[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක පෝ දා 2026-04-17

යහපත් ඇසුරක වටිනාකම

ජීවිතයේ අනේකවිධ ප්‍රශ්න, ගැටලු ඉදිරියේ පීඩාවට පත්වන පුද්ගලයා ඊට සොයන විසඳුම් තුළින් ද පීඩාවට පත්වන අවස්ථා බොහෝ ය. ඒ තමන්ගේ සිතට නැඟෙන සිතිවිලි හඳුනා නොගැනීම නිසා ය. බොහෝ ගැටලු උද්ගත වන්නේ අපවිත්‍ර වූ සිතක ය. එනම් ලෝභ, ද්වේශ, මෝහ ආදි සිතිවිලිවලින් අපිරිසුදු වූ සිතක ය. ඒ අපිරිසුදු චේතනාවන්ගෙන් ම ප්‍රශ්න දෙස බලන්නට පුරුදු වූයේ නම්, පෙර කී ලෙස ජීවිතය අඳුරට, පීඩාවට ඇද දමන තත්ත්වයෙන් බේරී සිටින්නට නොහැකි ය. එහෙයින් තමන්ගේ සිත දෙස අවදියෙන් සිටින්නට හැම මොහොතක ම උත්සාහ කළ යුතු ය. එකල්හි මේ සිතිවිලි මට හානියක් ම කරන්නේ ය. ඒවා ක්‍රියාත්මක කළේ නම් මගේ වචනය අයහපත් වන්නේ ය. ක්‍රියාව අයහපත් වන්නේ යැයි අවදියෙන් සිට අපවිත්‍ර සිතිවිලි පාලනය කර ගත හැකි ය.

මව්පියන් තරම් තම දරුවන්ගේ යහපත, දියුණුව ප්‍රාර්ථනා කරන කෙනෙක් සොයා ගැන්ම අසීරු ය. ඇත්තේ ම නැති තරම් ය. දරුවන් දුකක, කරදරයක වැටෙනවා දකින්නට, සමාජයෙන් අපහාස විඳින, දඬුවම් ලබන, චර්යාවන් දකින්නට කිසිදු මවක්, පියෙක් කැමැති නොවේ. දරුවන් කෙරෙහි වන මවුපිය ස්නේහය ඒ සා බලවත් ය. එහෙත් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත වන්නේ අපගේ මවුපියන් කරන යහපතට වඩා යහපතක්, නිවැරැදි ව පිහිටුවා ගත්, යහපතට පුරුදු කළ අපගේ සිත විසින් සිදු කරනු ලබන බව ය.

සතුරන් නැතිකම ජීවිතයට භාග්‍යයකි. ඒ සතුරා සැම විටම තමන්ගේ ප්‍රතිවාදියාගේ විනාශය ම, අයහපත ම බලාපොරොත්තු වන බැවිනි. ඒ තැනට වැඩ සලසන බැවිනි. අන්‍යයන් ද තම ප්‍රතිවාදියා කෙරෙහි බිඳවන බැවිනි. එහෙයින් සතුරකුගේ බලපෑම ජීවිතයට අනර්ථයකි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන්ගේ නොමඟට ගිය සිත, ක්ලේශ මූලයන්ගෙන් අපිරිසුදු වූ සිත සතුරකුටත් වඩා අයහපතක් සිදු කරන බව ය. සිත ඒ සා බලවත් ය. ඒ සතුරා සිටින්නේ තමන් ළඟම ය. එනිසා අලෝභ, අද්වේශ, අමෝහ කුසල මූලයන් සිතෙහි ප්‍රබලත්වයට පත් කර ගන්නට වීර්යය ඉපදවිය යුතු ය.

එහි දී, එම කුසල් සිතිවිලිවලට බාධා කරන නීවරණ හඳුනා ගැනීම අත්‍යවශ්‍යය.කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, සහ විචිකිච්ඡාව එම නීවරණයන් ය.

සම්බුද්ධ දේශනාව නම් මේ නීවරණ යටපත් වන තරමට සිත සංවර වන බව ය. එමෙන් ම සිත සංවර වන තරමට නීවරණ යටපත් වන බව ය. එහෙයින් මේ සිතිවිලි හඳුනාගන්නට ගන්නා උත්සාහ බෞද්ධයාගේ පරම අභිලාශය වන නිවන් මඟ සාක්ෂාත් කර ගන්නට මහෝපකාරී වන්නේ ය.

කාමච්ඡන්දය නම් කාම වස්තු කෙරෙහි සිතෙහි වන බලවත් ආශාව ය. වර්ණයක් එක් කළ ජලය තුළ කිසිවක් නොපෙනෙන්නා සේ එවැනි සිතක මතක ශක්තිය නැත.

ව්‍යාපාදය සිතෙහි පවත්නා තරහ ස්වභාවයයි. උතුරන, බුබුළු නැඟෙන ජල බඳුනක යමක් දැකිය නොහැකි සේ තරහ බලවත් වූ සිත ඇති පුද්ගලයාට මතක ශක්තිය නොවේ.

ථීනමිද්ධ නම් නිදිමත ස්වභාවයයි. උදාසීනකමයි. එවැනි කෙනකුගේ මතකය දුර්වල ය. උද්ධච්චකුක්කුච්ච නම් සිතේ නොසන්සුන් බවයි. විචිකිච්ඡාව නම් විවිධ කරුණු පිළිබඳ වන සැකයයි. මෙවැනි අවස්ථාවන් ද මතකය අහිමි කරයි. මේ නිවන අවුරණ ධර්මයයි.

මේ සිතිවිලි හඳුනාගෙන සැම මොහොතක ම සිත යහපතෙහි යෙදවීමට උත්සාහ ගන්නේ නම්, එය දුර්ලභ ව ලද මිනිස් ජීවිතය ඉහළින් ඔසවා තැබීමකි. පරලොව ගමනට ද යහපත සලසන්නකි.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]