|
අධි වෙසක් පුර පසළොස්වක පෝ දා
2026-05-01
වියත් දස දෙස-පුදත් සැම කල්
තථාගතයන් වහන්සේ පන්සාළිස් වසක් පුරා ලෝ සත වෙත පෑ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
ශ්‍රී සද්ධර්මය අදටත් ජීවමාන ය. සුපටිපන්න මහා සංඝරත්නයෙන්, නිවැරැදි පොත පත
ඇසුරින් ඒ ධර්මය දැන ඉගෙන අපගේ ජීවිතයට ගළපාගෙන දෙලොව යහපත උදා කොට, මේ දුක් සහිත
සසර කතරෙන් එතෙරට යන්නට තවමත් අවස්ථාව තිබීම අප ලද මහා පුණ්‍ය ශක්තියකි. භාග්‍යයකි.
අභාග්‍යය නම් ඒ සත්‍ය ධර්මය තේරුම් ගන්නට තරම් බොහෝ දෙනකුගේ මනස මෝරා නොතිබීම ය.
ජීවිතයේ මුහුණ දෙන අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් ඉදිරියේ සරණක්, රැකවරණයක් සොයා යන
පුහුදුන් දනන් හට ශ්‍රී සද්ධර්මය ම මිස අන් සරණක් නොවේ ම ය. “ධම්මො හවේ රක්ඛති
ධම්මචාරි” ධර්මයෙහි හැසිරෙන තැනැත්තා ධර්මය විසින් ම රැක ගන්නා බවයි දහමේ
ඉගැන්වෙන්නේ. යටිකුරු කළ දෙයක්, උඩුකුරු කළා සේ සැක සංකා මඟ හැර ධර්මාවබෝධය තුළ ලබන
අර්ථය දෙලොව සුබ සිද්ධියට ම වන බව තේරුම් ගන්නට අප මනස වැඩිය යුතු ම ය.
න තං මාතා පිතා කයිරා
අඤ්ඥේ වා පිච ඤාතකා
සම්මා පණීහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෙ
බාහිර පරිසරයෙන් පැමිණෙන කුණු, දුහුවිලි නිසා අපගේ සිරුර නිරන්තරයෙන් අපවිත්‍ර
වන්නේ ය. සෝදා පිරිසුදු නොකළේ නම් ඒ සිරුරෙන් දුගඳ හමන්නට පටන් ගනී. අන්‍යයන්
පිළිකුල් කරයි. ලෙඩ රෝගවලට ගොදුරු වේ. බාහිර පරිසර සාධක නිසා ගත අපිරිසුදු වන්නා සේ
චිත්තාභ්‍යන්තරයේ හටගන්නා ‘කෙලෙස්්’නම් වූ අපවිත්‍ර කාරක නිසා සිත ද ලෙඩ වේ. එසේ
කිළිටි වූ සිතින් කරන කියන දෙය ද කිළිටි ය. දුර්ගන්ධවත් ය. පිළිකුල් කටයුතු ය. ඒ
නිසා සිත කිළිටි වන්නට නොදී පරිස්සම් කරගත යුතු ය. ඉහත ධම්මපද ගාථාවෙන් අර්ථ
ගන්වන්නේ යම් කෙනෙක් අපවිත්‍ර වන්නට නොදී මනා කොට තබා ගන්නා ලද සිත යම් යහපතක් සිදු
කෙරේ ද, එපමණ යහපතක් ඔහුට මව්පියෝ ද, නෑයෝ ද නොකරන්නාහ. කිරීමට සමත් නොවන්නාහ,
යනුවෙනි. එසේ සිත මනා කොට තබා ගන්නට මහෝපකාරී වන්නේ ශ්‍රී සද්ධර්මය යි.
අද අපට ඒ ශ්‍රී ධර්මය දැන ගන්නට අපමණ මූලාශ්‍ර පැවතිය ද ඒ සැබෑ ධර්මය ම ද යන්න
ගැටලුවක් ද වේ. ප්‍රත්‍යලාභ අපේක්ෂාවෙන් ඇතැම් දුර්ජනයන් පිරිසක් ධර්මය විකෘති
කිරීමේ ව්‍යායාමයක නිරත නිසා ය. සැබෑ ධර්මයේ වේශයෙන් ම ඉදිරිපත් කෙරෙන නිසා සත්‍ය
ධර්මය තෝරා ගන්නට නොහැකි ව අපේ බෞද්ධයන් අතරමං වන අවස්ථා ද වේ. එහෙයින් සැබෑ ධර්ම
දේශකයින් හා ධර්ම ග්‍රන්ථ තෝරා ගන්නට දක්ෂ විය යුතු ය.
මෙසේ ධර්මය විකෘති කරන අඳ බාලයන් වෙසෙන කාලයක සම්බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන්
ධර්මය ආරක්ෂා කරන, නිවැරැදි ධර්මය ලියන, කියන ලේඛකයන් වහන්සේ, දේශකයන් වහන්සේ
ඇගයීමට ලක් විය යුතු ය. පිදිය යුත්තන් පිදීම මංගල කරුණකි. ධර්මය ලියමින් පාඨකයාගේ
මනස පහන් කළ අපේ පැරැණි ලේඛකයන් වහන්සේ ද ඒ අතර වෙති. මෙවර බුදුසරණ පුවත්පත අර්ථ
ගන්වන්නේ උන්වහන්සේගේ ද ලිපි එකතුවකිනි. පැරැණි, දුර්ලභ පොත්පත් ඇසුරින් ගත් එම
ලිපි බුදුසරණ පාඨකයින් අතට පත් කිරීමෙන් ඒ ලේඛකයන් වහන්සේ නැවත ජීවමාන වූවා සේ
හැඟෙනු ඇතැයි අපි සිතමු. එමෙන්ම අතීතයේ පොත පත දුලබ කාලයක, පහසුකම් හීන අවස්ථාවක
සැබෑ ධර්මය පාඨකයා අතට ගෙනයමින් දෙලොව වැඩ සදන්නට උන්වහන්සේ ගත් වෑයම උත්කෘෂ්ඨ ය.
උන්වහන්සේට කෘතෝපහාර පිණිස බුදුසරණ පාඨකයා අතට පත් කෙරෙන මෙම ලිපි සපයා ගැනීමට
නොමසුරු දායකත්වය ලබා දෙමින් අප දිරි ගැන්වූ ඌරුගමුවේ අස්සජි හිමියන් ද ගෞරවයෙන්
සිහිපත් කරමු. |