උතුම් බුදු සසුනක පින් පිරෙන පින්කම්
නා උයනේ
අරියධම්ම මාහිමි
දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම
ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා
පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදීත්, දානය පූජා කිරීමෙන් පසුවත්
තමාගේ තුන් සිත පහදාගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීමට ශ්‍රාවකයාට හැකියාව ඇත.
දානය පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද කියා නා උයනේ අරියධම්ම මාහිමියන්
විසින් රචිත ‘මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළ යුතු ය,’ යන ග්‍රන්ථය ඇසුරෙන්
මෙම ලිපි පෙළ පළ වේ.
මේවාගේ දෙනු ලබන දානය ලබන්නාගේ පැත්තෙන් ප්‍රතිග්‍රාහක පිරිස දුශ්සීල පිරිසක්
වුණත්, දානය දෙන දානපතියා සීලවන්ත කෙනකු බැවින්, එම දානය මහත්ඵල වෙනවා. මහානිශංස
වෙනවා. මෙය පළමුවැනි දක්ෂිණා විශුද්ධිය යි.
වෙස්සන්තර මහා රජ්ජුරුවෝ එදා අලි ඇතුන් දන් දුන්නේ තමන්ට වඩා සීලවන්තයන්ට නොවෙයි.
නෙත් දෙක වගේ දරු දෙදෙනා දන් දුන්නේ තමාට වඩා සිල්වතකුට නෙවෙයි. එසේ නමුත් බෝධි
සත්ත්ව වෙසතුරු මහා රජතුමාණන්, පරම සීලවන්තයි, දාන වස්තුව පරම ධාර්මිකයි. චිත්ත
සන්තානය ඉතා පිරිසිදුයි. ඤාණ සම්ප්‍රයුක්තයි. එබැවින් ඒ මහා බෝසතුන් වහන්සේගේ එම
දානය මහත් ඵල වුණා. මහානිශංස වුණා පමණක් නොව, දෙලක්ෂ සතළිස් දහසක් යොදුන් ගණනක ම
තිබෙන, සතළිස් ලක්ෂ දස දහස් තුන්සිය පනස් යොදුන් වට ප්‍රමාණ තිබෙන, මෙම මහා පොළොවට
දරා ගන්නට නොහැකි ව කම්පා වෙන්න පටන් ගත්තා.
ඒ කුමක් නිසා ද? ඒ දානය පිළිගන්න ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් මහත්ඵල නොවුණත්, දානය දෙන
දායක පක්ෂය පැත්තෙන් මහත්ඵල වන ආකාරය යි. තිරිසන්ගත සතකුට වුණත් පංච සීලය පමණක්
රකින මනුෂ්‍යයකුට වුණත් දෙනු ලබන දානය තුළින් ආත්ම සිය ගණන්, ආත්ම දස දහස් ගණන්,
ආත්ම ලක්ෂ ගණන් මහත්ඵල ගෙන දෙන්නේ දානපතිතුමාගේ ගුණවත් බව වශයෙනුයි. මෙය පළමුවැනි
දක්ෂිණා විශුද්ධිය යි.
දෙවැනි දක්ෂිණා විශුද්ධිය
දානය පිළිගනු ලබන ප්‍රතිග්‍රාහක පක්ෂය සීල සම්පන්න යි. දන් දෙන දායක පක්ෂයට සීලයක්
නැහැ. දාන වස්තුවත් ධාර්මිෂ්ට නැහැ. අදැහැමින් උපයා සපයා ගත් වස්තුව යි. සිතත්
පැහැදීමක් නැහැ. ඤාණ සම්ප්‍රයුක්ත වන්නෙත් නැහැ. එහෙත් එම දානය දෙන දායක පක්ෂය
දුශ්සීල වුණත්, දානය පිළිගන්න ප්‍රතිග්‍රාහක පක්ෂය සීලසම්පන්න බැවින් ප්‍රතිග්‍රාහක
පක්ෂය නිසා දානය මහත්ඵල වෙනවා.
කැලණි ගඟ අසබඩ, කේවට්ටයෙක් ‘දීඝ සුමන’ නමැති රහතන් වහන්සේ නමකට වාර තුනක් ම
පිණ්ඩපාත දානය පූජා කර තිබුණා. ඔහුගේ ජීවනෝපාය බිලි බා මසුන් මැරීම. ඔහුගේ වස්තුව
අධාර්මිෂ්ඨයි. ඔහුගේ සිතේ පැහැදීමකුත් නැහැ. කර්මඵල විශ්වාස කිරීමට තරම් නුවණක් ද
ඔහුට නැහැ. එසේ නමුත් අර වාර තුනක් ම, රහතන් වහන්සේ නමකට දාන පූජා කිරීමේ පින
සිහිපත් වීමෙන් ඔහු මරණින් පසු සුගතියට ගියා. එම දානය ඔහුට මහත් ඵල වුණේ දානය ලබා
ගත් ප්‍රතිග්‍රාහක පක්ෂයෙන්.
තුන්වැනි දක්ෂිණා විශුද්ධිය
දානය දෙන දායකතුමාගේ සීලයක් නැහැ. දානය පිළිගන්න ප්‍රතිග්‍රාහක පක්ෂයත් දුශ්සීලයි.
වස්තුවත් අධාර්මිෂ්ඨයි. සිතේ පැහැදීමක් ද නැහැ. නුවණක් ද නැහැ. මෙබදු කෙනකු දෙනු
ලබන දානය දෙපැත්තෙන් ම අල්ප ආනිශංසයි. අල්ප ආනුභාවයි. දන් දෙන, දානය ලබන දෙපාර්ශ්වය
ම දුශ්සීල බැවින්, එය තුන්වැනි දානය යි.
හතරවැනි දක්ෂිණා විශුද්ධිය
(හෝ සීලවා) දානපතිතුමා පරම සීලවන්තයි. සීලවන්තේසු දදාති දානං දානය ලබන
ප්‍රතිග්‍රාහක පක්ෂයත් සීලවන්තයි. (ධම්මේන ලද්දං දාන) වස්තුවත් පරම ධාර්මිෂ්ඨවයි
උපයා සපයා ගෙන තිබෙන්නේ. (සූපසන්න චිත්තෝ) චිත්ත සන්තානයත් අතිශයින් ම ප්‍රසන්නයි.
(අභිසද්ධහං කම්ම ඵලං උළාරං) දානපතිතුමා දන් දීමෙන් ලැබෙන ඵල පිළිබඳ ව මෙනෙහි කිරීමේ
විශ්වාස කිරීමේ නුවණින් ද යුක්තයි. “තං වේ දානං විපුල ඵලංති බ්‍රෑම්” මෙම දානය නම්
දාන දායක පැත්තෙන් සහ, දානය පිළිගන්න ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් යන දෙ පාර්ශ්වයෙන් ම,
මහත් ඵල මහානිශංස වන විපුල වූ උදාර පුණ්‍ය ඵලයක් ලැබෙන හතරවැනි දක්ෂිණා
විශුද්ධියයි. කියා සියල්ල දන්නා සම්මා, සම්බුදු රජාණන් වහන්සේ මහත් කරුණාවෙන් පහදා
වදාළා.
මෙම කරුණු අනුව අපි සලකා බලන්න ඕනෑ. අපි මේ සම්බුදු සසුනේ සිදු කරන දම් පින්කම්
පිළිබඳව. අපි මෙම ශාසනයෙහි නා නා ආකාරයේ අනේක විධ, දම් පින්කම් සිදු කරනවා නේද? ඒ
අතරට මහා සංඝ රත්නය වෙත පිණ්ඩපාත දානය, චීවර පූජා දානය, කුටි සෙනසුන් පූජා කිරීමේ
දානය, ජල පහසුකම් සඳහා ළිං පොකුණු කරවා පූජා කිරීමේ දානය, විහාර දාගැබ්, මළු
ඉදිකරවා පූජා කිරීමේ දානය මේ වාගේ නා නා ආකාරයේ පින්කම් රැසක් ම බෞද්ධයන් වශයෙන්
බොහෝ දෙනා සිදුකරනු ලබනවා නේද?
මේවාගේ උතුම් බුදු සසුනක මෙබඳු පින්කම් සිදු කිරීම තුළින් අපිට මොනතරම් අනුසස් බල
මහිමයක් ලැබෙනවා ද? කියන එක මෙම දක්ෂිණා විශුද්ධි දේශනයට අනුව සලකා බලා තේරුම්
ගන්නට ඕනෑ.
මතු සම්බන්ධයි
|