[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පසමිතුරාටත් උපකාර කළ නායකයා

පසමිතුරාටත් උපකාර කළ නායකයා

අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරන කාලයේ හිමාලයේ දී වඳුරු ආත්මයක උපත ලැබුවා. ශක්ති සම්පන්න, උස මහත වඳුරෙක් බවට පත් වුණා. අසූදහසක් වූ වඳුරු සේනාවේ නායකයා මරණයට පත්වූ හැම දෙනාගේ ම කැමැත්තෙන් මේ බෝසත් වඳුරා නායකයා බවට පත්කර ගත්තා. අසූදහසකගේ ආරක්ෂාව, කෑම බීම, සතුරු විපත් ආදියෙන් ගලවා ගැනීම ආදී හැම දෙයක දී ම නායකත්වය දෙන්න මේ බෝසත් වඳුරාට සිදු වුණා.

මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපෙක්ඛාව පෙරටු කර ගෙන තම සේනාවට නායකත්වය දුන් නිසා පැමිණි ගැටලුවලට හොඳීන් මුහුණ දුන්නා. හිමාලයේ තැනින් තැනට වඳුරු සේනාව අරගෙන ගිහින් කෑම බීමවලින් අඩුවක් නැති විදිහට ආරක්ෂා කර ගත්තා. දවසක් හිමාලයේ වන මුදුන් මතින් යන කොට දකින්න ලැබුණා, විශාල භූමි භාගයක අතුපතර විහිදී ගිහින් තිබෙන නුග ගහක් වගේ විශාල අඹ ගහක්. ටිකෙන් ටික ළඟට ගිහින් බැලුවා. ඇත්තටම මේ මොන වගේ ගහක් ද කියලා. තහවුරු කර ගත්තා අඹ ගහක් කියලා. අඹ ගෙඩි හරියට කළගෙඩි වගේ ලොකුයි. රසය අමෘතය පරාදයි. එක ගෙඩියක් තුන් දෙනකුගේ කුස පුරවා ගන්න පුළුවන් තරම් විශාලයි. මේ නිසා වඳුරු නායකයා තීරණය කළා කාලයක් ම මේ අඹ ගහ ඇසුරු කරගෙන කෑම හොයාගෙන ජීවත් වෙන්න. ඉතින් බොහෝ කාලයක් මේ අඹ ගහේ උපකාරයෙන් සැප සේ ජීවත් වුණා. අඹ ගහේ එක අත්තක් වැටිලා තිබුණා ගංගාවක් උඩින්. අනෙක් අතු ගොඩ බිමට බර වෙලයි තිබුණේ. අහස සිප ගන්න තරම් විශාල විදිහට උඩට විහිදී ගිය අතු තිබුණා. අඹ ගහ දුටු දවසේ ම මේ බෝසත් වඳුරා අර අසූ දහස ම තමන්ගේ ළඟට කැඳවාගෙන අවවාදයක් කළා.

‘මගේ ඥාතීනි, යහළුවනි, හිතවතුනි, මේ අඹ ගහ අපට බොහෝ කාලයක් ජීවත් වෙන්න උපකාර වෙනවා. අප හැම දෙනාට ම සුව සේ ජීවත් වෙන්න මේ අඹ ගහ ගෙඩි ලබා දෙනවා. හැබැයි ඒක හැමදාම ආරක්ෂා කර ගන්න නම් මම මේ කියන උපදේශය පිළිපදින්න ඕනෑ. එහෙම නොවුණොත් අපට කරදරවලට මුහුණ දෙන්න වෙනවා. බලන්න අර අඹ අත්ත දිහා. ඒක තියෙන්නේ ගඟට උඩින්. ඔය අඹ අත්තේ ගෙඩි හැදිලා, පැහිලා, ඉදිලා ගඟට වැටිලා ගහගෙන ගියොත් ඒක අහුල ගත්ත කෙනෙක් නොවරදවා ම මේ අඹ ගහ සොයාගෙන එනවා. ඒක නිසා හැම දෙනා ම මතක තියා ගන්න ඕන ගඟ පැත්තට තියන අඹ අතුවල මල්, ගැට හැදෙන කොට ම, ඒවා කඩලා ගඟට දාන්න. නැතිනම් ඒවා කෑමට ගන්න. කිසිම හේතුවක් නිසාවත් එක අඹ මලක්වත්, අඹ ගැටයක් වත් ඉතිරි කරන්න එපා යැයි අවවාද කළා. අසූදහසක් වු වඳුරු සේනාවේ හැම දෙනා ම බෝසත් වඳුරු නායකයාගේ අවවාදය වගේම උපදේශ පිළිගත්තා. වඳුරු නායකයාත් ඒ ගැන හොයලා බැලුවා. එහෙම වුණත් දිමියන්ගේ කූඩුවකට මැදිව තිබුණු අඹ ගෙඩියක් කිසිම කෙනකුට දැක ගන්න පුළුවන් වුණේ නෑ. ඒ අඹ ගෙඩිය ටිකෙන් ටික ලොකු වෙලා, පැහිලා, ඉදිලා ගඟට වැටුණා. ඉතින් දැන් මේ අඹ ගෙඩිය ග‍ඟේ පාවී පහළට යන්න පටන් ගත්තා. මේ දවසේ ම බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාට හිතුණා ගංගාවට බැහැලා හොඳීන් ජල ක්‍රීඩා කරගෙන, නාගෙන එන්න ඕනෑ කියලා. ඇත්, අස්, රිය, පාබල සේනාව පිරිවරාගෙන ගං ඉවුරට සැපැත් වුණා. ගඟේ ගසාගෙන එන දර කැබැලි, ලී කොටන් ආදිය රජතුමාගේ ඇගේ වදියි කියන අදහසින් රජතුමා ස්නානය කරන තැනට ඉහළින් කම්බි දැල් දාලා ආරක්ෂාව සපයන්නට මසුන් මරන්නන්ට නියම වුණා. රජතුමා සතුටින් ස්නානය කර අවසන් වුණාම මේ දැල් දැමූ මසුන් මරන්නෝ කළයක් වගේ විශාල ගෙඩියක් ගෙනත් රජතුමාට දුන්නා. රජතුමා අමාත්‍යවරුන්ගෙන්, පුරෝහිතගෙන් ඇහුවා ඒ ගෙඩිය මොකක් ද කියලා. කවුරුත් දැනගෙන හිටියේ නෑ. කෙනෙක් උපදෙස් දුන්නා වනචාරීන් නම් මේ ගැන දන්නවා ඇති කියලා. ඒ අය ගෙන්වා ගෙන අහල බලන කොට අඹ ගෙඩියක් බව දැන ගත්තා. ඒ අයට පළමුව කන්න දුන්නා. දෙවනුව අමාත්‍ය මණ්ඩලයටත්, තෙවනුව අන්තඞපුර ස්ත්‍රීන්ටත් කන්න දීලා රජතුමා රස බැලුවා. දිව පිනා ගියා. රසයෙන් මුළු ශරීරය ම පිනා ගියා. තව තවත් මේ අඹ කන්න රජතුමාට ආසාවක් ඇති වුණා. ඒ වනචාරීන් කැඳවාගෙන හිමාලයේ ඒ අඹ ගහ හොයාගෙන සේනාව සමඟ පහුවදාම පිටත් වුණා. අඹ ගහ ළඟට එන කොට රාත්‍රිය උදා වෙලා. ඒක නිසා කොටි, වලසුන් වගේ නපුරු සතුන්ගෙන් ආරක්ෂා වෙන්න ගිනි මැල ගහගෙන අඹ ගහ සමීපයෙන් නිදා ගත්තා. මැදියම් රාත්‍රිය උදා වෙන කොට, කිසිම සද්දයක් නැති තැන අර වඳුරු සේනාව අඹ ගහට ඇවිත් පරිස්සමින් පරිස්සමින් අඩිය තිය තියා අඹ කන්න පටන් ගත්තා. රජතුමාට ඇහැරුණා. ගහ උඩ බලන කොට වඳුරු සේනාවක් අඹ ගහේ පිරිලා. රජතුමාට ආසාවක් ඇති වුණා, වඳුරු මස් එක්ක ම අඹ කන්න. දුනු සේනාවේ නායකයාට කතා කර උපදෙස් දුන්නා, දුනුවායන් සූදානම් කර මේ වඳුරන් මස් කරන්න. දුනුවායෝ ඊතල අමෝරාගෙන ටිකෙන් ටික ළං වුණා. මේ සිද්ධියෙන් බියට පත් වඳුරු සේනාව තමන්ගේ නායක බෝසත් වඳුරා ළඟට ගිහින් සිදුවීම කියා සිටියා. හැම දෙනා ම මරණ බයෙන් බියට පත්වෙලයි මේ වෙනකොට හිටියේ. බෝසත් වඳුරා ඒ බය නැති කරමින් කිව්වා ‘කිසිම කෙනෙක් බය වෙන්න එපා. මම හැම දෙනාව ම බේරා ගන්නම් කියලා වහාම ක්‍රියාත්මක වුණා. කළ යුතු දේ තීරණය කර ගංගාව දිහාවට තියෙන අත්තේ කෙළවරට ගිහින් කාය ශක්තිය අරගෙන පැන්නා ගඟෙන් එතරට. ගිහින් රාත්‍රියේ ම හුරුපුරුදු වැල් ගොමුවකට ගිහින් තමන් ගඟෙන් මෙතෙරට ආපු වේගය ගැන සිහි කර ඒ ප්‍රමාණයටත්, ගහේ බඳින්නට යන ප්‍රමාණයත් සලකලා වැලක් සකසා ගත්තා. හැබැයි අමතක වුණා තමන්ගේ ඉණ වටා යන ප්‍රමාණයට වැලේ දිග වැඩි කර ගන්න. මෙහෙම සකසා ගත්ත දිග කැළෑ වැලේ කොණක් ගඟේ මෙතෙර තිබුණු උස ගහක බැඳලා අනෙක් කෙළවර තමන්ගේ ඉණේ බැඳගෙන ආයෙත් අරවිදිහටම විශාල ගසක් උඩට නැඟලා අඹ ගහට පැන්නා. ගඟට නැමිලා තිබුණු අත්තේ කෙළවරක් අතින් අල්ලා ගත්තා. හැබැයි ඒ අඹ අත්තේ බඳින්න තරම් ලණුවේ දිග ප්‍රමාණවත් වුණේ නැති නිසා. තමන්ගේ වඳුරු සේනාවට අමතලා කිව්වා ඉක්මනින් ම තමන්ගේ, ඇඟ උඩින් ගිහින්, වැල දිගේ ගඟේ එහා පැත්තට යන්න කියලා. වඳුරු සේනාව ම වගේ දැන් තමන්ගේ නායකයාට වන්දනා කර කර සිරුරත් පාගාගෙන වැල දිගේ ගඟෙන් එතෙර වුණා. ඔය රංචුවේ ම හිටියා මේ නායකත්වයට, වැඩපිළිවෙළට නොහික්මුණු, යහළුකමින් සියලු දේ කර ගත් වඳුරෙක්. ‘නායකකම ගන්නත්, මූගෙන් පලිගන්නත් හොඳ ම වෙලාව මේක කියලා හිතලා අර අඹ ගහේ උඩට විහිදී ගිය අත්තකට නැඟිලා එකපාර ම මේ වඳුරු නායකයාගේ ඇඟට පැන්නා. ඇඟ පසාරු කරගෙන ලේ ගලන්න පටන් ගත්තා. ඒත් බෝසත් වඳුරා අල්ලාගෙන හිටිය අඹ අත්ත අතහැරියේ නෑ. ඒ අර තමන්ට විපත් කළ වඳුරා ගංගාවෙන් එතෙර වෙනකම්. හැම දෙනා ම ගඟෙන් එතෙර වෙලා ගියා. මේ බෝසත් වඳුරා වේදනාවෙන් ලේ ගලමින් ඒ අඹ අත්තේ ම එල්ලීගෙන හිටියා. මේ සිද්ධි මාලාව හොඳීන් බලාගෙන හිටිය බ්‍රහ්මදත්ත රජතුමා වඳුරු නායකයාට පැහැදිලා සේනාව ලවා පහළට අරගෙන ගඟ දියෙන් නාවලා, එළු සම් මත තබලා බෙහෙත් කළා.

රජතුමා අවසානයේ දී බෝසත් වඳුරාගෙන් සිදු වු දේ ගැන ඇහුවා. එතකොට කියනවා ‘රජතුමනි, මම මේ රැලේ නායකයා, මම මගේ ඥාතීන් ඇතුළු සේනාව බේරා ගත්තා. මම පිරිසකට නායකත්වය දුන්නා, ඒ පිරිසට බිය නැති සැපය ගෙන දුන්නා.‘ රජතුමනි, ඔබත් රට පාලනය කරන කොට මෙය ආදර්ශයක් කර ගන්න යැයි ධර්මාවවාද දෙමින් බෝසත් වඳුරා මියගිය බවත්, රජතුමා මේ බෝසත් වඳුරාගේ දේහය රජ කෙනකුගේ දේහයක් මෙන් ආදාහනය කර ඒ අළු අරගෙන දාගැබක් ඉදිකර, වන්දනා කළ බවත්, බෝසත් වඳුරාගේ ධර්මාවවාද අනුව රට පාලනය කළ බවත් සඳහන් වන රසවත් ජාතක කතාවක් පන්සියපනස් ජාතක පොතේ ‘මහාකපි ජාතකය‘ ලෙස සඳහන් වෙනවා. බලන්න, පින්වතුනි, නායකයා තමන්ගේ සතුරා වෙනුවෙන් වුවත් උපකාර කරන ආකාරය දිහා. නායකයා තමන්ගේ ජීවිතය විනාශ වුවත් කිසිදු භේදයකින් තොරව නායකත්වය දිය යුතු බවත්, ඇසුරු කරන මිතුරන්ගේ ස්වභාවය හඳුනාගෙන ඇසුරු කළ යුතු බවත්, මිතුරු වෙස් ගත් අය අවස්ථාව පැමිණි විගස ම තමන් විනාශයට පත් කොට වරප්‍රසාද හා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට පෙළ ගැසී බලාගෙන සිටින බවත් මේ ජාතක කථාව අපට කියා දෙනවා.

පොසොන් අව අටවක

ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා
අ.භා. 12.19න් ගෙවේ.
 07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]