පිනක මහිමය

පිනක මහිමය

ලොකු ඇස් ඇති සුන්දර දෙව්දුව, ඔබේ නම මොකක්ද? දිව්‍ය අප්සරාවන් පිරිවරා ගෙන මේ රම්‍ය වූ චිත්‍රලතා වනයෙහි ඔබ ලස්සනට ඇවිදිනවා.

තව්තිසා වැසි දෙවිවරුන් මේ චිත්‍රලතා වනයට එනවා. එතකොට, ඒ දෙවිවරු තමන්ගේ යානා, දිව්‍ය රථ ඒ සෑම දෙයක් ම සමඟ විචිත්‍ර වෙලා යනවා.

මේ චිත්‍රලතා වනෝද්‍යානයෙහි හැසිරෙන ඔබගේ ශරීරයෙහි රන්මල් ආදී විසිතුරු දේ පිහිටලා නෑ. ඔබේ සිරුර මෙතරම් ම සුන්දර වුණේ කොහොමද? පින්වත් දෙව්දුව, අපි අහන්නෙ මේකයි. මේ ලැබුණේ කවර පින්කමක විපාකයක් ද?

පින්වත් දේවේන්ද්‍රය, මගේ මේ සොඳුරු රූ සපුවත්, සොඳුරු උපතත්, සෘද්ධියත්, ආනුභාවයත් ලැබුණේ යම්කිසි පිනක් නිසයි. සක් දෙවිඳුනි, ඒ ගැන මැනවින් අසනු මැනව.

මම ඉස්සර හිටියේ රම්‍ය වූ රජගහ නුවරයි. මම උපාසිකාවක්. මගේ නම සුනන්දා. මට හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. හොඳ බලයකුත් තිබුණා. හැම තිස්සෙම ආසා කළේ දන් දෙන්නට ම යි.

ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේ ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල් පහන් පූජා කර ගත්තා.

චාතුද්දසී දවසට, පුන්පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මම අටසිල් සමාදන් හොඳින් ආරක්ෂා කළා.

මම හොඳින් උපෝසථ සිල් රැක ගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කර ගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මම ඒ විදිහටයි ගෙදර ජීවත් වුණේ.

සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කර ගත්තා. සොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ.

සිල්පද රැක ගත්තේ කැමැත්තෙන් ම යි. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුළ ශක්තිය තිබුණා. ඒ නිසා පැතිරුණු යසස් ඇති, සදහම් ඇස් ඇති, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවිකාවක් වුණේ.

මට දිනපතා ම නෑදැයකුගේ දාසියක් මල්මාලා ගෙන එනවා. මම ඒ මල්මාලා සියල්ල ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට ශ්‍රද්ධාවෙන් පූජා කළා.

උපෝසථ දවසටත් මම ස්තූප වන්දනාවට යනවා. පහන් සිතින් ම මේ දෑතින් ම මල් සුවඳ විලවුන් ස්තූපයට පූජා කළා.

පින්වත් දෙවිදුනි, මගේ මේ සොඳුරු රූ සපුවත්, සොඳුරු උපතත්, සෘද්ධියත්, මේ ආනුභාවයත් ලැබුණේ මම කර ගත් මේ මල් මාලා පූජාව නිසයි.

මම සිල්වත් තැනැත්තියක් ව සිටියා. තවම ඒ පින විපාක දීලා නෑ. පින්වත් සක්දෙවිඳුනි, මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඒ සකදාගාමී වීම ගැනයි.

ඇසළ  පුර අටවක

ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]