[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

යහපත් චර්යාව

සතුන් මැරීම, සොරකම, කාම මිථ්‍යාචාරය, බොරුව, සුරාපානය යනු පස්පව් ය. බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ ප්‍රතිපදාව පංචශීල ප්‍රතිපදාව ය. පංචශීලය නම් පෙර කී පස්පවින් වැළකීම ය.

මරණයට බිය වන්නේ මිනිසා පමණක් නොවේ. කුරා කුහුඹුවාගේ සිට සියලු සත්වයෝ මරණයට බිය වෙති. කිසිවකුගේ ප්‍රාණයක් නිරුද්ධ කිරීමට මිනිසාට අයිතියක් නොවේ. කෙනෙක් තව චෙකනකුගේ ජීවිතයට හිංසාවක්, පීඩාවක් නොකරන්නේ නම්, තව කෙනකු එවැනි හිංසා පීඩා කිරීමකින් වළක්වා ගන්නවා නම් ඔහු අභය දානය කළ අයෙකි. එවැනි අය හමුවේ කිසිවකුට මරණ බිය නොදැනේ.

සොරකම නින්දිත ය. අනිවාර්යයෙන් ම වැළකිය යුතු පාප කර්මයකි. ලෝභය මුල් වී ඇතිවන සිතිවිලි පාලනය කර ගන්නට නොහැකි පුද්ගලයා සොරකමින් හෝ තමන් බලාපොරොත්තු වන දෙය අත්පත් කර ගන්නට පෙළඹේ. එය මෙලොව ජීවිතය ද, මරණින් මතු ජීවිතය ද අඳුරු කරන අයහපත් චර්යාවකි.

කාමය වරදවා හැසිරීම සමාජ ප්‍රශ්න බොහොමයකට මුල ය. සමාජය යනු පුද්ගල කණ්ඩායම් කිහිපයක එකතුවකි. එහි කුඩාම ඒකකය පවුල ය. පවුල ශක්තිමත් වන්නේ අඹුසැමි දෙදෙනාගේ විශ්වාසය නම් වූ පාදම සවිමත් වූ තරමට ය. විශ්වාසය නැති තැන පවුල බිඳී විසිරී යයි. දියුණුවක් නොවේ. පැවැත්මක් නොවේ. ඒ අඹු සැමියන්, මවුපියන් නම් ඔවුනොවුන් තුළ වන විශ්වාසය බිඳීයාම දරුවන්ගේ ජීවිතයට ඍජුව ම බලපායි. දරුවන්ගේ චර්යාත්මක දියුණුවට සේ ම ආධ්‍යාත්මික, අධ්‍යාපනික දියුණුවට ද අම්මගේ, තාත්තගේ ආදරය, සෙනෙහස, කරුණාව, දයාව ඇති කරන බලපෑම මේ යැයි ප්‍රමාණය කළ නොහැකි ය. මව්පියන් අතර නිති අඬදබර නම්, ඔවුනොවුන් විරසක නම්, දරුවන්ගේ ළමා කාලය දෙදරා යයි. ඒ දෙදරා ගිය අත්තිවාරම තුළ ගොඩනැඟෙන ඔවුන්ගේ අනාගතය ශක්තිමත් නැත. ඉරිතැලී ගිය ස්වභාවයක් ගනී.

කාමය වරදවා හැසිරීම එසේ පවුල්වල නිති අඬදබර ඇති කරන පාප ධර්මයකි. එහෙයින් ඒ නින්දා සහගත, ලජ්ජී හැසිරීම්වලින් මිදී ජීවිතයට අර්ථයක් හා වටිනාකමක් ලබාදීම සෑම කෙනකුගේ ම වගකීම විය යුතු ය. ඒ යහ ධර්මය ජීවිත ගණනාවක හෙට දවසේ සාර්ථකත්වය, සාමය, සතුට තීරණය කරන ප්‍රධාන සාධකයකි.

සුරාපානයෙන් වැළකීම සීලයකි. මත්ද්‍රව්‍ය නිසා ජීවිත විනාශ වී යන ආකාරය අද සමාජයේ අහන්ට දකින්නට ලැබෙන භයානක ව්‍යසනයකි. වැඩිහිටියන් පමණක් නොව ජාතියේ කොඳු නාරටිය වන තරුණ ප්‍රජාව ද, දැනුම් තේරුම් අඩු කුඩා ළමයින් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙමින් සිටී.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමට සේ ම එවැනි පාපී වෙළෙඳාම්වලින් වැළකීමට ද, එවැනි ජාවාරම්කරුවන්ට අනුබල නොදීම සේ ම එවැනි නින්දිත වෙළෙඳාම්වලින් ඔවුන් මුදා ගැනීමට ද හැකි නම් එය සමාජයක දියුණුව වෙනුවෙන් කරන මෙහෙවරකි. පුණ්‍යකර්මයකි.

ධම්මපදයේ පස්පව් ගැන මෙවැනි ගාථා රත්නයක් වේ.

යො පාණමතිපාතෙති - මුසාවාදං ච භාසති

ලොකෙ අදින්නං ආදියති - පරදාරංච ගච්ඡති

සුරාමෙරය පානංච - යො නරො අනුයුංජති

ඉධෙවමෙසො ලොකස්මිං - මූලං ඛණා ති අත්තනො

පර පණ නසන, බොරු කියන, සොරකම් කරන, කාමය වරදවා හැසිරෙන, සුරාපානයෙහි යෙදෙන අය මෙලොව දී ම පිරිහීමට පත්වේ. එය තමන් තමන්ටම වල කපා ගැනීමකි, යනු එහි අර්ථයයි. ජීවිතයට ලබා දෙන මේ සදුපදේශය මිල කළ නොහැකි ය. අප උත්සාහ කළ යුතු ඒ ධර්මය ජීවිතයට ගළපා ගන්නට ය.

 

අව අටවක

සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා. 02.20න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14න් ගෙවේ.
04 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]