|
ඇසළ පුර අටවක පෝ දා
2026-07-21
නිවැරැදි සතුට
සතුටින් දිවි පැවැත්ම සියල්ලෝ පි‍්‍රය කරති. මිල මුදල් ඇති තරමට, ධන සම්පත් බහුල
තරමට, යාන වාහන, මහා මන්දිර සතු තරමට සතුට වැඩෙනු ඇතැයි කෙනෙක් සිතති. එහෙත් සැබෑ
සතුට මේ කිසිවක් තුළ නොවන බව බෞද්ධයෝ දත යුතු ය. බෞද්ධයාගේ සතුට තීරණය වන්නේ
ආධ්‍යාත්මික දියුණුවේ තරමට ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස
‘සන්තුට්ඨි පරමං ධනං’ ඒ සතුරට පරම ධනය වන්නේ ය.
මෙලොව ජීවිතයේත්, පරලොව ජීවිතයේත් සතුට උරුම කර ගන්නට උන්වහන්සේ ප්‍රධාන කරුණු
සතරක් පෙන්වා දුන්හ. සිල් ආරක්ෂා කරන පුද්ගලයෙක් වීම, ශ්‍රද්ධාවන්තයෙක් වීම,
ප්‍රඥාවන්තයෙක් වීම හා පව් නොකර සිටීම යන කරුණු ය.
එහෙත් සමාජ සන්දර්භයෙහි මේ ධර්මතා කොතෙක් දුරට සාර්ථක කර ගන්නවාද යන්න
ප්‍රශ්නාර්ථයක් බවට පත් කරන්නේ ඔවුනොවුන්ගේ හැසිරීම් ප්‍රදර්ශනය වීමේ දී ය.
තථාගතයන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ දැමුණුූ ඉඳුරන් සහිත ව ජීවත්වන ලෙසට ය.. ඇස,
කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්ට ගොදුරු වන අනේකවිධ අරමුණු හමුවේ ඉවක් බවක්
නොමැති ව පිනවන්නට ගියේ නම් හොඳ නරක තෝරා බේරා ගැනීම මඟ හැරී යයි. එවිට තමන්ටත්
අනර්ථ වී සමාජයටත් අවැඩ වෙයි. ඉඳුරන් සංවර කර ගැන්ම අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි. ඒ
සිල්වත්කම කුඩා කල සිටම ජීවිතය තුළ පුරුදු පුහුණු කළ යුත්තකි.
වයෝවෘද්ධ වූ කල ඉඳුරන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ ය. එවිට රකින්නට සීලයක් නොවේ. සිල්
රැකිය යුතු ඇස් පෙනෙන කාලයේ ය. කන් ඇසෙන , දිවට රස දැනෙන කාලයේ ය. ඇඟපත ශක්තිමත්
කාලයේ ය. අත පය වාරු නොවන කල මේ ඉඳුරන් කොහොමත් සන්සුන් ය. එහෙයින් සිල් රැකීම
පිළිබඳ දැනුම් තේරුම් ඇති දා සිට ම අවධානය යොමු කර ගත යුතු ය. ඒ සීලය ම අවශ්‍ය තැන
තමන් ආරක්ෂා කරනවා සේ ම මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් සතුටින් තබනු ඇත.
බෞද්ධයාට බුද්ධ රත්නයේ සරණ හැර අන් සරණක් නොවේ. ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ හැර
අන් සරණක් නොවේ. මේ උතුම් තෙරුවන පිළිබඳ අචල ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයා කිසිම
හේතුවක් නිසා තෙරුවනට පිටුපාන්නේ නැත. තෙරුවන ඉක්මවා යන්නේ නැත. එවැනි
ප්‍රතිපත්තියක ජීවත්වන පුද්ගලයාට සතුට මඟ නොහැරෙන්නේ ය.
ප්‍රඥාවන්තයකු වීම සතුට උදාකර ගැනීම තෙවැනි කරුණ ය. වරදට පෙළඹෙන්නේ පව්, අකුසල රැස්
කරන්නේ ප්‍රඥාවක් නොවීම නිසා ය. ප්‍රඥාව ඇති කල ජීවිතාවබෝධය ඇති වේ. ජීවිතාවබෝධය
ඇති පුද්ගලයා ජීවත්වන්නේ තමන් කවර මොහොතක හෝ මිය යන බව දැනගෙන ය. එහෙත් ඇතැම්
කෙනෙක් මරණය යන වචනය අසන්නට හෝ බිය ය. ඔවුහු දීර්ඝායුෂයෙන් මත් වෙති. නිරෝගිකම නිසා
මත්වෙති. තරුණකම නිසා මත්වෙති. මේ මත්බව නිසා ම පස්කම් රසයෙහි ගිජුවෙති. ඒ තුළම
ඇලෙති. ගිලෙති. එවිට මේ අනියත වූ ජීවිතය නිත්‍ය සේ දකිති. දුක් සහගත දෙය සැප ලෙස
දකිති. මේ දුෂ්ප්‍රාඥ බව මේ ජීවිතයේත් පරලොව ජීවිතයේත් දුක උරුම කරන බව නොදනිති.
මුළාවක ජීවත්වෙති. ප්‍රඥාවන්තයකු විය යුතු එහෙයිනි. ප්‍රඥාවන්තයකු වීමේ ප්‍රධානතම
මඟ ප්‍රඥාවන්තයින් ඇසුර ය. ධර්මය ඇසුරු කිරීම ය. සැබෑ ප්‍රඥාවන්තයා, කල්‍යාණ
මිත්‍රයා තෝරා බේරා ගැනීම ද මෙකල නම් අතිශය වැදගත් ය. මිතුරුවෙසින් එන මිත්‍ර
ප්‍රතිරූපකයන්, ධර්මය වෙසින් අධර්මය මෙකල බහුල හෙයිනි.
සතුට ලබන සිව්වැනි කරුණ පාපයෙන් මිදීම ය.
තෙරුවන් සරණ ගිය යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා ප්‍රාණඝාතයෙන් වළකිනවා නම්
ඔහුට හෝ ඇයට හෝ ජීවිතයක් නොවේ. සොරකමින් වළකිනවා නම් තමන්ට සොර සතුරු බිය නොවේ.
කාමය වරදවා හැසිරීමෙන් වළකිනවා නම් විශ්වාසය නොබිඳේ. බොරුවෙන් වළිකනවා නම් තමන් ද
රැවටීමට හසු නොවේ. සුරාවෙන් වළකිනවා නම් ප්‍රමාදයට පත් නොවේ. මෙවැනි වාතාවරණයක ඒ
පුද්ගලයා ජීවත්වන්නේ සතුටිනි. පරලොව ද ඒ සතුට උරුම ය.
මේ සතුට ළඟා කර ගත හැකි තමන්ට ම ය. අනුන්ගෙන් ලද නොහැකි ය. ඒ සඳහා උත්සාහවත් වෙමු.
|