ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් අව අටවක පෝ දා 2026 ජූලි 07 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සීමැඳුරු කවුළුව අසල සිටි නිරිඳුන්ගේ තියුණු දෑස් යොමුව තිබුණේ තමා විසින් සැටදහසක් බමුණන්ට දන් වළඳවන දන්හල වෙත ය. සන්සුන් බවින් තොරව, අවිනීත ලෙස බොජුන් අනුභව කරන පිරිස දුටු රජ තෙමේ ඒ කරුණින් ම ඔවුන් තුළ හරයක් නොමැති බව පසක් කර ගති. සිත් පහදවන අන්දමේ දක්ෂිණාර්භයන්ගේ දර්ශනය පතමින් සිටි නිරිඳුන් සීමැඳුරු කවුළුව අතරින් රාජාංගණය දෙස විඩාබර දෙනෙතින් බලා සිටින්නට විය. සකල ජම්බුද්වීපය ම තනි රාජ්‍යයක් බවට පත් කොට අහසේත්, පොළොවේත් යොදුනක ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තම ආඥාව පිහිටන රාජ ඍද්ධිය සහිත ව සිටින මෙතෙම පාටලීපුත්‍ර නගරයේ දී රාජාභිෂේකය ලැබූ අශෝක නිරිඳුන් ය. රාජ්‍යත්වය හේතුවෙන් බොහෝ පව් කළ බැවින් ‘චණ්ඩාශෝක’ නමින් පතළව සිටි අශෝක නිරිඳුන්ගේ දිවි ගමනේ දිශානතිය වෙනතකට යොමු කරවමින් දැමුණු ඉඳුරන් ඇති ව සන්සුන් පියොවින් රාජාංගණය හරහා වඩින සත් හැවිරිදි නිග්‍රෝධ නම් වූ රහත් සාමණේරයන්ගේ දසුන නිරිඳුන්ගේ විඩාබර දෙනෙතට රසඳුනක් විය. නරපතිඳුන්ගේ ඇරයුමෙන් රාජමාලිගයට වැඩම කොට සිංහාසනය මත වැඩ හුන් නිග්‍රෝධ රහතන් වහන්සේට රජු සියතින් ම දන් පැන් වැළඳවූයේ දක්ෂිණාවට සුදුසු උත්තමයකු මුණගැසීමේ පී‍්‍රතිය භුක්ති විඳිමිනි. දහම් අසනු කැමැති වූ නිරිඳුන්ට නිග්‍රෝධ මහරහතන් වහන්සේ සිඟිති මුවින්, ගම්භීර සරින් උතුම් ධම්මපදයේ අප්පමාද වර්ගයට අයත් සියලු දෙසුම් මැනවින් දෙසූ සේක. පිරිස සහිත රජු තිසරණ සහිත පංච ශීලයේ පිහිටවූ සේක. තෙරුවන් සරණේ මනාව පිහිටීමෙන් පසු අනේක පින්කම් කිරීම හේතුවෙන් හේ ධර්මාශෝක නමින් සුපතළ ව ගියේ ය. රජුගේ මෙම පරිවර්තනය ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සනිටුහන් කළ හැරවුම් ලක්ෂ්‍යය විය.
ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා අ.භා. 12.19න් ගෙවේ. 07 අඟහරුවාදා සිල්
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
පසළොස්වක
ජූලි 29
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]