[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 49 කොටස: භාවනා පුහුණුවේ අවසාන ඉලක්කය

සුවපත් මනසක් සුවබර දිවියක් - 49 කොටස:

භාවනා පුහුණුවේ අවසාන ඉලක්කය

සතර බඹ විහරණ තේරුම් ගත හැකි එක් ක්‍රමයක් නම් මව්පියන්ගේ ජීවිතවල එක් එක් අවධිය සලකා බැලීම යි.

තමා දරුවකු බිහිකරන්නට යන බව දැන ගන්නා තරුණ මවකගේ සිත, ලැබෙන්නට යන දරුවා කෙරෙහි අසීමිත ආදරයකින් පිරී ඉතිරී යයි. තම ගැබෙහි සිටින දරුවා ආරක්ෂා කර ගැනීමට ඈ සියලු උත්සාහයන් දරයි. දරුවා හොඳීන් නිරෝගී ව වැඩෙනු සහතික කර ගැනීමට වෙහෙසෙයි. ඇයගේ සිත සුබවාදී සහ දයාභරිත සිතිවිලිවලින් පිරී පවතී.

නවක මවකගේ සිතේ තම දරුවා කෙරෙහි ඇති වන දයාභරිත හැඟීම් ද සීමා රහිත ය. මෛත්‍රිය මෙන් ම එම සිතිවිලි ලබන්නාගේ ක්‍රියා හා හැසිරීම් මත තීරණය නොවේ. කුඩා දරුවා වැඩෙමින් තමා අවට ලෝකය පිරික්සා බලන විට මව්පියන් තුළ කරුණාව වැඩේ. දරුවා දණහිස සූරාගෙන, වැටී, ඔළුව හප්පාගෙන තුවාලයක් සිදු කර ගන්නා සෑම මොහොතක ම මව්පියන්ට දරුවාගේ වේදනාව තමන්ට වූ වේදනාවක් සේ දැනේ. මේ හැඟීම අනුකම්පාව නොවේ. අනුකම්පාව අප හා අන්‍යයන් අතර පරතරයක් ඇති කරයි. කරුණාව, තැනට සුදුසු පරිදි ක්‍රියා කිරීමට අප යොමු කරවයි. තැනට සුදුසු, කාරුණික ක්‍රියාව යනු දරුවාගේ වේදනාව නැවතී, ඔහු පීඩා නො විඳීවා යන පිරිසිදු, හෘදයංගම අපේක්ෂාව යි.

කාලය ගෙවීයත් ම, දරුවා පාසල් ගමන ආරම්භ කරයි. නව යෞවනයා මිතුරන් ඇති කර ගන්නා සැටි, පාඩම් කටයුතු, ක්‍රීඩා හා අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් හොඳීන් කරන සැටි මව්පියෝ බලා සිටිති. දරුවා ඇතැම් විට අක්ෂර වින්‍යාස තරගයක් ජය ගැනීම, බේස් බෝල් කණ්ඩායමට තේරීම, පන්ති නායකයා ලෙස පත්වීම වැනි ජයග්‍රහණයක් ලැබිය හැකි ය. මේ දෙස බලන මව්පියෝ දරුවා ගැන සතුටු වෙති. මේ මුදිතාවයි. අපගේ දරුවා කෙරෙහි ඇති කර ගන්නා හැඟීම ම අනික් දරුවන් කෙරෙහි ද අපට ඇති කර ගත හැකි ය.

අවුරුදු ගණනකට පසුව දරුවා ක්‍රමයෙන් වැඩී ඉගෙනීම් කටයුතු අවසන් කර ස්වාධීන ජීවිතයක් අරඹයි. ඇතැම් විට ඔහු විවාහ වී පවුල් ජීවිතයකට මුල පුරයි. මේ අවධිය මව්පියන්ට දරුවා කෙරෙහි උපේක්ෂාව වැඩීමේ කාලය වෙයි. ඔවුන් තුළ දරුවා කෙරෙහි ඇති වන හැඟීම පැහැදිලිව ම උදාසීනත්වය නොවේ. එය තමන් විසින් ඔහු වෙනුවෙන් කරන ලද හා කළ හැකි ව තිබූ දේ පිළිබඳ තෘප්තිමත් බවේ හැඟීමකි. ඔවුහු තමන්ගේ අඩුපාඩු තේරුම් ගනිති. දරුවා කෙරෙහි සැලකිල්ල හා ගෞරවය නොකඩවා පවත්වා ගන්නා නමුත්, ඔහුගේ ජීවිතයෙහි වැදගත් තීරණ තමන් විසින් මෙහෙයවීමට උත්සාහ නොකරයි. එහි වගකීම තමන්ගේ නොවේ ය යන දැනුමෙන් යුතු ව ඔවුහු ජීවත් වෙති. මෙය උපේක්ෂාව පුරුදු කිරීමයි. අපගේ භාවනා පුහුණුවේ අවසාන ඉලක්කය, මෛත්‍රි, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන මේ සතර බඹ විහරණ දියුණු කර ගැනීමයි.

“මෙත්තා” යන පාලි වචනය “මිත්ත” යන පාලි වචනයෙන් බිඳී ආවකි. එහි තේරුම මිතුරා හෙවත් යහළුවා යන්නයි. මෛත්‍රිය යන්නට “දයාභරිත මිතුරු බව“ යන නිර්වචනය “දයාභරිත කරුණාව“ යන නිර්වචනයට වඩා සුදුසු ලෙස මා සලකන්නේ එබැවිනි.

බීජය අප සියල්ලන් තුළම ඇත.

විවිධ වස්තු විවිධාකාරයට හිරු රැස් පරාවර්තනය කරයි. එසේම මෛත්‍රිය දැක්වීමට ඇති හැකියාව අතින් මිනිස්සු විවිධ ය. සමහරු ස්වභාවයෙන් ම උණුසුම් හදවත් ඇත්තෝ වෙති. තව සමහරෙක් තම හදවත විවෘත කිරීමට මැලිකමක් දක්වති. තවත් සමහරකුට මෛත්‍රිය ඇති කර ගැනීම මහත් ආයාසකර කාර්යයකි. තවත් අයෙක් එය පහසුවෙන් වඩවා ගනිති. එහෙත් මුළුමනින් ම මෛත්‍රියෙන් තොර වූ කෙනෙක් නැත. අපි සියලු දෙනාම උපතින් මෛත්‍රියේ අංකුර ගෙන ආවෝ වෙමු. මේ බව කුඩා බිලිඳකු දෙස බැලීමෙන් වටහාගත හැකි ය. ඔහු ඕනෑම මිනිස් මුහුණක් දුටු පමණින් සිනාසෙයි. කනගාටුව වන්නේ බොහෝ දෙනා මෛත්‍රි කිරීමට තමා තුළ ඇති හැකියාව නො දැනීමයි. ඇතැම් විට ජීවිත කාලයක් හෝ බොහෝ ජීවිත කාල තුළ රැස් කරන ලද අකුසල කර්ම නිසා හට ගත් වෛරය, තරහ, අමනාපය ආදිය තුළ ඔවුන්ගේ මෛත්‍රි කිරීමේ සහජ හැකියාව යටපත් වී ගොසිනි. කුමන තත්ත්වයන් යටතේ වුව ද අප සියලු දෙනාට ම හදවත දියුණු කර ගත හැකි ය. අපගේ සියලු කටයුතුවල දී මෛත්‍රියේ පුෂ්පය ඉස්මතුව පෙනෙන ආකාරයට එහි බීජය රෝපණය කර වගා කර ගත හැකි ය. බුදුරදුන් දවස අංගුලිමාල නම් එක්තරා මිනිසෙක් විය. අද භාවිත වන වචනවලින් නම් ඔහු ඉතා දරුණු ගණයේ මිනීමරුවෙක් විය. ඔහු කෙතරම් අධම වී ද යත්, තමන් මැරූ මිනිසුන්ගේ ඇඟිලි මාලයක් මෙන් සාදා කරේ පැලද ගෙන සිටියේ ය. තමාගේ දහස් වැනි ඉලක්කය ලෙස බුදුරජාණන් වහන්සේ මරා දැමීමට ඔහු සූදානම් විය. අංගුලිමාලගේ කුප්‍රකට බව හා අප්‍රසන්න පෙනුම කෙබඳු වුව ද මෛත්‍රි වැඩීමට ඔහු තුළ තිබූ සහජ වාසනා ගුණය හැඳීනගත් බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි කරුණාවෙන් ධර්මය දේශනා කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දමනය වූ අංගුලිමාල තමාගේ කඩුව බිම දමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබා ගත්තේ ය.

පසුව හෙළි වූ පරිදි මෙබඳු අපරාධ රැල්ලකට ඔහු යොමු වූයේ ගුරුවරයාගේ අණට කීකරු වීම නිසා (මෙන්ම තමාගේ අකුසල හේතු නිසා ද) වේ. අංගුලිමාල සැබැවින් ම දරුණු හෝ නරක පුද්ගලයකු නොවීය. ඔහු කරුණාවන්ත දරුවෙක් විය. ඔහුගේ හදවතෙහි මෛත්‍රිය, මුදු බව මෙන්ම කරුණාව ද විය. පැවිදි බිමට පැමිණි වහාම ඔහුගේ නියම ස්වභාවය එළිදැකීම නිසා නොබෝ කලකින් ම රහත් බවට පැමිණියේ ය.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]