[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්ම ප්‍රචාරයට කැප වූ වල්පොල පියනන්ද නාහිමිපාණන් වහන්සේ

ධර්ම ප්‍රචාරයට කැප වූ වල්පොල පියනන්ද නාහිමිපාණන් වහන්සේ

අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමිපාණන් වහන්සේ අමෙරිකා එක්සත් ජනපදයේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කොට පනස් වසරක් සපිරීම නිමිත්තෙනි.

පනස් වසරක් යනු ඉතා විශාල කාලයකි. ඒ සා විශාල කාලයක් මවුබිමෙන් බැහැර ව, බුදු දහම යනු කුමක්දැයි නොදන්නා, භික්ෂූන් වහන්සේ නමකගේ රූපයක් කිසිදා නොදුටු, නූතනත්වය සමඟ සංකීර්ණ හා විෂම වූ අමෙරිකා එක්සත් ජනපද වාසීන්ට බුදු දහම යනු කුමක් දැයි වටහා දෙමින් අඩ සියවසක් එරට ගත කිරීම සැබැවින් ම විස්මයජනක සිදුවීමකි. අපේ ආචාර්යපාදයන් වහන්සේ නමක් හා සමාන ව මා ඇතුළු මගේ අන්තේවාසික හා සද්ධිවිහාරික පිරිස සලකනු ලබන අපේ වල්පොල පියනන්ද නාහිමිපාණන් වහන්සේ මා ඉහත සඳහන් කළ විස්මිත ක්‍රියාව සිදු කළ මහා තෙර නමකි.

අපේ පියනන්ද නාහිමිපාණන් වහන්සේ කරුණු කාරණා රාශියක් නිසා අපට සමීප වෙති.

උන්වහන්සේ උපත ලද්දේ අපේ යටගල රජමහා විහාරයට ඉතාමත් ආසන්න වල්පොල ග්‍රාමයේ ය. වල්පොල රාහුල හාමුදුරුවන් නිසා මුළු ලෝකය ම දන්නා හඳුනන මේ ග්‍රාමය ඉන් පසු කාලයේ ජනප්‍රියත්වයට පත් වූයේ අපේ පියනන්ද හාමුදුරුවන් නිසා ය.

පියනන්ද නායක හාමුදුරුවන් අප ආචාර්යෝත්තම, අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේගේ ප්‍රාණ සම මිත්‍රයකු වීම නාහිමියන් අපට සමීප වීමට තවත් හේතුවකි. දෙදෙනා වහන්සේ එක ම පන්තියේ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලයේ ඇති වූ මිත්‍රත්වය අප නාහිමිපාණන් වහන්සේ අපවත් වන තුරු ම පැවතුණි. ඉන්පසු මා වෙත මෙම විහාර ගණයේ ආධිපත්‍යය හිමි වූ පසු මා වෙත ආශිර්වාදය පළ කරන ලද්දේ මතු නොව මා කෙරෙහි විශ්වාසය පළ කරමින් මෙම භාරධුර වගකීම් පැවරීම පිළිබඳ මල්වතු මහා විහාරයට කෘතඥතාව පළ කළ සේක. සිතුල්පව්වේ පොසොන් පොහෝ දා ධර්ම දේශනාව සඳහා අමෙරිකාවේ සිට වැඩම කිරීම අපට ශක්තියක් විය. ලංකාවේ වැඩ සිටින කෙටි කාලවල තවත් බොහෝ කටයුතු අතර යටගල හා දෙහිවල අපේ විහාරස්ථානවල පින්කම් සඳහා වැඩම කළහ.

මා විසින් රචනා කළ දහම් පොත් පත් කියවූ පියනන්ද නායක හාමුදුරුවන් ඒවා ඉතා ඉහළින් අගය කළ බවත්, ඒ ඇගයුම් මට මහත් ධෛර්යයක් ගෙන දුන් බවත් නිහතමානී ව සිහිපත් කොට සිටිමි. එසේම භද්‍ර යෞවන වියේ දී මා ගාල්ලේ සිට පැමිණ දෙහිවල සුදර්ශන ධර්ම නිකේතනය අරඹද්දී මට සවිය සැපයූවන් අතර පියනන්ද නාහිමියන්ගේ ගුරුදෙවි හව්පේ සෝමානන්ද නාහිමියන් ඉදිරියෙන් ම සිටි බව මෙහිදී කෘතවේදී ව සිහිපත් කරමි. මා කොළඹ නාලන්දා විද්‍යාලයට ධර්මාචාර්ය හිමිනමක වශයෙන් බඳවා ගැනීමට මුල් වූයේත්, ඉතාම සුහදශීලී ව අගනුවර ශාසනික කටයුතු සඳහා මා සහභාගි කරවා ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නේ පියනන්ද නාහිමියන්ගේ කනිටු පැවිදි සහෝදර හිමිනමක වන, නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය වතවන සිරිසුමන නාහිමිපාණන් වහන්සේ බවත් සිහිපත් කළ යුතු ම ය.

පියනන්ද නායක හාමුදුරුවන් අමෙරිකාවේ ඈත කෙළවරක කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරට වැඩම කිරීමේ ගමන්මග සුවපහසු එකක් වූයේ නැත. නාහිමියන්ගේ කල්‍යාණ මිත්‍ර හිමිනමක වූ අග්ගමහා පණ්ඩිත පන්නිල ආනන්ද නාහිමියන් සමඟ ආරම්භ කළ සේවාව අද වන විට වඩාත් පුළුල් හා සංවිධානාත්මක ව සිදුවීම විශේෂ කරුණකි. විද්‍යාලංකාර පිරිවෙන කීර්තිමත් ව බැබළුණු අවධියේ එහි වැඩසිටි යුගකාරක මහා යතිවරුන් වහන්සේගේ ඇසුර ලබමින් අධ්‍යාපනය ලැබීමට භාග්‍යවන්ත වූ පියනන්ද හාමුදුරුවන් උසස් අධ්‍යාපනය නිමවා කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරමින් ලද අත්දැකීම් සමුදාය මෙවැනි දිගු ගමනක් ඒම පිණිස උපකාරී වූ බව අපට පිළිගැනීමට පුළුවන.

බද්දේගම සරණංකර මාහිමි, කෝදාගොඩ පඤ්ඤානන්ද අනුනාහිමි, කොටගම වාචිස්සර මාහිමි,

රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනාහිමි වැනි කීර්තිමත් යතිවරුන්ගෙන් පැවත එන පහතරට අති සම්භාවනීය සඟ පරපුරක් වූ පාමංකඩ ශ්‍රී මහා විහාර සඟ පරපුරට අයත් වීමේ භාග්‍යය පියනන්ද නාහිමියන්ගේ යුග මෙහෙවරට මහත් සවියක් සපයන්නට ඇත.

පියනන්ද නායක හාමුදුරුවන් නමේ කියවෙන පරිදි ම හැම අතින් ම ප්‍රියජනක හිමි නමකි. දුටුවන් පැහැදෙන ප්‍රසාදාවහ පෙනුමකින් යුක්ත වෙති. උන්වහන්සේගේ වචන කනට ප්‍රිය උපදවයි. කිසිදා

රළු වචන භාවිතයක් අප අසා නැත. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි පුබ්බහාසී, පුබ්බභාසී හා පුබ්බකාරී වෙති. එසේම නාහිමිපාණන් වහන්සේ අනතිමානී ගුණයෙන් අනූන වෙති.

නාහිමියන් කෙතරම් පිළිවෙළකට වැඩක් කරන කෙනෙක් දැයි පෙනෙන්නේ ආධිපත්‍යයේ පවතින විහාරාරාම සංවර්ධනය වී සැදැහැවතුන්ගේ බුහුමනට පත් වී ඇති අන්දම දකින විට ය. පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවල සුනන්දාරාමය, බටුවිට ජයසේකරාරාමය සිය ශිෂ්‍යපුත්‍රාදීන් යොදවා ශාසනාභිරතිය වර්ධනය වන අන්දමින් පිළිසකර කිරීම් නිමවා නවකම් කරවා ගොඩනංවා තිබේ.

විශ්‍රාමලත් පරිවේණාචාර්ය පිලානේ මහින්ද හිමි, රාජකීය පණ්ඩිත වල්පොල පියරතන හිමි ඇතුළු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ විසි තිස් ගණනක් බිහි කොට තිබීම ඉතා ප්‍රශංසාත්මක කරුණකි.

විශේෂයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ කර්ම වාගාචාර්ය, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ ආචාර්ය වල්පොල පියරතන හිමියන් අප සමඟ සමීප ව ශාසනික කටයුතුවල නිරතවන නිසා මේ ශාසනික මෙහෙවර පිළිබඳ අප තුළ ද යාවත්කාලීන දැනුමක් ඇති බව සඳහන් කරමි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානය සකලාංග පරිපූර්ණ වූ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බව කරුණු අධ්‍යයනයේ දී දැන ගතිමි. අද එලෙස වැජඹෙන මහා විහාරස්ථානයක් වශයෙන් පැවතෙන්නේ අප නාහිමිපාණන් වහන්සේ අඩ සිය වසක් පුරා හෙලූ දහඩිය කඳුළු මතින් බව නොකියා ම බැරි ය. එරට දානපතියන්ගේ සහය ලබමින් මෙරට දූ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීම ඇතුළු සේවාවන් රාශියක් සිදු කරන බව මෙහිදී සිහිපත් කොට සිටිමි.

උපතින් අසූ තුන් විය සපුරා, ඉන් දශක හතකට අධික කාලයක් සසුන් මඟ වෙනුවෙන් කැප කොට, ඒ අතරින් පනස් වසරක් අමෙරිකාවට බුදු දහම හඳුන්වා දීමට යෙදවූ අපේ වල්පොල පියනන්ද නාහිමිපාණන් වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් මෙම ශාසනික මෙහෙවර ඉදිරියට පවත්වා ගෙන යාම පිණිස ධෛර්යය, ශක්තිය හා වාසනාව ලැබේවා' යි යටගල, සිතුල්පව්ව රාජමහා විහාර ප්‍රමුඛ තදනුබද්ධ එකොළොස් මහා විහාරස්ථාන වාසී මහා සංඝ රත්නයේ ශුභාශංසනය පළ කොට සිටිමි.

 

 

අව අටවක

සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා. 02.20න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14න් ගෙවේ.
04 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]