[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උඩරට ගිවිසුම හා දළදා වහන්සේගේ භාරකාරත්වය

උඩරට ගිවිසුම හා දළදා වහන්සේගේ භාරකාරත්වය

මහනුවර යුගයේ දළදා ඉතිහාසය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලය (1742-1782) අතිශය වැදගත් ය. අභාවයට ගොස් තිබූ භික්‍ෂු උපසම්පදාව සියම් දේශයෙන් රැගෙනවිත් ශ්‍රී ලංකා ද්වීපය තුළ බුද්ධ ශාසනය නැවත පිහිටුවීම උදෙසා අමිල මෙහෙයක් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් ඉන් නොනැවතී වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජයන්ගේ උපදෙස් පරිදි දිවයින පුරා විසිරි පැවති පුරාණ විහාර නැවත ප්‍රතිසංසකරණය කරමින් හා නව විහාර කර්මාන්ත ආරම්භ කරමින් සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනය උදෙසා සිදු කරන්නට යෙදුණේ අතුල්‍ය සේවයකි.

දළදා පූජා අතර සුවිශේෂී පූජාවක් ලෙස සැලකෙන අද්‍යතන දළදා පෙරහරේ ආරම්භය ද කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් සිදුකළ බව සුළුපූජාවලියේ පහත සඳහනින් පැහැදිලි වේ.

“මෙසේ අවුරුදු පතා දේව පූජා පුරස්කෘත ව පවත්වන්නා වූ මේ ඇසළ පෙලහර ජිනවරචරනාරවින්ද මෞලි නිජ මස්තාලංකෘත රාජාධිරාජ වූ අප මහ රජාණෝ අග්‍ර වූ බුද්ධ පූජාව පෙරදැරි කොට පැවැත්විය යුතු යැයි සිතා සුශික්‍ෂිත මංගල හස්තියා සියලු හස්ත්‍යාලංකාරයෙන් මනා කොට සරහවා... මෙසේ බොහෝ කලක් දේව පූජාව පිණිස පැවති ඇසළ පෙලහර තමන් දවස බුද්ධ පූජාව පිණිස පවත්වා අප්‍රමාණ කුසලරාශි වර්ධනය කිරීමෙන් තමාගේ කීර්ති ශරීරය බුද්ධෝත්පාදය පවත්නා තෙක් පවත්නා සේ ස්ථාවර කළහ.”

කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස දළදා වහන්සේගේ සුරක්‍ෂාව සහතික කිරීමට කටයුතු කරනු ලැබුවත්, ඉන් අනතුරුව සිදු වූ ලන්දේසී හා ඉංග්‍රිසී ආක්‍රමණ හමුවේ දළදා වහන්සේගේ සුරක්‍ෂාව උදෙසා චිරස්ථායි ආරක්‍ෂක විධිවිධාන සම්පාදනය කිරීමට මල්වතු-අස්ගිරි උභය මහාවිහාරයීය මහ නායක මාහිමිවරුන්ට සිදු විය. විශේෂයෙන් ම අභ්‍යන්තරික, දේශපාලනික අර්බුද හමුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍යත්වයෙන් පහකර බ්‍රිතාන්‍ය සිරකරුවකු බවට පත් වීමෙන් පසු, එතෙක් පැවති සිංහල බෞද්ධ රජකු රාජ්‍ය පාලනය වෙනුවට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ ග්‍රහණයට ලක්දිව නතු විය.

එකී සංසිද්ධීන්ගේ කූට ප්‍රාප්තිය 1815 උඩරට ගිවිසුමත් සමඟ ඇති විය. එතෙක් ලක්දිව පාලනය කළ සාම්ප්‍රදායික පාලන ව්‍යුහය දෙදෙරා ගොස් අධිරාජ්‍යවාදීන්ගේ පාලන තන්ත්‍රයට ලංකාරාජ්‍ය යටත් වීමත් සමඟ ම දළදාවේ භාරකරුවා, රටේ උරුමක්කාරයා යන සාම්ප්‍රදායික ජනමතය අභියෝගයකට ලක්වන්නට විය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී දළදා වහන්සේගේ සුරක්‍ෂාව උදෙසා විචක්‍ෂණශීලි ක්‍රියාමාර්ගයක් ගැනීමට උභය-මහාවිහාරයන් දැරූ ප්‍රශස්ත උත්සාහයට මනා නිදර්ශනයක් ලෙස උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය දැක්විය හැකි ය. ගිවිසුමක් මඟින් උඩරට රාජධානියේ දේශපාලන අධිකාරියට අතපෙවීමට ඉංග්‍රීසි ආණ්ඩුව ආරම්භයේ සිට ම උත්සාහ කළ බවට සාධක ඇත. 1805 සැප්තැම්බර් මස 05 වැනි දින ජෝන් ඩොයිලි විසින් එවකට මල්වතු මහා විහාරයේ මහා නායක පදවිය උසුලන ලද මොරතොට ධම්මක්‍ඛන්‍ධ මහා නාහිමියන්ට එවන ලද ලිපිය ඒ සඳහා මනා සාධකයකි.

“මොරතොට නායක උන්නාන්සේ විසින් බලා ගන්නා පිණිස යි. මහා බ්‍රිතාන්‍යයේ පරම මහෝත්තම මහ රජතුමාණන් විසින් පොදු හා යුද්ධ කටයුතු පිළිබඳ උසස් බලතල දෙවා වදරණ ලද සේනාපති මෙඩ්ලෑන්ඩ් උතුමාණන් වහන්සේ ලංකාවට සැපත් වූහ. ගැටවර වියෙහි පටන් යුද්ධයට සුපුරුදු නමුත් තම ප්‍රබල යුද්ධ නෞකා හා සේනා බල මහිමයෙන් දසදෙස සුපුරුදු නමුත්, තම ප්‍රබල යුද්ධ නෞකා හා සේනා බල මහිමයෙන් දසදෙස ජයගෙන සකල ලෝකවාසී ජනතාවට සාමය ළඟා කිරීම තම ස්වාමී වූ මහා බ්‍රිතාන්‍යයේ පරම මහෝත්තම මහ රජතුමාණන්ගේ අභිප්‍රායයි.

එහෙයින් අවිබලය පෑමට පෙර ආණ්ඩුකාර උතුමාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. දැනට මහනුවර රාජ්‍යයේ වාසය කරන සියලු ම ඉංග්‍රීසි හේවායන් සහ නිලධාරීන් ආපසු දෙතොත් දෙරට වැසියන් අතර වෙළහෙළදාම පිණිස කඩවත් විවෘත කිරීම සඳහා ද අහස පොළොව පවත්නා තාක් චිරස්ථායි ව පවත්වා සාමදාන ගිවිසුමක් තීරණය කර ගැනීම සඳහා ද සාකච්ඡා කරනු ලැබේ...”

උඩරට රාජධානිය සමඟ සාම ගිවිසුමකට එළැඹීමට තමන් කැමැති බවත්, එහෙත් උඩරට රාජධානිය ඊට නොකැමැති වුවහොත් යුදමය ජයග්‍රහණයක් මඟින් රාජධානියේ බලය ලබා ගැනීමේ හැකියාව තමන්ට පවතින බවත් ඩොයිලි යම් කිසි තර්ජනාත්මක ස්වරූපයකින් මෙම ලිපිය මඟින් දන්වා ඇත. මෙයට විචක්‍ෂණශීලි පිළිතුරුක් සපයමින් දේශයේ ස්වෛරීත්වයත්, ස්වදේශ වාත්සල්‍යත් සිංහලයා දිවිහිමියෙන් ආරක්‍ෂා කරන බව හඟවමින් මොරතොට ධම්මක්‍ඛන්‍ධ මහ නාහිමියෝ පහත ලිපිය යවා ඇත.

“...මේ තාක් මෙවැනි සිහි නුවණ ඇති ප්‍රඥා සම්පන්න සාධාරණ ආණ්ඩුකාරතුමෙක් නොසිටි හෙයින් බොහෝ දෙනකුගේ දේපළ හා ජීවිත හානි විය. යළිත් එවැනි දේපළ හා ජීවිත හානිවීමට පෙර ආණ්ඩුකාරතුමා කරුණු විමසා බලා සාමය සඳහා කතාබහ කිරීම බුද්ධිය හා ප්‍රඥාව නිසා පහළ වු හැඟීමකැ’යි සිතමු. මිට ප්‍රතිපක්‍ෂ එදිරිවාදිකම් කළොත් අපි සුදුසු පරිදි සුදානම් වන්නෙමු.”

කෙසේ වෙතත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහකර ගිවිසුමක් මඟින් බ්‍රිතාන්‍ය පාලනය පිළිගැනීමට උඩරට රදල ප්‍රධානීන් සූදානම් වන විට එහි බරපතළ බව මනාව වටහා ගත් එවකට මල්වතු මහා විහාරයේ මහානායක පදවිය ඉසිලු කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස මහා නායක මාහිමිපාණන් වහන්සේ අස්ගිරි මහා විහාරයේත් සහයෝගය ගෙන දළදා වහන්සේ ප්‍රමඛ කොට ගත් ලංකාවේ බෞද්ධ පූජා වස්තූන්ගේ සහ සිද්ධස්ථානයන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා 5 වැනි වගන්තිය ගිවිසුමට ඇතුළත් කිරීමට කටයුතු කොට ඇත. එතෙක් රාජ්‍ය සම්ප්‍රදාය තුළින් පිළිගත් බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව සහතික කිරීමේ රාජ්‍ය වගකීම නෛතික රාමුවක් තුළට ඇතුළත් වීමේ ප්‍රාරම්භක අවස්ථාව ලෙස මෙය හැඳීන්විය හැකි ය.

බෞද්ධාගමික වත්පිළිවෙත් හෙළා දකිමින් ඒවා ගර්හාවෙන් ප්‍රතික්‍ෂේප කළ බ්‍රිතාන්‍ය පාලයකයන් මෙවැනි සම්මුතියකට එකඟ වීමට පොළඹවා ගැනීම ම ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයක් බව සිතිය හැකි ය. කෙසේ වෙතත් පස්වැනි වගන්තිය බ්‍රිතාන්‍ය පාලකයන් තුළ යම් අසතුටක් මෙන් ම මතභේදයක් ඇති කිරීමට හේතු වූ බව 1815 මාර්තු මස 15 වැනි දින හා 1816 ජූනි මස 07 වැනි දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින් පස්වැනි වගන්තිය ඇතුළත් කිරීම බෞද්ධ භික්‍ෂූන්ගේ හා ලාංකිකයන්ගේ පක්‍ෂපාතීත්ත්වය බ්‍රිතාන්‍ය කිරීටය වෙත ලබාගැනීමේ උපක්‍රමයක් බව ප්‍රකාශ කරමින් බැතර්සට් සාමිවරයා වෙත යවන ලද ලිපි තුළින් පැහැදිලි වේ. ගිවිසුම අත්සන් කර දින 13කට පසුව එනම් 1815 මාර්තු මස 15 වැනි දින ආණ්ඩුකාර තැන යටත් විජිත ලේකම්වරයා වෙත දන්වා යවනුයේ.

“පස්වැනි වගන්තිය මාගේ කැමැත්ත පැවැති ප්‍රමාණයට වඩා බුදුන්ගේ මිථ්‍යා විශ්වාසය තහවුරු කරයි. එසේ වුවත් දැනට සියලු ම පන්තිවල වැසියන් තුළ ඒ ගැන අප්‍රමාණ ගෞරවයක් පවත්නා බැවින් ද, මතු කාලයේ එහි ආරක්‍ෂාව ගැන ඔවුන් තුළ බලවත් සැකයක් හා බියක් පවත්නා බැවින් ද, ඇත්ත වශයෙන් කියතොත් රට නිරවුල් ව අපගේ අයිතිය යටතේ පැවතීම මේ කාරණය පිටම රඳා පවතින්නා වූ බැවින් ද, ඒ ගැන කිසි ම සැකයක් ඇති නොවන ලෙස ගිවිසුමෙහි වචන යෙදීමෙන් ඒ පිළිබඳ පැවැති නොසන්සුන්කම් සන්සිඳවීම අවශ්‍ය බැව් මට පෙනී ගියේ ය.”

ගිවිසුමෙහි පස්වැනි වගන්තිය බ්‍රිතාන්‍ය පාලකයන් සිතුවාට වඩා ප්‍රබල බව මේ වන විට ආණ්ඩුකාර තැනට වැටහී තිබූ බවට මෙම ලිපිය කදිම නිදසුනකි. එමෙන්ම මල්වතු - අස්ගිරි උභය මහාවිහාරයීය භික්‍ෂූන් මඟිින් දළදා වහන්සේගේ තිරසර සුරක්‍ෂාව උදෙසා ගන්නා ලද විචක්‍ෂණශීලී ම තීරණයක් ලෙස උඩරට ගිවිසුමෙහි පස්වැනි වගන්තිය හැඳීන්විය හැකි ය. එමෙන් ම මල්වතු- අස්ගිරි උභයමහා විහාරයේ ඓතිහාසික බලය අවතක්සේරු කරමින් මෙරට පාලනය කිරීම සිදු කළ නොහැකි බවට බ්‍රිතාන්‍යයන් අවබෝධ කර ගත් අවස්ථාවක් ලෙස ද පස්වැනි වගන්තිය හැඳීන්විය හැකි ය.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ප්‍රධාන අරමුණක් වූ ආගම ව්‍යාප්ත කිරීම මෙමඟින් ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා අඩාළ වූ බවත්, අකැමැත්තෙන් වුව ද ගිවිසුම් ප්‍රකාර ව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන්නට ඔවුන්ට සිදු වූ බවත්, 1816 ජූනි මස 07 වැනි දින ආණ්ඩුකාර තැන විසින් බැතර්ස්ට් සාමි වෙත යවන ලද ලිපියෙන් පැහැදිලි වේ.

“ ඔබ විසින් ගිවිසුම පිළිබඳ දන්වා එවා තිබෙන ඉතා වැදගත් කරුණු අතරෙන් ප්‍රධාන වශයෙන් ම මා සිත් යොමු වූයේ බුදුන්ගේ මිථ්‍යා විශ්වාසය සම්බන්ධයෙන් 5 වැනි වගන්තියේ යොදන ලද කඩ කළ නොහැකි යන වචනය දුටු සැටියේ පළමුවෙන් ම ඔබ තුළ පහළ වූ සැකය ගැනයි. ක්‍රිස්තියානිය මේ රටෙහි පතුරුවන්නට යැයි නැවත නැවතත් තදින් ම නියම කොට මා වෙත එවනු ලබන අණපනත් අන්තර්ගත ලියවිලි ගැන මා නොසලකනවා ය යන හැඟීම මාගේ ක්‍රියාවක් නිසා ස්වල්ප වේලාවකට නමුත් ඔබ තුළ පහළ වී නම් ඒ ගැන මම අතිශයන් ම ශෝක වෙමි.

ශුභාරංචිය මේ රටේ ව්‍යාප්ත කිරීමට මා උදාසීන නොවන බව ද, මහ රජතුමාගේ අධිරාජ්‍යයට මවිසින් එකතු කරන ලද මෙරට ක්‍රිස්තු ධර්මය ගෙන ඒමට බාධා වන පරිදි යමක් දැන දැන මා නොකරන බව ද මවිසින් මෙරට පාලනය කර තිබෙන අයුරින් වැටහෙනවා ඇතැයි බලාපොරොත්තු වෙමි.

කඩ කළ නොහැකි යන වචනයෙන් බුද්ධාගම විනාශ නොකළ යුතු ය. ඊට අවහිර නොකළ යුතු ය යන්නට වඩා යමක් මා අදහස් නොකළ බැව් මම තමුන්නාන්සේට ස්ථිරව ම කියමි.”

රාජ්‍යත්වයේ සංකේතය ලෙස ජනතා හරසරට පත් දළදා වහන්සේගේ භාරකාරත්වයෙන් තොරව තමන් වෙත ලාංකිකයන්ගේ පාක්‍ෂිකත්වය ලබා ගත නොහැකි බව ඒ වන විට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මෙන් ම, මහනුවර එජන්ත ලෙස පත් කළ ජොන් ඩොයිලි ද මැනවින් අවබෝධ කර ගෙන සිටියහ.

1815 වන විට රට තුළ පැවති ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් දළදා මාළිගාවෙන් පිටතට වැඩම කරවා සිටි දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට ගිවිසුම අත්සන් කළ තැන් පටන් බ්‍රිතාන්‍යයන් යුහුසුළු ව කටයුතු කරන්නට වූයේ, ලාංකේය භූ දේශපාලන අධිකාරීයේ අසහාය සංකේතය වූයේ දළදා වහන්සේ වීම හේතුවෙනි. එහෙත් බ්‍රිතාන්‍යයන් විශ්වාස නොකළ උභය මහාවිහාරයීය මහා නායක මාහිමිවරුන් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගෙන් තවදුරටත් බුද්ධාගම හා දළදා වහන්සේ ආරක්‍ෂා කරන බවට සහතිකයක් ලැබෙන තුරු දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමට කටයුතු නොකළහ.

ඓතිහාසික වාර්තාවන්ගේ දැක්වෙන පරිදි ක්‍රි.ව. 1815 ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කිරීමට ආසන්න කාලයේ දී දළදා වහන්සේ මහනුවර දළදා මාළිගාව තුළ වැඩ සිටිම දළදා වහන්සේගේ ආරක්‍ෂාවට හානියක් බව අවබෝධ කර ගත් මල්වතු - අස්ගිරි උභය මහාවිහාරයීය මහා නායක මාහිමිවරු දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටිය විහාරයට වැඩම කරවූහ. ඩොයිලිගේ දිනපොතේ 1815 මාර්තු මස 10 වැනි දින සටහන මෙම කරුණ සනාථ කරන අතර ම දළදා වහන්සේගේ ආරක්‍ෂාව උදෙසා මල්වතු - අස්ගිරි මහා නායක මාහිමිවරුන් කොතරම් සැලකිලිමත් වී ද යන්නත් ඒ තුළින් මනාව ගම්‍යමාන වේ.

“...සවස සයට පමණ විහාර දෙකේ සංඝයා වහන්සේ දළදා මාළිගාවට පැමිණියෙන් සුදු රෙදි අතුරන ලද බිම ඇති මඟුල් මඩුවට කැඳවා ගෙන යන ලදී. මම අදිකාරම්වරු දෙදෙනා සමඟ ශාලාවේ ඔවුහු පේළි දෙකක් සැදී මඟුල් මඩුවට පැමිණියහ. පළමුවෙන් මල්වත්ත විහාරයේ භික්‍ෂූන් කොබ්බෑකඩුව නායක උන්නාන්සේ (මහලු හා දුර්වල නිසා වෙනත්

භික්‍ෂුවකගේ ආධාර ඇතිව) ප්‍රධානත්වයෙන් පැමිණියේ ආණ්ඩුකාරතුමාගේ පාර්ශ්වයෙනි.

ඊළගට අස්ගිරි විහාරයේ භික්‍ෂූන් යටවත්ත නායක උන්නාන්සේගේ ප්‍රධානත්වයෙන් පැමිණ ආණ්ඩුකාරතුමාගේ වම් පාර්ශ්වය ගත්තා, ආණ්ඩුකාරතුමා ප්‍රථමයෙන් මල්වත්ත විහාරයේ භික්‍ෂූන් වහන්සේගේ සැප දුක් විචාළේ ය.

භික්‍ෂූහු :- අපට දැන් කිව යුතු තරම් කරදරයක් නැත. හොඳ සනීපෙන් පසුවෙමු.

ආණ්ඩුකරු :- මම එය බලවත් ප්‍රීතියෙන් අසමි.

භික්‍ෂූහු :- අප ගැන මෙසේ විමසීමට කාරුණික වීම ගැන අපි ආණ්ඩුකාරතුමාට අපගේ ප්‍රීතිය ප්‍රකාශ කරමු.

ආණ්ඩුකරු:- භික්‍ෂූන් වහන්සේට බ්‍රිතාන්‍ය රජයේ සම්පූර්න සුරක්‍ෂිත භාවය හා වගකීම් සහිත බව, ලැබෙනු ඇතැයි, මම ගෞරවයෙන් දන්වනවා. උන්වහන්සේගේ විහාරස්ථාන පූජනීය වශයෙන් ද, ආගම ගෞරවාන්විත ලෙස ද, සලකනු ලැබේ. මෙම වාක්‍ය තේරුම් කර දීමේ දී, අදිකාරම් තම කතාවේ ශබ්ද වඩාත් උස් හඬින් දැක්වීය.

භික්‍ෂූහු:- විජය රජතුමාගේ පටන් පිළිවෙළින් දිවයිනේ රජ කළ රජවරු, බුදුදහම ආරක්‍ෂා කළහ. බුද්ධාගම නිසා, ලංකාව ලෝකයේ නොවැටෙන ජාතියක් වශයෙන් සුරක්‍ෂිත විය.

තවද මෙරට රජවරුන්ගේ හා ජනතාවගේ සුබසිද්ධියට ආගම ඉවහල් විය. ආගම නඟාසිටුවීම නිසා, ඇතිවු සමෘද්ධතාව හේතු කොට ගෙන, රටේ රෝග උපද්‍රව ආදිය තුරන් විය.

ලෝකයට සෙතක් විය. ඒ නිසා උතුමාණන් විසින් ආගම ආරක්‍ෂා කිරීමට දක්වන සැලකිල්ල අපට අතිශය සන්තෝෂයට හේතුවක් වී තිබේ.

ආණ්ඩුකරු:- බුද්ධාගමට තමාගේ සම්පූර්ණ ආරක්‍ෂාව ලැබෙන බව සහතික ලෙස නැවතත් පැවසීය. ආණ්ඩුකරු ඊළඟට, අස්ගිරි විහාරයේ භික්‍ෂුන් වහන්සේගේ සුවදුක් විචාරා, පළමු සේ සතුටුදායක පිළිතුරු දුන්නේ ය. භික්‍ෂූන් පිටවී ගියෙන්, මම අදිකාරම්වරුන් හා ප්‍රභූන්

සමඟ දළදා මාළිගාවට ගොස්, දළදා වහන්සේ ආපසු ගෙන ඒම සඳහා භික්‍ෂූන් ද සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමි. අපි සාමයික වස්තුවක් ලෙස දළදා වහන්සේ ආරක්‍ෂා කිරීම ගැන කතා කරගෙන ඒවා භාර නායක අනුනායක යන නිලධරයන් පසු පස මඟුල් මඩුවට ගොස්...”4

මේ අනුව පැහැදිලි වනුයේ පුසුල්පිටියේ සඟවා තිබූ දළදා වහන්සේ පිළිබඳ ඩොයිලිට තොරතුරක් ලබා ගත හැකි වන්නේත්, දළදා වහන්සේ නැවත මහනුවරට වැඩම කරවීමට උභය මහා විහාරයේ මහා නායක මාහිමිවරුන් ඇතුළු රදලවරුන් එකඟ කර ගැනීමට හැකි වන්නේත්, බුදුදහම හා දළදා වහන්සේ ආරක්‍ෂා කරන බවට නිශ්චිත ප්‍රතිඥාවක් ලබා දීමෙන් අනතුරුව බවයි. දළදා වහන්සේගේ සුරක්‍ෂාව උදෙසා ඕනෑම ප්‍රබල ආක්‍රමණිකයකු හමුවේ වුව ද එඩිතර ව කටයුතු කරන්නට උභය මහාවිහාරය ශක්තිමත් වූ බවට මෙය කදිම නිදසුනකි.

 

අව අටවක

සැප්තැම්බර් 04 සිකුරාදා පූ.භා. 02.20න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14න් ගෙවේ.
04 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]