UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පෝය

ශාසනික වැදගත්කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුන් පොහොය දිනය හැඳින්විය හැකි ය. භික්ෂුන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටු කරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පෝය දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂා වීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේත්, ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය. ගිහි පැවිදි දෙපක්ෂය තුළින් ඉටු විය යුතු යුතුකම් නියම අවස්ථාවල දී නිසි ලෙස ඉටු විය යුතු ය. නිකිණි පුන් පොහෝ දිනය භික්ෂූන් වහන්සේ හා ගිහියා අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවක් ඇතිව, ගිහි පැවිදි දෙපක්ෂය තුළින් යුතුකම් ඉටු වන දිනයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

වස් විසීමේ ආරම්භය

ප‍්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට වස් විසීමේ ප‍්‍රඥප්තියක් නො පනවන ලදී. දම්සක් පැවැතුම් සූත‍්‍ර දේශනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සමග මිගදායෙහි ඉසිපතනාරාමයෙහි ප‍්‍රථම වස් කාලය ගත කළහ. ඒ වැසි කාලය එසේ එක් තැනක ගත කිරීම, දඹදිව ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ සිරිතක් වශයෙන් - ආවේණික ධර්මයක් වශයෙන් සිදු වූවා මිස බුද්ධ ප‍්‍රඥප්තියක් වශයෙන් නොවී ය. සිදු වූවක් ක‍්‍රමයෙන් භික්ෂු සමාජය ව්‍යාප්ත වන විට භික්ෂූහු වස්සාන ඍතුවේත් චාරිකාවරණයෙහි යෙදෙමින් දඹදිව පැවැති පෞරාණික ධර්ම උල්ලංඝනය කරන්නට වූහ. මෙය සිදු වූයේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ විසූ සමයෙහි ය. භික්ෂූන් වහන්සේගේ මේ, චාරිත‍්‍ර ධර්ම උල්ලංඝනය කරමින් කරනු ලබන චාරිකා චරණය දුටු මහ ජනයා උද්ඝෝෂණය කරන්නට වූහ. “තීර්ථකයන් පවා වස් එළඹී ඇතිමේ කාලයෙහි ද ශ‍්‍රමණ ශාක්‍යයෝ හේමන්තයෙහි ද, ගිම්හානයෙහි ද, වස්සානයෙහි ද නිල් තණ මඩිමින් පා ගමනින් ඒකීන්ද්‍රිය ජීවිත පෙළවමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාවෙහි හැසිරෙති. අන්‍ය තීර්ථක පරිබ‍්‍රාජකාදීහු එක්තැන් ව වස් විසීමෙහි ඇලී වෙසෙති. කුරුල්ලෝ ද ගස් මුදුන් හි කූඩු සාදා ගෙන වැසි කාලයෙහි ඒ කූඩුවල ඇලී වෙසෙති. ගොදුරු සෙවීමෙහි උත්සාහ නැතිව නිතර එක්තැන් ව වසති. එහෙත් මේ ශ‍්‍රමණ ශාක්‍ය මුනි පුත‍්‍රයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින්, ඒකීන්ද්‍රීය ජීවියන් පෙළමින්, බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කවර කරුණක් නිසා චාරිකාවෙහි හැසිරෙන්නාහුදැ”යි අවමන් කැරෙති. නින්දා කැරෙති. දොස් කියති. අවමන් කරන නින්දා කරන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූ භික්ෂූහු ඒ කාරණය බුදුරදුන්ට දැන්වූහ.

මේ නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට, “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තං” යනුවෙන්, “මහණෙනි, මම වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්ෂූන් ඇමතූ සේක. එකල් හි භික්ෂූන් වහන්සේට වස් එළඹීම් කෙතෙක්දැයි විමතියක් ඇති විය. එය භාග්‍යවතුන් හට දන්වා සිටියහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “දෙව මා භික්ඛවෙ වස්සූපනායිකා පුරිමිකා පච්ඡිමිකා ච අපරප්ජුගතාය අසාළ්හියා පුරිමිකා උපගන්තබ්බා මාසගතාය අසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා ඉමාඛො භික්ඛවෙ. දෙව වස්සූපනායිකා” යනුවෙන්, “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැයි මේ වස් එළඹිම් දෙකකි. ඇසළ පුනු පොහොයට පසු දින, එනම් අව පෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. ඇසළ පුනු පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අව පෑලවිය දිනයෙහි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක යැයි වදාළ හ. මෙතැන් සිට දඹදිව තීර්ථක පරිබ‍්‍රාජකාදීන් තුළ පැවැති එනම් ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට දඹදිව පැවැති ආවේණික චාරිත‍්‍ර ධර්මයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේද ප‍්‍රධාන ප‍්‍රඥප්තියක් බවට පත් විය. මේ අනුව සලකන විට බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ වස් විසීමේ ශාසනික චාරිත‍්‍ර ධර්මයේ ආරම්භය, මහජන උද්ඝෝෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය යුතුය.

ව්‍යාප්තිය

ආරම්භයේ දී ඇසළ පුන් පෝයට පසු අව පෑළවිය දිනයෙහි පෙරවස් එළඹීම පැවැතිණි. එහෙත් එය වැඩි කලක් නො පැවැත්තේ ය. ඇසළ පුන් පොහෝ දිනයෙහි භික්ෂූන් වස් එළඹෙනු දකිනු කැමැති වූ බිම්බිසාර රජතුමා ඒ බව දූතයකු මාර්ගයෙන් භික්ෂූන්ට දැන්විය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැල කළහ. එය ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා, “අනුජානාමි භික්ඛවෙ රාජුනං අනුවන්තිතුං” යනුවෙන්, “මහණෙනි, රජුන්ට එකඟව පවතින්නට අනුදනිමි”යි වදාළ සේක. එතැන් සිට ඇසළ පුනු පොහෝදා වස් එළඹිය හ. බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ප‍්‍රඥප්ති බොහොමයක් ඒ ඒ රටවල දේශගුණය හා පරිසරය අනුව සකස් වූ ඒවා ය. එබැවින් මධ්‍ය මණ්ඩලයට පනවන ලද ප‍්‍රඥප්ති ප‍්‍රත්‍යන්ත දේශවල වෙනස් වෙයි. වස්සික සාටිකය හෙවත් වැසිසළුව, වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයෙහි ම අධිෂ්ඨාන කොට, වස් සාර මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් වශයෙන් නියම කොට ඇත. නානකඩය යන නමින් හඳුන්වන මේ චීවරය භික්ෂුන්ට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලා ගෙන පරිහරණය කළ හැකි වස්ත‍්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට පහසුව ප‍්‍රථමයෙන් ම ඇති කරන ලද්දේ විසාඛා උපාසිකාව ගේ ඉල්ලීමක් අනුව ය. වස් විසූ භික්ෂූන් චාරිකා වරණයෙහි නො යෙදුනත්, පිණ්ඩපාත සෙවීම් ආදී කටයුතුවල දී වැස්සෙන් තෙමෙමින් පීඩා විඳින්නට සිදු විය. මෙය දුටු විසාඛා උපාසිකාව “ඉච්ඡා මහං භන්තෙ සංඝස්ස යාවජීවං වස්සික සාටික දාතුං” යනුවෙන් “ස්වාමීනි! මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමි” යි ප‍්‍රකාශ කළාය. ඇය ගේ බසට කන් දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ වස්සිකසාටිකං වස්සානං චාතු මාසං අධිට්ඨාතුං තතොපරං

විකප්පෙතුං යනුවෙන් මහණෙනි, වස් සාරමාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප‍්‍රයෝජනයට ගන්නටත්, එයින් පසු විකප්පනය කරන්නටත් අනුදැන වදාරමි යි වදාළහ. මේ වැසි සළු සැදැහැති දායකයන් විසින් භික්‍ෂූන් වහන්සේට පූජා කරනවාත් සමඟ ම උතුම් ශාසනික චාරිත‍්‍ර ධර්මයක් ද ඉටු වන්නේ ය. ස්වාමීනි, මේ වස් සාර මාසය තුළ අපි නුඹ වහන්සේට සිවු පසයෙන් ශක්ති ප‍්‍රමාණයෙන් උපස්ථාන කරන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් එළඹීම සිදු කරනු මැනැවැයි සැදැහැවත් දායක කාරකාදීහු වැසි සළු හා දැහැත් ගොටු පිරිනමමින් සංඝයා වහන්සේට ආරාධනා කරති.එයින් භික්‍ෂූන් වහන්සේගේ වස් විසීමත් දායකයන්ගේ ආරාධනයත් දෙක ම ඉටුවෙයි.

මෙබඳු නොයෙක් කරුණු වලින් ශාසනික වැදගත් කමින් යුත් වස් විසීම ලංකාවට පැමිණියේ බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රධාන ධර්මදූත පිරිසත්, අරිට්ඨ සිංහල රහතන් වහන්සේ ප‍්‍රධාන සපනසක් රහතන් වහන්සේ ද ඇතුළු දෙසැටක් රහතන් වහන්සේ දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනයෙන් එතුමා විසින් කරවා පූජා කරන ලද අට සැට ලෙන්වල වස් එළඹියහ. මෙය ලක්දිව සිදු වූ ප‍්‍රථම වස්සූප ගමනයයි. මෙතැන් පටන් මේ උතුම් ශාසනික චාරිත‍්‍ර ධර්ම අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි බෞද්ධ පින්වතුන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ පවත්වාගෙන එනු ලැබේ.

වස් කාලය එළඹෙත් ම ඒ ඒ විහාරස්ථානවලට සම්බන්ධ දායක පින්වත්හු දැහැත් ගොටු හා වැසි සළු රැගෙන ආරාම කරා ගොස් භික්‍ෂූන් වහන්සේට වස් විසීමට ආරාධනා කරති. වස් සිවු මස ගිහියෝ භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරමින් හා ප‍්‍රතිපත්ති පුරණය කරමින් කි‍්‍රයා කරති. භික්‍ෂූන් වහන්සේත් විශේෂ ගුණ දහම් රකිමින් තමන්ට සිවුපසයෙන් සංග‍්‍රහ කරන දායකයනට ධර්ම දානයෙන් පුත්‍යුපකාර කරමින් වැඩ වෙසෙති. එබැවින් වස් විසීම දෙපක්ෂයට ම වැඩ සිදු වන්නකි. භික්‍ෂූන් වහන්සේ ධර්මය ඉගෙනීමෙහිත් භාවනා කර්මයන්හිත් යෙදී වාසය කරති. උන් වහන්සේට උපස්ථාන කරන දායකයෝ ද බොහෝ පින් සිදු කර ගනිති. “යං භික්ඛවේ සීලවන්තො පබ්බජිතා, ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති තත්ථ මනුස්සා තීහි ඨානෙහි බහු පුඤ්ඤං පසවන්ති කායෙන, වාචාය මනසා” යනුවෙන් සිල්වත් පැවිදි උතුමෝ යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරගෙන වැඩ වෙසෙත් නම් එහි මිනිස්සු කයින් වචනයෙන් සිතින් යන ති‍්‍රවිධ ද්වාරයෙන් පින් රැස් කෙරෙති යි තථාගතයන් වහන්සේ වදාරා තිබේ.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]