර පණහකට පමණ පෙර ගම්බද අවමඟුල් නිවසක දේහය තැන්පත් කර තිබෙන ස්ථානය ඉදිරිපිට බිම වාඩි වී සති පට්ඨානය සජ්ඣායනා කිරීම පැවතිණි.අද එය ඇතැම් මළ ගෙදරක ටේප් පටියෙන් සිදු කරන බවක් පෙනේ. එහෙත් ඇතැම් තැනෙක එය කෙසේවත් දක්නට නැත.

මළ ගෙදරක දේහය ඉදිරිපිට සිට ගෞරවාචාර පැවැත්වීමේ දී හෝ එයට නමස්කාර කිරීමේ දී “අනිච්චං” යන වචනය සිහි කිරීම පෙරදී පැවතිණි. “ජීවිතං අනියතං මරණං නියතං” (ජීවිතය අනිත්‍යය මරණය නිතය) යන හැඟීමෙන් භාවනා සංකල්පයක් ඇති වේ. මෙබඳු හැඟීමකින් මෘත දේහය ඉදිරිපිට කි‍්‍රයා කරන විට තමාද කිසියම් අවස්ථාවකදී මරණයට පත් වන්නේ ය යන හැඟීම ඇති වේ.

කැරම් ගැසීම, කාඩ්පත් කී‍්‍රඩාව යන මේවායෙහි දක්නට ඇත්තේ තරගකාරී බවක් මෙන්ම ජය පරාජයක් ලැබීම ය. පරාජයෙන් ඇතිවන්නේ ද්වේෂයකි. දාම් කී‍්‍රඩාවේ යෙදී සිටියදී එයින් නැඟෙන ශබ්දය හා කාඩ් කී‍්‍රඩාවේ දී ඇතිවන ඝෝෂාව මළගෙදරක පැවැතිය යුතු නිහඬතාවය බිඳී යාමට හේතු වනු ඇත.

මළ ගෙදරක පාලුව නැතිවීම පිණිස බොහෝ දෙනකුගේ පැමිණීම අවශ්‍ය ය. ශෝකය වේදනාව දුරු කර ගැන්මට ඇතැමෙක් සිතන්නේ මත්පැන් අත්‍යවශ්‍ය බව ය. එබැවින් නිදි මරන්නන්ද ඒවා බලාපොරොත්තුවෙන් පැමිණේ. මෙය එක්තරා සංකල්පයක් මිය අවශ්‍යම ද්‍රව්‍යයක් නොවේ.

මළ ගෙදරක නිදිවරණ විට දුම් වැටියද අවශ්‍ය බවට ඇතැමෙකුගේ අදහස ය. මෙය දුම් වැටියට හා මත් පැනට ඇබ්බැහිවූවන්ගේ සංකල්ප වන අතර ශරීර සෞඛ්‍යයට අහිතකර මෙම අවස්ථා නිසා ජීවිත විනාශය ද ඉක්මනින්ම සිදුවන්නක් බව කාගේත් විශේෂ අවධානයට යොමු විය යුත්තකි.

පසුගිය සුනාමි ඛේදවාචකයෙන් මිය ගිය පිරිස් හඳුනා ගැනීමට නොහැකි වූ අතර හත් අට දෙනකුගේ මෘත ශරීර එක් වළක තැන්පත් කරන්ට සිදු විය. විකෘති වී තිබූ මෙම මළ සිරුරු පෙට්ටියක් හෝ ඇඳුමක් නැතිව ඉටි කොළ වල ඔතා තිබූ අතර ඉටි කොළ වලින්ම වසා තිබුණි. සංවේගදායී මෙම අවස්ථාවේ බොහෝ මළ සිරුරු වල වස්ත‍්‍රයක් වත් නොවී ය.

මෙබඳු අවස්ථාවක හිමිවරු දෙනමක් පැමිණ මතක වස්ත‍්‍ර පූජාව සියලුම මෘත දේහ වෙනුවෙන් සිදු කරද්දී තරුණ පිරිසක් මළ සිරුරු වලින් වහනය වූ දුර්ගන්ධය නිසා ඒවා ඉදිරිපිට ඉඳගෙන දුම් වැටි ඉරීම සිදු කරන ලදී. මෘත දේහ වලට අගෞරව නොකොට එතැනින් ඉවත් වන ලෙස දුම් වැටි උරන පරිසට කියා සිටීමට සිදුවිය. මෙයින් පැහැදිලි වන්නේ මතට හා දුම්වැටියට පුරුදු වූවත් මළ සිරුරකට දැක්විය යුතු ගෞරවය වෙනුවට ඉතා අසංවරව කි‍්‍රයා කරන බව ය. මළ ගෙදරකදී අපේ පැවැත්ම කෙසේ විය යුතු ද? යන්න පිළිබඳ කෙනකුට අවබෝධයක් නැත. එසේ සිතන්නේ නම් දුම් වැටිය හා මත් පැන් මළගෙදරින් බැහැර වනු ඇත. මළගෙදරක ඇතිවිය යුතු නිහඬතාවය පිළිබඳ මෙනෙහි කරන්නේ නම් දුම් කී‍්‍රඩාව හා කාඩ් කී‍්‍රඩාව ද බැහැර වනු ඇත.

එසේනම් සතිපට්ඨානය කීමෙන් ද නිහඬතාව මඟ හැරී යන බවට චෝදනා කළ හැකි ය. එය ආගමානුකූල කි‍්‍රයාවකි. ශෝකයෙන් හඬන වැලපෙන පිරිසකගේ වේදනා මඟ හැරීයාමට සතිපට්ඨානය කීම හේතු වන්නක් බව පැහැදිලි ය. මේ අනුව නිහඬ ශාන්ත දාන්ත පරිසරයක් ඇති කරගැනීම මළ ගෙදරක සිටින්නන්ගේ මූලික සංකල්පනාවක් විය යුතු ය. එය මළගිය තැනැත්තාට සිදු කරන උත්තම ගෞරව නමස්කාරයක් වනු ඇත.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]