[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ක්ලේශ යනු  කෙලෙසුණු සිතිවිලි ය

ක්ලේශ යනු කෙලෙසුණු සිතිවිලි ය

මෙම ලිපියේ මුල් කොටස බක් අව අටවක පෝදා පත්‍රයේ පළ විය.

බුදුරජාණන් වහන්සේ වෙත මෙන්ම ඇතැම් ශ්‍රාවක - ශ්‍රාවිකාවන් වෙතද නන් වෙසින් පැමිණි මාරයා නොයෙක් දේ කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

ආවේශ වීම වූ කලි යක්ෂ, ප්‍රේත ආදී භූතයින් ද කරන දෙයක් බව ප්‍රසිද්ධ ය. මාරයා වූකලි කාමාවචර ලෝක සියල්ලට ම වඩා උසස් තත්ත්වයෙන් වසන, පරනිම්මිත වසවත්ති දෙව්ලොව වසන කාමසම්පත්තියෙන් හා ආයුෂයෙන්ද ආඪ්‍යව පවතින දේව පුත්‍රයෙකි. කාම භවයෙහි උසස්ම තැන වසන බැවින් අන් සියලු කාම ලෝකයන්ට බැල්මක් බලපෑමක් ඇතිවීම ස්වභාවික ය. පහළ කාමලෝකයන්හි පැවැත්ම හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම ඔවුන්ගේ යුතුකම විය හැකි ය. එහෙයින් කාමයන්ගෙන් පැනයාමට මිදීමට තැත් කරන්නවුන්ට විරුද්ධවීම අනිවාර්යය. ස්වභාවික ය.

ලෝකයක් වශයෙන් එහිද මේ තත්ත්වය ගෙනයාම සඳහා නිලතල ලත් දෙව්වරුන් ද සිටිය හැකි ය.

කාම භවයෙහිම වසමින් කාමයන්ට විරුද්ධව ක්‍රියා කර ප්‍රභූත්වයෙන් මැඬලීමට මේ ‘නිලධර’ දේව පුත්‍රයන් නැඟී සිටීම අවශ්‍යයෙන්ම සිදුවන්නකි. මේ කාර්යයයේ දී ඔවුන්ට නොයෙක් විධියේ ක්‍රියාමාර්ගයන් උපයෝගි කර ගන්නට සිදුවේ. මෙහිදී ඔවුන් බොහෝ සෙයින් ජය ගන්නා අතර ප්‍රභූත්වයේ බලය වැඩි තැන පැරදී පලායාම ද සිදුවිය හැකිය.

තවද භූතාවේශ වූවකුට ආවේශ වූ භූතයා අන් අයට නොපෙනෙන අතර, ඔහු කරන විකාරවලින් භූතයෙකු ඇතැයි අන් අය දැන ගනිති. ඒ විකාර භූතාවේශයකින් වූ දෙයක් නොව ඔහුගේම ක්ලේශයන් උත්සන්න වීමකැයි කෙනකුට කිව හැකි ය. එබඳු අවස්ථා ද ඇත. එහෙත් සෑම අවස්ථාවලම එසේ නොවේ. කෙලෙසුන් මාරයන් වශයෙන් ද ක්‍රියා කරන බව කියන ලදි.

නික්ලේශීන්ට ආවේශවීමට මාරයාට නොහැකි වන අතර කෙලෙස් තවන ශ්‍රාවකයන්ට ආවේශවීම ද දුෂ්කරය. පර්යේෂණාත්මක ධර්ම ග්‍රන්ථයක ‘තන්හා රති රඟා’ මාර දුහිතෘන්ද ක්ලේශයන් විය හැකිය’ යි දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ බුදුවී පස්වන සතියේදී සිදුවූ මේ සිද්ධිය ගැන එසේ පැවසීම සාවද්‍යය. කෙලෙස් නැසූ බුදුරජාණන් වහන්සේ තුළ නැවත කෙලෙස් පැනනැඟිය නොහැකි ය.

මාරයාගේ පුද්ගලත්වය නොපිළිගන්නා අයට කිව යුතු තවත් කරුණක් ද ඇත. එනම් කෙලෙස් හෝ වේවා නිකෙලෙස් හෝ වේවා චිත්ත චෛතසිකවලින් තොර පුද්ගලයෙක් ඇතිවේද? යන්නයි. ඇත්තේ ‘නැත’ යනු පිළිතුර විය යුතු ය. එවිට පුද්ගලාරෝපිත චෛතසික නොව චෛතසිතාරෝපිත පුද්ගලයා මාරයා ලෙස සැලකිය යුතු වන්නේ ය. ඒ මාරයා ජාති මාරයෙක් විය හැකි ය. නැතහොත් පසුව කෙනෙකුට ආවේශ වූ ක්ලේශ මාරයකු විය හැකි ය. මේ දෙදෙනාම පුද්ගලයෝය. එවිට ‘කිලෙසමාර’ යනුවෙන් ගත හැකි අධ්‍යාත්මයෙහි ක්‍රියාකාරී වන ක්ලේශයන් මෙසේ සලකන විට තමා තුළින් පැන නඟින කරදරත්, බැහැරින් ලැබෙන කරදරත් ඇතිවන්නේ ක්ලේශයන් නිසාමයි.

‘නාමරූප සම්බන්ධය’ වශයෙන් ගැනෙන විට පුද්ගලත්ව මාරයා පිළිබඳව සුදුසුම වේ. පුද්ගලත්වයෙන් තොර මාර තත්ත්වයක් ද තිබිය හැකි නම් පැවතිය හැක්කේ අරූප ලෝකයන්හි පමණ ය.

කවර හෝ දුකකින් මිදීමට එකී හේතුව සමඟ සටන් කළ එම හේතුව මාරයා ය. ඔහු හෝ එය නොදිනා නිදහස තමාට හෝ ලෝකයාට සාමය ඇතිවන්නේ එවිටය. එහෙයින් මාරයා හඳුනා ගත යුතුය. මාරයා හැඳින නොගැනීමෙන් ලෝකයේ අර්බුධ යුද්ධ කලකෝලාහල කවදත් හටගනී. එහෙයින් සාමයේ මග මාරයා හැඳිනගැනීම බව ප්‍රත්‍යක්ෂය. බුදුරජාණන් වහන්සේ මාරයා හැඳින ගෙන මාරයා පරදවා බුදු බව ලැබූහ. එනිසා උන්වහන්සේට ‘මාරජී’ හෙවත් මාරයා දිනූ තැනැත්තා ලෙස විග්‍රහකර ඇත. සියල්ලෝම මාරයා පරදවා සාමය උදාකර ගත යුතු ය.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]