[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සෑම චේතනාවක ම සැඟවුණු කර්මයක්...

සෑම චේතනාවක ම සැඟවුණු කර්මයක්...

කම්ම පටිසරණ (මම කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්) කම්ම බන්ධු (මගේ එකම ඥාතියා, මගේ එකම නෑයා, මම රැස් කරගත්ත කර්මය) කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකං වා තස්ස දායාදෝ. මම යම් යහපත් දෙයක් කළොත් ඒකෙ යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් එහි අයහපත් විපාකත් සසර ගෙනි යන්නේ මමයි. කියන කාරණය නිතර සිහි කරන්න යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

ඇතැම් විට ඔබට සිතෙනවා ඇති කර්ම ගැන අපි දන්නවා. අපි කොච්චර පොත් කියවලා තියෙනව ද? කර්මය ගැන කියලා. මේ කර්මය ගැන අවබෝධයක්, හරි වැටහීමක් නැතිකම නිසාම නියත මිථ්‍යා දෘෂ්ටියට ඔබ අසුවෙන්න පුළුවන්.

මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණු ම අකුසලයක්. ආනන්තරිය අකුසල්වලටත් වඩා භයානකම අකුසලයක්. අපි නො දැනුවත්ව ඕන තරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පින්වතුනි, බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ චේතනාව යි. චේතනා පහළ කර මේ සත්වයන් කර්ම රැස් කරනවා. කයින්, වචනයෙන් මනසේ චේතනා පහළ කිරීමෙන් කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහළ කිරීමෙන් වචන ප්‍රකාශ කරනවා වගේම හිතනවා. මෙලෙස අපි හිතන සෑම සිතිවිල්ලක් එක්කම හිතේ චේතනාවක් පහළ වෙනවා. ඉබේ කතා කරන විටත්, කරන ක්‍රියාවලත් චේතනා පහළ වෙනවා. ඔබට, මට, අපට කාටවත් මේ කර්ම රැස් නොකර සිටින්නට ක්‍රමයක් නෑ. ඔබ අහලා ඇති සමහරු කියනවා, අපි පව් කරන්නේ නෑ. ඒ නිසා අපට අමුතුවෙන් කියලා පින් කරන්න පන්සල් යන්න ඕනෙ නෑ කියලා. අපි පව් කරන්නේ, වචන පිට කරන්නේ කර්මය ගැන නොදන්නකම නිසයි. හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතන, කතා කරන, ක්‍රියා කරන සෑම විටම චේතනාවක් තියෙනවා. විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක සකස් වෙනවා. ඔබ සිත, කය, වචනයෙන් කරන්නේ අකුසල කර්ම නම්, අකුසල විපාකයක් සකස් වෙනවා. සමහර සිතිවිලිවල භයානකකම හිතාගන්න බෑ. ඒ තුªළින් දිට්ඨධම්මවේදනීය වශයෙන් මහා දරුණු විපාක ලැබුණු සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. වචනයෙන් ආනන්තරිය අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝ භේදය කරන්නේ වචනයෙන්. කල්පයක් නිරයේ උපදින කර්මයක්.

ඇතැම් වෙලාවට අපි හොඳින් පින් කරගෙන, දන් දීගෙන, සිල් රැක, භාවනා කර නිවන් මඟ යන ගමනේ පවා මේ සල්ලාලකමට, සුරාවට, සූදුවට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ කළ පින්කම්වලට බණිනවා. අනේ අපිත් ඔය පන්සල් ගානේ ගියා. ඔය පින්කම් කළා. ඕවා කරලා හරියන්නේ නැහැ. ඒක තේරුම් ගෙන තමයි අපි අයින් වුණේ ආදී වශයෙන් කළ කුසලයට තමන් ම ගරහනවා.

අපි හිතමු, ඔහොම කාලයක් ගතවෙලා තමන්ට වැරදුණා කියා තේරුණාට පසු නැවත විහාරස්ථානයට එනවා. තුනුරුවන් කමා කර ගන්නවා. වැරැදි හදාගන්න අධිෂ්ඨාන කර ගන්නවා. උපාසකයා දැන් නැවත පින් කරනවා. දන් දෙනවා, පින්කම් සංවිධාන කරනවා. ගුණ පුරනවා. පින් කරගෙන ධර්ම මාර්ගයේ ගියත් පෙර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා අපි කළ කර්මවල විපාක පින් වේවා, පව් වේවා විපාක නොවිඳ සසර යන ගමනේ ප්‍රහාණය කරන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නෙ නෑ. බුදු හාමුදුරුවෝ පෙන්වා දුන්නේ චේතනාවක් පහළ වී යම් කර්මයක් කළා ද එහි විපාක අපි කරා එනවාමයි. බුදුන් වහන්සේ වදාළේ කර්ම විපාකවලින් බේරෙන්න අහසේ හැංගෙන්න තැනක් නෑ. මුහුද මැද්දට ගොස් හැංගෙන්න තැනක් නෑ. කර්ම විපාකවලින් බේරෙන්න පර්වතයක් ඇතුළේ, ගල් ගුහාවක හැංගිලා ඉන්න තැනක් නෑ. තමන් යම් අකුසලයක් කළා ද එහි විපාක තමන්ට සසරේ ගෙන යන්න වෙනවා. ඇතැම් විපාක දිට්ඨධම්මවේදනීය යි. සමහර කර්ම ඊළඟ ජීවිතයේදීත්, එසේත් නැත්නම් නිවන් දකිනතුරුත් පස්සෙන් එනවා.

බුදු හාමුදුරුවන්ගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාවක් මේ සිදුවීම ඔස්සේම හිතන්න. කර්ම විපාක කොතරම් භයානක ද? මේ නිවන් දකින්න යන ගමනේ අපි බණ අහනවා. දන් දෙනවා. සිල් රකිනවා. ගුණ පුරනවා. හැබැයි ඔය අතරේ අකුසලයක් කළොත් ඒ අකුසලේ කොච්චර අපි පස්සේ සසරේ එනවා ද?

පින්වතුනි, මීට බොහෝ කාලෙකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන පින්වතෙක් නිවන් දකින්න සිතාගෙන සසර පුරා පින් කරගෙන, පාරමී පුරාගෙන, ගුණ පුරාගෙන එනවා. ‘අනේ මට සම්බුදු රජාණන් වහන්සේ නමක් මුණගැහිලා බුද්ධ ශාසනයක බණ අහලා නිවන් අවබෝධ කර ගන්න ලැබේවා’ කියලා පින් කරනවා. එහෙම පින් කරගෙන එන කෙනෙක් බුද්ධ ශූන්‍ය කාලයක මනුස්ස ලෝකයේ ඉපදුණා. ඔබ දන්නවා මේ සංසාරේ සෑම කාලෙම බුදුවරුන් ලෝකේ පහළ වෙන්නේ නෑ. බුද්ධ කියන වචනය කල්ප සිය ගණනකින් අහන්නත් දුර්ලභයි. බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන සසරේ යන මේ පුද්ගලයා එක ජීවිතයක මනුස්ස ලෝකේ ඉපදුණා. තරුණ යාළුවෝ සමඟ කෙළිකවටකම් කරමින් කාලය ගත කළා. දිනක් හිමාල මහ වනාන්තරයේ වැඩ සිටිය පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාත්තරය ගෙන පාර දිගේ පිණ්ඩපාතේ වඩිනවා. පාර අයිනේ සිටි තරුණ පිරිස මේ පසේ බුදුරජාණන් වහන්සේ දැක විහිළු කරන්න පටන් ගත්තා. ‘අමුතු ඇඳුමක් ඇඳලා. ඇඟ පුරාම නිකං ගෝනියක් වගේ රෙද්දක් පෙරවා ගෙන‘ ආදිය කියමින් ගරහන්න පටන් ගත්තා. පසේ බුදුරජාණන් වහන්සේ ඔවුන් ළඟින්ම පිණ්ඩපාතේ වඩිනකොට පාර හරස් කරලා අසල තිබූ, අසූචි ටිකක් පාත්තරේට දැම්මා. එහෙම කරලා හඬ නඟා හිනා වුණා. පසේ බුදුරජාණන් වහන්සේ කිසිම වෙනසක් නැතුව වැඩම කළා. මේ සසරේ පෙරුම් පුරාගෙන නිවන් අවබෝධ කරන්න පින් කරගෙන එන කෙනෙක් තමයි පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්තරේට පාරේ තිබුණු අසූචි ටිකක් දැම්මේ. ඒ මදිවට විහිළුත් කළා. කෑ ගැහුවා. නොයෙක් වචන කියලා නින්දා කළා. ඒත් උන්වහන්සේ ශාන්ත ගමනින් වැඩියා.

කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනකුට එක පොඩි මොහොතක හිත නොමඟ ගොස් ඇතිවෙන යම් කර්මයක විපාකය සමහර වෙලාවට ආත්ම සිය දහස් ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරේ දුක් විඳින්න හේතු වෙනවා. මේ රැස්කර ගත් අකුසලයෙන් එම තැනැත්තා මරණින් මත්තේ දුගතියට වැටුණා. අපායේ බොහෝ කාලයක් දුක් විඳලා බොහෝ කලකට පසු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන බබළන කාලේ අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකයට ආවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තිබෙනවා. අර අකුසලයක් ගෙවාගෙන සසරේ යන අතරේ පින බලවත් වුණා.

එක ධනවත් පවුලක ඒ මව්පියන්ට දරුවෝ හිටියේ නෑ. ඔවුන් බාරහාර වෙනවා. පින් දහම් කරනවා. වෛද්‍යවරුන් හම්බ වෙන්න යනවා. ඔහොම කාලයකට පසුව දරුවෙක් කුසේ පිහිටියා. දැන් මේ අම්මාට පුදුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක් ආවා. මගේ කුසේ දරු ගැබක් පිහිටියා කියමින් පුදුම සතුටින් ඇඳුම් මහනවා. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයෙක් සිහින මවනවා. කාලයකට පසු පිරිමි දරුවෙක් ඉපදුණා. අම්මා මේ දරුවට බොහොම ආදරෙයි. ඔහුට ජම්බුක කියා නම තැබුවා.දරුවා තුරුල් කරගෙන කිරි දෙනවා. ඒත් මේ දරුවා කිරි බොන්නේ නෑ. කටට ගන්න කිරි ටික නැවත එළියට දානවා. ගිලින්නේ නැහැ. මොන විදිහට මවු කිරි පොවන්න හැදුවත් කිරි බොන්නේ නෑ. පුංචිකමට මේ දරුවා අසූචි අතින් ගෙන කටේ ගා ගන්නවා. ඒක ගිලෙනවා. කෑම බීම පොඩි කර දරුවාගේ කටේ තියෙනවා. මේ දරුවා ඒ කැම ටික කටේ තියාගෙන ඉඳලා එළියට දානවා. අසූචි පමණක්ම කනවා. අවසානයේ මවුපියන් කල්පනා කළා, කමක් නෑ. ලොකු වෙනකොට හරි යයිනේ කියලා. දැන් මේ දරුවා අසූචි වගේ දෙයක් දුටුවොත් දණ ගාගෙන ගිහිල්ලා ඒවා රස කර කර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ යන්තම් දුගඳ ආවත් දණ ගාගෙන හෝ බඩ ගාගෙන ගිහින් ඒවා කනවා. ඇඳුම් අඳින්නේ නෑ. මොන විදිහටවත් ඇඳුමක් ඇඟට දාන්න බැහැ. ඒ පෙර ජීවිතයේ පසේ බුදුරජාණන් වහන්සේගේ සිවුරට ගරහලා කළ කර්ම විපාක නිසයි ඇඳුමක් අඳින්නේ නැත්තේ.

පාත්තරයට අසූචි බෙදපු අකුසල විපාකයටයි ආහාරයක් ලෙස අසූචි අනුභව කරන්නේ. ඇඳුම් අඳින්නේ නැති නිසා නිගණ්ඨයන් හිතුවා, අපේ ජාතියෙම කෙනෙක් ඇති කියලා. අපි හදාගන්නම් කියලා මේ දරුවා නිගණ්ඨාරාමෙන් භාර ගත්තා. අම්මයි තාත්තයි හිතුවා, අපේ අවාසනාවට ලැබුණ දරුවා දැන් නිගණ්ඨාරාමේ කියලා.

දිනක් මේ කොල්ලා අසූචි වළක බැහැගෙන අසුචි ගොඩවල් කනවා. මේික දැක්ක නිගණ්ඨයන් මේ අසූචි කන එකෙක්. මේකා අපේ ජාතියේ නෙමෙයි කියලා ගහලා පැන්නුවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගණ්ඨාරාමයෙන් පැනලා දිව්වා. දැන් මවුපියොත් නෑ. ආරාමෙත් නෑ, කිසිම රැකවරණයක් නෑ. පාරවල් දිගේ යනවා. පාර අයිනේ තිබෙන අසූචි ගොඩක වාඩිවෙලා රස කර කර ඒවා කනවා. අවසානයේ මහා කැලයක කන්දක් උඩට ගිහින් ව්‍රතයක් පුරන්න පටන් ගත්තා.

කන්දක් උඩට ගිහින් තනි කකුලෙන් හිට ගත්තා. ඒ කාලයේ ඔය එක එක දරුණු ව්‍රත සමාදන් වූ තාපසවරුන් ඉඳලා තිබෙනවා. හුළං ගුලියක් අරගෙන ගුටුස් බොනවා. කර්ම විපාක ගෙවන හැටි හරි පුදුමයි. කෙස් රැවුල් ඇදලා ගලවනවා. ඒ දුක් විඳගෙන රාත්‍රියට වියළි අසූචි හොයාගෙන යනවා. කැලේ ඇවිදලා අසූචි කනවා. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා.

ඕක තමයි ජීවිතේ. ඒ ආකාරයට කන්ද උඩ අවුරුදු පනස් පහක් ගත කළා. ඒ කාලෙදි අපේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බුදු ඇසින් බලා හිතුවා කාටද අද මම පිහිට වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දුටුවා. පෙර සසරේ බොහෝ පින් තිබෙන කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගරහා කළ අකුසල විපාකයක් මේ ගෙවන්නේ. කර්ම විපාක දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවී අවසානයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත් බව බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දුටුවා. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්තර සිවුරු ගෙන පිණ්ඩපාතේ වැඩම කරලා දානෙ වළඳා අවසන්ව දවල් කාලයේ ජම්බුක ඉන්න කන්ද මුදුනට වැඩම කළා.

උන්වහන්සේ වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් ජම්බුක හිටගෙන ඉන්නවා. අවුරුදු ගාණකින් ශරීරය පිරිසිදු කර නැහැ. ඇඟේ ඇඳුමක් නෑ. නිරුවතින් සිටින ඇඟ පුරාම දූවිලි කුණු තට්ටු පිටින්. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කොට අසා වදාළා “ජම්බුක මොකද මේ තනි කකුලෙන් සිටගෙන” කියලා. ජම්බුක කියනවා “මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ. ඒ නිසා තනි කකුලෙන් ඉන්නේ” කියලා. බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. හවස් වෙනතුරු භාවනාවෙන් වැඩ හිටියා. රාත්‍රී කාලයෙත් තථාගතයන් වහන්සේ භාවනාවේ. දැන් ජම්බුකට බඩගිනියි. කෑම මතක් වෙනවා. කරන්න දෙයක් නෑ. මම මගේ වැඩේ කර ගන්නවා කියලා හිමින් කකුල බිම තියලා ඇහෙන නෑහෙන ගානට අඩිය තබා එතැනින් පිටත්ව යන්න ගියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා.

ජම්බුක ඔබ යන තැන මම දන්නවා. ජම්බුක ඔබ බොහෝ පෙර පින් තිබෙන කෙනෙක්. ඔබ පෙර සසරේ පසේබුදු රජාණන් වහන්සේ නමකට නින්දා කර ගරහා කළ අකුසලයක් මේ ගෙවෙන්නේ. ජම්බුක ඔබේ මේ අකුසලය දැන් ගෙවී අවසානයි. ජම්බුක ඔහොම වාඩි වෙන්න’ කිව්වා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියූ ඒ වචන ටිකෙන් ජම්බුකගේ සම්පූර්ණ ජීවිතය වෙනස් වුණා. පෙර පින් මතු වුණා. එහෙමම වැඳගෙන වාඩි වුණා. ‘අනේ ස්වාමීනි, මට පිහිට වෙන්න. ඔබ වහන්සේ මට පිහිට වෙන්න” කියලා හඬා වැටුණා. නිවන් දකින්න පින පිරුවත් තමා සිදු කළ අකුසල විපාකය ගෙවලයි නිවන් දකින්න ඕනේ. යම් කර්මයක් කළොත් ඒක ගෙවන්න වෙනවාම යි. ඒ නිසා ඔබ හිතන්න එපා අපි ගොඩක් පින් කරලා තිබෙන නිසා කරන අකුසල් පිනෙන් යටපත් වෙනවා කියලා. ඔබ කරන පින්කම්වල විපාක ඔබට එනවා. ඔබ කරන අකුසල විපාකත් ඔබට ගෙන යන්න වෙනවා. මේ පින්, පව් විපාක සසරේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණෙනි, චේතනාවක් පහළ කොට යම් අකුසලයක් කළොත් ගොනා පසුපස බැඳි කරත්තේ වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහළ වී යම් පිනක් කළොත් ඒ පිනේ විපාක සෙවණැල්ල වගේ පසුපස එනවා. අපේ් සෙවණැල්ල පස්සෙන් ආව කියලා අපට කරදරයක් වදයක් දුකක් නෙමෙයි. ගොනා කරත්තේ ඇදගෙන යන්නේ සනීපෙටද? ඒක දුකක්. වෙහෙසක්. පීඩාවක්. ඒ නිසා සසරේ තමන් කළ කර්ම විපාක තමන්ටම සංසාරේ ගෙන යන්න වෙනවා.

දිනක් ජම්බුක මහරහතන් වහන්සේ වදාළා.’ මම මහා දුකක් විඳපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමු වුණා. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කළා. මට දහම් දෙසුවා. මම ඒ උතුම් ධර්මය අවබෝධ කර ගත්තා’ කියලා.

පින්වතුනි, ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්‍යාණ මිත්‍ර සේවනය, බුදුරජාණන් වහන්සේ මුණගැහීමේ වටිනාකම ලස්සනට දේශනා කළා. ලෝකේ පහළ වූ සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කර ගත්තාම සබ්බ පාපස්ස අකරණං (සියලු පාපී අකුසල්වලින් වළකින්න) කුසලස්ස උපසම්පදා (පින් කරන්න. කුසල් වඩන්න) සචිත්ත පරියෝ දපනං (තමන්ගේ හිත දමනය කරන්න) ඒ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි. ඒ නිසා අකුසල්වලින් වළකින්න. අකුසල කර්ම කරන්න එපා. පුංචි අකුසලයක පවා බිය දකින්න. කුසල් කරන්න. පුළුවන් තරම් පින් කරන්න. කය, වචනය මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන්න. අපට අග්‍ර පින් රැස් කරන්න පුළුවන්.

ඔබ නිතර බුදුගුණ හිතනවා නම්, මෛත්‍රි භාවනාව වඩනවා නම්, ධර්මයේ ගුණ සිහි කරනවා නම් ගෙදර හිටියත්, ගමනක් යන ගමන් වුණත්, නිදාගන්න ගියත් බුදුගුණ මෙනෙහි කරන්න. මෛත්‍රිය වඩන්න. හිත ධර්මයේ කුසල අරමුණක රඳවා ගන්න. අඩුම ගානෙ කළ පින්කම් සිහි කළත් ඒකත් භාවනාවක්. එවිට ඔබට ඔබේ ජීවිතය ධර්මාවබෝධය පැත්තට හරවා ගන්න පුළුවන්.

පින්වතුනි, සතර අපාය මහගෙදර කර ගත් අනතුරක දැන් මැරුණොත් නිරයට වැටෙන්න පුළුවන්. කවුරුත් නෑ. ඔබ හම්බ කළ සල්ලි, ගෙවල් දොරවල්, යානවාහන, උගත්කම, තානාන්තර උපාධි ඔය එකක්වත් ඔබට පරලොව පිහිටට පවතින්නේ නෑ. හුස්ම ටික ගියොත් තිරිසන් ලෝකයේ හෝ පෙරේත ලෝකයේ වැටෙන විදිහේ මනසක් නම් ඔබට තියෙන්නේ ඔබ ඉන්නේ අනතුරක. අන්න ඒ අනතුරින් මිදෙන්න වීරිය වඩන්න. ඒ නිසා අද දවසේ මේ බණ පරිශීලනය කර හිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න. දවසින් දවස මොහොතින් මොහොත ක්ෂණයෙන් ක්ෂණය මරණය කරා ළං වෙන මේ ජීවිතය තුළ කොහොම හරි ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. ධර්මාවබෝධය පිණිස වීරිය වඩන්න, මමත් මේ ගෞතම බුද්ධ ශාසනය අවසන් වෙන්න පෙර උතුම් ධර්මය ම අවබෝධ කරගන්න මහන්සි වෙනවා කියා සිතන්න. වීරිය ගන්න කෙනෙක් බවට පත්වෙන්න. ඔබ හැම දෙනාටම ඒ සඳහා තුනුරුවන්ගේ ආශීර්වාදය සැලසේවා කියා ආශීර්වාදකරනවා.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]