සාර්ථක ජීවිතයට ආකල්පමය වෙනසක්

සාර්ථක ජීවිතයට ආකල්පමය වෙනසක්

පවුල් ජීවිතයත්, සමාජ ජීවිතයත් සාර්ථක වන්නේ සාර්ථකත්වය පිළිබඳ අප සතු ආකල්ප අනුවයි. අපි කල්පනා කරන්නේ එසේත් නැත්නම් විශ්වාස කරන්නේ සල්ලි තමයි ජීවිතය කියලා නම් ඒක අපේ ජීවන ආකල්පයක් වෙනවා. එවිට අපි මුදල් උපයන්නට යොදවන කාලය වගේම ශ්‍රමය වැඩි කරනවා. ඊට සමාන්තර ව ජීවිතයේ අනෙක් පැතිකඩවලට යොදවන කාලයත්, ශ්‍රමයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීමේ ප්‍රමාණය අනුව ජීවිතයේ අනෙක් පැතිකඩවලින් හිමි වන ප්‍රතිඵල සෘණාත්මක අගයක්, එසේත් නැත්නම් පහත වැටීමක් පෙන්නුම් කරනවා. මුදල් යහමින් තිබෙන, මහා පරිමාණ සමාජ සම්බන්ධතා ජාලයක් තිබෙන නමුත් මෙලෙස ජීවිතයේ විවිධ පැතිකඩ පහත වැටීම නිසා අප රෝගී වෙනවා. මේ සමඟ ම පවුල් ජීවිතය අසාර්ථක වී දරුවන්ගේ ජීවිත ද අසාර්ථක වෙනවා. මෙය ආකල්පවලට අදාළ සරල ම උදාහරණයක් පමණයි.

ජීවිතය සාර්ථක කර ගැනීමට, ජීවිතය සමබර කර ගත යුතුයි කියන ආකල්පය තමන් තුළ ගොඩනඟා ගැනීම අනිවාර්ය වෙනවා. එවැනි සමබර ආකල්පවලින් යුතු පවුලක් නිරන්තරව ම තණ්හාව පාලනය කරනවා. තණ්හාව පාලනය කිරීමට හේතු යුක්ති සහගත ව නැතුවම බැරි අයට අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට තමන් සතු දේ පරිත්‍යාග කරනවා. ඒ ඔස්සේ තණ්හාවට එරෙහිව දැනුවත්වම පරිත්‍යාගය නැත්නම් දානය පුරුදු පුහුණු කරනවා. ජීවිතය සමබර කර ගැනීමට තමන් වැඩියෙන් ආසා කරන කුඩා කුඩා දේ පරිත්‍යාග කිරීම ඔස්සේ ආසාව අතහැරීමට පුරුදු පුහුණු කිරීම ආරම්භ කරනවා. මේ තුළින් ඇස, කන, නාසය, දිව සහ ශරීරයත්, සිතත් පාලනය කරනවා. හික්මවනවා. විනයානුකූල කරනවා.

මේ කටයුත්ත ශරීරයටවත්, මනසටවත් වදයක් නොවන්නේ සතුටක් වන්නේ ඒ පිළිබඳ අප සතු ආකල්පයේ සීමා මායිම් අනුවයි. ඒ ආකල්පවල සීමා මායිම් අනුව ඊට අදාළ වීර්යය, කැපවීම නිර්මාණය වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාම සහ රාග දෙක ම පාලනය වෙනවා. අනිසි කාම සිතිවිලි සහ රාග සිතිවිලි පාලනය වෙනවා. මේ තුළින් නිරායාසයෙන් ම පවුල ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිපන් පවුලක් බවට පත් වෙනවා. මෙම තත්ත්වයට පිළිපන් පවුලක් බවට පත්වීමට නම් අඹු සැමි යුවල සම සද්ධා, සම සීල, සම ප්‍රඥාවෙන් යුක්ත විය යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

මහරගම උත්පලවන්නා මෙහෙණින් වහන්සේ සමඟ කළ ධර්ම සාකච්ඡාවක් ඇසුරිනි

ඇසළ  පුර අටවක

ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]