UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් දළදා හාමුදුරුවෝ

ඇසළ සමය ආගමික, සහ ශාසනික වශයෙන් වැදගත් වන්නා සේම සිරිලක කලා රසඥතාවය ඔප් නැංවීම පිණිස පරිසරය නිර්මාණය වන අපූරු කාලවකවානුවක්ද වේ. බුදු සමයේ ආමිස ප‍්‍රතිපත්ති පූජා සහ හින්දු දර්ශනයේ ආගමික සන්දර්භයේ පැතිකඩක් නිරූපණ කරන අතර, අපේකම ලොවට කියාපාන්නා වූ කාල වකවානුවක් බවට ද පත්ව තිබේ. මහනුවර දළදා පෙරහර එයට කදිම නිදසුනයි. සර්වඥ ධාතුන් වහන්සේ අතර විශිෂ්ටතම ධාතුන් වහන්සේ ලෙස සැලකෙන වාම දළදා වහන්සේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ පාලන සමයේදී දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් අනුරපුර මේඝගිරි වෙහෙරට ගෙන එන ලද බව ශාසන ඉතිහාස පුවත් හා වංශ කතා තොරතුරු අනුව සනාථ වේ. මෙම මහාර්ඝතම ධාතුන් වහන්සේ දඹදිව විවිධ රජ දරුවන්ගේ පූජෝපහාර වලට පාත‍්‍රවිය. ඔවුන්ගෙන් සේම රට වැසියාගෙන්ද ජීවමාන බුදුරජාණන් වහන්සේට හිමිවන්නාවූ ගෞරවය හා සමාන ගෞරවයක් සිරිලකට වැඩම කරවීමෙන් පසු හිමි වූහ.

බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පසු ආදාහනය කිරීමේදී අල්පායුෂ්ක සම්බුදුවරුන් ගේ ආවේණික ධර්මතා වශයෙන් ශාරීරික ධාතු විසිරී ගියද ලළාඨ ධාතුව, අකු ධාතු දෙනම , සතර දළදාව, යන සප්ත ධාතුන් වහන්සේ නොවිසිරුණහ.

උණහීසං අක්ඛකාද්වේච
චතස්සෝ දන්තධාතු යෝ
ඉච්ෙච්තා ධාතුයෝ සත්තං
විප්පකිණ්ණේන සත්ථුනෝ ( දාඨා වංශය )

“ මහා පරිනිර්වාණ සූත‍්‍රයේ සඳහන් වන පරිදි බුදුරජාණන් වහන්සේගේ පූර්ව අධිෂ්ඨාන බලයෙන් සතර දළදා වහන්සේ ඇතුළු සප්තධාතු නොවිසිරි නොදැවී ඉතිරි වූහ. සතර දළදා වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමි පිළිබඳව මහාවග්ග පාලියේ මෙලෙස තොරතුරක් සඳහන් වේ.

ඒකා දාඨ තිදසෙහි පූජිතා
ඒකා පන ගන්ධාර පුරේ
කාලිංග රෙඤඤී විජිතේ පුනේතා
ඒතං පුන නාග රාජා මහෙන්තී

එම මූලාශ‍්‍රය අනුව එක් දළදා වහන්සේ නමක් තාවතිංස දෙව් ලොවේද, තවත් දළදාවහන්සේ නමක් ගන්ධාර පුරයේද, අනෙක් දළදා වහන්සේලා දෙනම කාලිංග දේශයේ හා නාග ලෝකයේ ද වැඩ වසන බව ප‍්‍රකාශිතය.

ඒකා දාඨා තිදසපුරෙ
ඒකා නාග පුරේ අහු
ඒකා ගන්ධාර විසයේ
ඒකා පුන සීහලේ

මෙම ගාථා අන්තර්ගතය අනුව සතර දළදා වහන්සේ තව්තිසාවේද, නාග ලෝකයේද, ගන්ධාර දේශයේද, සීහළ දේශය හෙවත් සිරිලක පුණ්‍ය භූමියේ ද වැඩ වසන බව ප‍්‍රකාශිතය. එය ගිරි අබා රජු සේරුනුවර සෝමාවතී දාගැබේ තැන්පත් කර ඇත.

සම්බුදු පරිනිර්වාණයෙන් වර්ෂ අටසිය පනස් හතරකට පසුව සිරිලක් දනන් හට ලැබුණු උත්තම තිළිණය රාජ්‍ය සංකේතය බවට පත්විය. රාජ්‍ය වර්ෂ 310 - 328 කාලය කිත්සිරිමෙවන් රජුගේ පාලන සමයයි. රජුගේ නවවන රාජ්‍ය වර්ෂයේදී සිරිලක යලිත් පින්බිමක් බවට සනාථ කරමින් වම් දළදා හාමුදුරුවෝ මෙරටට හිමිවූහ.

මඩුකන්ද විහාර බිමෙන් දළදා හාමුදුරුවෝ අනුරපුරයට හා පොළොන්නරුවටද වැඩම කරවූහ. දඹදෙණිය , යාපහුව, කුරුණෑගල, කෝට්ටේ රාජධානිවල රජදරුවන්ගෙන් මෙන්ම රටවැසියාගෙන් අප‍්‍රමාණ ගෞරව පූජෝපහාර ලදහ. කන්ද උඩරට දළදා සිරිය අසිරිමත්ය. ගම්පොළ කොත්මලේ, නිල්ලඹ, හඟුරන්කෙත , මැදමහනුවර, කිතුල්පේ, හිඳගල , බඹරගම, ආදි ප‍්‍රදේශ දළදා වහන්සේට ආරක්ෂාව ලබාදුන් පින් බිම්ය.

ඉන් පසු කොත්මලේ නව දඹදෙණි පුරයද
බෙලිගල හා කුරුණෑගල දෙල්ගමු වෙහෙරද
වැඩ සිටි මේ දන්ත ධාතු සමිඳු මන නද
සෙංකඩගල පුරයට ගෙනා විමල දහම් රද

දළදා වහන්සේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අති පූජනීය වස්තුවක්සේම තම ජීවිතයේ විවිධ දුක්ඛ දෝමනස්සයන් සඳහා සහනය ලබාදෙන හා ජීවිතයට රැකවරණය ලබා දෙන්නා වූ ජීවමාන වස්තුවක් බවට පත් වූහ.

වට්ටාරම බෙලිගල වැඳපන් අම්මා
කිරිවෙහෙරේ රන්කොත වැඳපන් අම්මා
අලුත් නුවර දළදා වැඳපන් අම්මා
බීපු කිරේ පව් ඇරවාපන් අම්මා

දළදා හාමුදුරුවෝ අපරට රාජ්‍ය පාලකයන් නිවැරැදි මඟට යොමු කළහ. සිරිත් විරිත් හා සම්ප‍්‍රදායන් මහ ජනතාව ධර්මානුකූලත්වයට පත්කරන ලද අතර සංස්කෘතියේ ප‍්‍රබෝධයක්ද ඇති කළහ.

ගද්‍ය පද්‍ය කලාව තුළ දළදා සාහිත්‍යයත් බිහිවිය. පාලි දාඨාවංශය, දළදා සිරිත, දළදා පූජාවලිය , දළදා කාව්‍යය, දළදා සතකය, දළදා චතුර, ඒ සඳහා නිදසුන් කීපයකි. කවියන් හා උගතුන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ වස්තුවක් වූවාසේම නූතන ගීතයට ද වස්තු බීජයක් බවට පත්ව තිබේ.

ඉරගල නුවර ඉරගල පවතිනා තුරු
සඳගල නුවර සඳගල පවතිනා තුරු
මැද මහනුවර රන්කොත පවතිනා තුරු
දින ලා යන්ට නොදෙනෙමි දිවි තිබෙන තුරු

දළදා සංස්කෘතිය තුළ ගෘහ නිර්මාණ කලාවක්ද ව්‍යාප්ත විය. දළදා හාමුදුරුවෝ රාජ මාළිගා පරිශ‍්‍රය තුළම වඩා හිඳුවන්නට රජදරුවෝ දැඩි කැමැත්තක් දැක් වූහ. මේ නිසා දළදා මාළිගා බිහිවිය.

ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරි සඟමොක් සැප නිසැදී
ලද මුනිඳා දම් කඳ පහස මන බැඳී
වදු දළදා හිමි තෙමහල් පහය රැදී

පරසමය ම ගෙන පැලඹුණු සීතාපුරෙ රජසිහ රද
තිරසර ඔහු හා යුද වැද උඩරට මහරද ජය ලද
හර ගිරි සිව භක්තිය සිද බිද අරිමැයි අදා පැහැද
සිය මුදුනෙන් දළදා මිණ තම නුවරට වැඩ වු සඳ

එලෙස සෙංකඩගල වැඩි දළදා හාමුදුරුවෝ අදත් නවලෝකෝත්තර බුදු බලය දසත විහිදුවමින් සෙංකඩගලනුවර වැඩ වෙසෙති. ලෝකවාසී සියලු සිරිලක දනන් හට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.

ඉර බාරයි ඉර වට යන ගිරවුන්ට
සඳ බාරයි සඳ වට යන සාවුන්ට
මල බාරයි මල වට යන බඹරුන්ට
අපි බාරයි සිරි දළදා සමිඳුන්ට

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]