පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගෙය

පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගෙය

පොලොන්නරුවේ පිහිටි ලංකාතිලක පිළිම ගෙය චූලවංශයට අනුව දොළොස් වැනි සියවසේ දී මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද ආලාහන පිරිවෙන සංකීර්ණයට අයත් පුරාණ බෞද්ධ විහාර මන්දිරයකි. ගඩොලින් කරන ලද පිළිම ගෙවල් අතරින් විශාලතම පිළිම ගෙය, පිළිමය සහිත ඇතුළු ගැබ, ගර්භ ගෘහයට ඇතුළු වන දොරක් සහිත මණ්ඩපය, පහළ ම මාලයේ වූ අන්තරාලය යන කොටස් තුනෙන් සමන්විත ය. පරාක්‍රමබාහු රජු විසින් ඉදි කළ විහාර අතර විශාලතම ප්‍රතිමා ගෘහය ලෙස ද ලංකාතිලකය හැඳීන්වේ. ගඩොලින් නිමවා ඇති එහි වහළ වෘත්තාකාර ස්වරූපයක් ගන්නා නිසා ගෙඩිගේ සම්ප්‍රදායට අයත් යැයි විශ්වාස කෙරේ.

ලංකාතිලකය ආයත චතුරස්‍රාකාර මළුවක (පැරණි ස්තූප ආශ්‍රිත ව දක්නට ලැබෙන දිගටි සෘජුකෝණාස්‍රාකාර හැඩයකින් යුත් මළුවක් හෝ වේදිකාවක හෝ) පිහිටා තිබෙන අතර, අඩි 124ක් දිග ය. අඩි 66ක් පළල ය. ථූපාරාමය මෙන් පාදමක් මත සාදා ඇති මෙහි සිංහ රූප පේළියකින්, වාමන රූප පේළියකින් සරසා ඇත. ප්‍රධාන දොරටුව නැඟෙනහිරින් වන අතර, තවත් කුඩා ප්‍රවේශයක් මණ්ඩපයෙහි උතුරු පැත්තේ වෙයි. මෙහි ප්‍රධාන දොරටුව නව සංකල්පයක් අනුව නිර්මාණය කර ඇත. අඩි 40ක පමණ උසට ගඩොලින් දොර කුලුනු දෙක දාර සහිත බොරදම්වලින් යුතු ව සාදා ඇත. මේ ආකාරයට දොර කවුළුව නිර්මාණය කිරීමේ අදහස වී ඇත්තේ පිටත සිටින සැදැහැවතුන්ට පවා පිළිම ගෙය තුළ පිහිටි හිටි පිළිමය සම්පූර්ණයෙන් ම දැක ගැනීමට බවත්, සැදැහැවතුන්ගේ ප්‍රසාදය සහ සංවේගය ඇති කිරීමට බවත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කර ඇත.

මෙහි ගොඩනැඟිල්ල මීටර් 17කට වඩා උස දැවැන්ත ගඩොල් බැම්මකින් සහ අලංකාර කැටයම්වලින් සමන්විත ය. අතීතයේ මෙය මහල් පහකින් සමන්විත වූ බවට සාධක හමුවී තිබේ.

ගොඩනැඟිල්ල ඇතුළත අඩි 41ක් පමණ උස හුණු බදාම සහ ගඩොල් යොදා නිමවන ලද දැවැන්ත හිටි බුද්ධ ප්‍රතිමාවක් ඇති අතර, වර්තමානය වන විට එය හිස කොටසින් තොරව ඉතිරි ව තිබේ.

බදාම තට්‍ටු දහයක් ප්‍රතිමාව සඳහා යොදාගෙන ඇත. ඇස්, කට, නාසය, කන් යන කොටස් තැනීමේ දී හුණු බදාම ස්ථර වශයෙන් භාවිත කර ඇත. ගඩොල් ආකෘතිය ශරීරයේ බාහිර දළ ආකෘතිය පමණක් දරා සිටී. මෙහි දෙඅත් කැඩී ගොස් තිබෙන අතර, එහි දකුණතින් අභය මුද්‍රාව ද, වමතින් සිවුරු පොට ද දරා සිටීම නිරූපණය වන අයුරින් තනා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. බුද්ධ ප්‍රතිමාව අඩි හතරක් උස ගඩොල් පද්ම පීඨයක් මත වැඩ හිදී. හුණු බදාමයෙන් කළ මෙය වර්ණ ගන්වා තිබී ඇත. මෙහි මූර්ති ශිල්පියා බුදුන් වහන්සේගේ සිවුර අවසන් වන ස්ථානයට පහළින් කුඩා සිංහ රුවක් නිර්මාණය කර ඇත. සිවුරු පොටේ බර දරා සිටින ආධාරකයක් ලෙස මෙය තනා ඇත. ප්‍රතිමාවේ කලාත්මක ලක්ෂණවලට හානියක් නොවන අන්දමට මෙය නිර්මාණය කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨ ය.

බුද්ධ ප්‍රතිමා හා ගෘහ නිර්මාණ ආකෘතිය ඉතා හොඳීන් එකිනෙක හා සම්බන්ධ වන ලෙස ගලපා තිබේ. එහි පිය ගැට පෙළ තවමත් දක්නට ලැබෙන අතර, යා යුතු වන්නේ පිළිමයට පි‍ටුනොපා ශරීරය හරස් අතට තබාගෙන ය. එය මෙහි පවතින තවත් සුවිශේෂී ලක්ෂණයකි. පිවිසුම් දොරටුව දෙපස පිහිටි දැවැන්ත කුලුනු, සඳකඩපහණ සහ නාග රූප සහිත මුරගල් මෙහි කලාත්මක බව තහවුරු කරයි.

මෙම පිළිමය ශීර්ෂ වන්දනාව සඳහා භාවිත වූවක් ලෙස ද සැලකේ. බිත්තියේ ඇතුළතත්, පිටතත් සුදු බදාමයෙන් අර්ධ චිත්‍ර නිර්මාණය කර ඇත. ප්‍රතිමා ගෘහයේ පිළිමයේ පිටුපසින් පිට බිත්තියෙන් ප්‍රතිමා අතර ඉඩක් පවතී. මෙය ප්‍රතිමාව පැදකුණු කරන්නන්ට සකස් කළ ඉඩක් වන අතර, ප්‍රතිමාව ගඩොලින් සාදා හුණු පිරියම් කර වර්ණ ගන්වා තිබී ඇත. ප්‍රධාන දොරටුව දෙපස උස් වූ ස්ථම්භ දෙකකි. දොරටුවල තිරස් කොඳු විශේෂ හැඩයකින් යුත් ගඩොල්වලින් සාදා තිබේ. එම ගඩොල් පෑස්ම ඉතා ක්‍රමානුකූල ය. අන්තරාය දෙපස අනුරාධපුර යුගයේ ගොඩනැඟිිලිවල මෙන් සතරැස් පේකඩ කානු මත සඳලුතලයක් වැනි ලීයෙන් සෑදු කොටසක් තිබෙන්නට ඇතැයි ඉතිරි වී ඇති බාල්ක කොටස් හමු වූ බව සඳහන් ව තිබීමෙන් පැහැදිලි කරයි.

ඇසළ  පුර අටවක

ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]