යෝනිසෝමනසිකාරයට
උපකාරි වන සති සම්බොජ්ඣංගය
සද්ධර්මාරක්ෂක ධර්මාචාර්ය
විද්‍යාවේදී (ගෞරව)
බුද්ධික ඉන්දීර ධනපාල
සතිමෙ භික්ඛවෙ බොජ්ඣංගා කතමේ සත්ත: සතිසම්බොජ්ඣංගා, ධම්මවිචය සම්බොජ්ඣංගො,
විරියසම්බොජ්ඣංගො, පීති සම්බොජ්ඣංගො, පස්සද්ධි සම්බොජ්ඣංගා, සමාධි සම්බොජ්ඣඣංගා,
උපෙක්ඛා සම්බොජ්ඣංගා ඉමේ භික්ඛවේ සත්ත බොජ්ඣංගා.” (පටිසම්භිදාමග්ගපකරණය 2,
බු.ජ.ත්‍රි.මු. 38 පිටුව)
මහණෙනි, මේ සම්බොජ්ඣංගයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක් ද යත්: සති සම්බොජ්ඣංගය,
ධම්මවිචය සම්බොජ්ඣංගය, වීරිය සම්බොජ්ඣංගය, ප්‍රීති සම්බොජ්ඣංගය, පස්සද්ධි
සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ෂා සම්බොජ්ඣංගය. මහණෙනි, මොහු සත්දෙන
බොජ්ඣංගයෝ යි.
තුන්ලෝකාග්‍ර වූ අප භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුක්ඛය, සමුදය නිරෝධය,
මග්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙස ම අවබෝධ
කිරීමට උපකාර වන සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්ට අන්තර්ගත වූ බොජ්ඣංග ධර්ම සතක් වදාළ
සේක.
“බොධියා බොධිස්ස වා අංගාති බොජ්ඣංගාති - බුජ්ඣති කිලෙස සන්තානනිද්දාය වුට්ඨහති
චත්තාරි වා අරිය සච්චානි පටිවිජ්ඣති, නිබ්බානමෙව වා සච්චිකරොතීති බොජ්ඣංගා.”
(පටිසම්භිදාමග්ගට්ඨකථා 428 පිටුවල හේ. වි. මු.)
මාර්ගඥාන යන බෝධිහුගේ අවබෝධයට හේතු වෙන නිසා ද, සත්ව සන්තානගත කෙලෙස් නින්දෙන් නැඟී
සිටින නිසා ද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිර්වාණය ම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ
කරන නිසා ද බොජ්ඣංග නම් වේ.
මෙයින් පළමු වැන්න සති සම්බොජ්ඣංගය යි. සියලු බොජ්ඣංග ධර්මයට සිහිය උපකාර වන බැවින්
එය සෑම තැනට ම අවශ්‍ය වේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සති සම්බොජ්ඣංගය පළමු කොට ම
වදාරණ ලද සේක.
සති සම්බොජ්ඣංගයට හිත වූ ධර්මයෝ ඇත. නුවණින් මෙනෙහි කිරීමක් :(යෝනිසෝමනසිකාරය*)
බහුලව කිරීමක් වේ ද, නූපන් සති සම්බොජ්ඣංගය ඉපදීමටත් උපන් සතිසම්බොජ්ඣංගයාගේ
වැඩීමටත්, පිරිමටත් මෙය හේතු වෙයි
මෙහි යෝනිසෝමනසිකාරය නම් නුවණට හුරුව කල්පනා කිරීම යි. මෙහි ද මනසිකාරය සෑම සිතක ම
යෙදෙන සර්ව චිත්තසාධාරණ චෛතසික හතෙන් සත්වැන්න යි. මෙම මනසිකාරය හඳුන්වන්නේ ආරම්මණ
පටිපාදක නමිනි. අරමුණු යොමු කරණ අර්ථයෙන් ආරම්මණ පටිපාදක වෙයි. යෝනිසෝමනසිකාරය නම්
සිත කුසල් බවට පුරුදු කර තැබීම යි. නුවණට හුරුව කල්පනා කිරීම යි. මෙනෙහි කිරීම යි.
“අපි ච චත්තාරො ධම්මා සතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති සතිසම්පජඤ්ඤං,
මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතා. උපට්ඨිත සතිපුග්ගල සෙවනතා තදධිමුත්තතාති.”
(දීඝනිකායට්ඨකථා, 567 පිටුව හේ.වි.මු.)
තවද ධර්ම සතරක් සති සම්බොජ්ඣංගයාගේ ඉපදීමට හේතු වෙති. යහපත් නුවණ සහිත සිහිය, මුළා
සිහි ඇති පුද්ගලයන් වර්ජනය කිරීම. එලඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සේවනය කිරීම. සති
සම්බොජ්ඣංගයට නැමුණු, හැරුණු, බරවුණු සිත් ඇති බව යන මෙම කරුණු සතර ඉතා වැදගත් වේ.
(1) සතිසම්පජඤ්ඤං (සතිසම්පජඤ්ඤය)
යහපත් නුවණ සහගත සිහිය ඇතිවිය යුත්තේ කොතැන්හි ද යැයි බුදුරජාණන් වහන්සේ මහා
සතිපට්ඨාන සූත්‍රයේ වදාළ සේක.
අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරීහොති
යෝගාවචර පුද්ගල තෙම තමා හෝ, අන් කෙනකු හෝ ඉදිරියට යෑමෙහි ද ආපසු ඒමෙහි ද ප්‍රඥාවෙන්
දැන එනම් සත්ව පුද්ගල නොවූ නමුත් කාය සම්මත වූ ඇට සැකිල්ලක් ඉදිරියට යාම් ඒම් ආදී
ක්‍රියා කරන්නේ යැයි සලකා දැනගෙන කරන්නේ ය.
ආලොකිතෙ විලොකිතේ සම්පජානකාරී හොති
ඉදිරිය බලන කල්හි ද, අනුදිසාවන් බලන කල්හි ද නුවණින් දැන දැන කරන්නේ ය.
හැකිලූ අත් පා දිග හැරීමේදීත්, දිග හැරූ අත් පා හැකිලිමේදීත් නුවණින් දැන දැක
කරන්නේ ය. මෙහිලා
අටුවාවෙහි එන මහා ස්ථවිර කතා වස්තුව දත යුතුයි.
එක්තරා මහා ස්ථවිර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක් දිනක් දහවල් කාලයේ අතවැසි ස්වාමින්
වහන්සේ හා පිළිසඳර කථාවක යෙදී සිටින කල්හි තමන් වහන්සේගේ දිග හැරී තිබුන අත වහාම
හකුළාගෙන නැවත පළමු තිබුණ පරිදිම තබා සෙමින් හකුලා ගත්හ. එය දුටු අනෙක් ස්වාමීන්
වහන්සේ ස්වාමීන් වහන්ස! එක් වරක් ඉක්මනින් අත හකුළාගෙන නැවත පළමු තිබූ පරිදිම තබා
ආපසු සෙමින් හකුලා ගත්හ. එසේ කළේ මන්දැයි විචාළාහු ය. එවිට මහා ස්ථවිර ස්වාමීන්
වහන්සේ
“ඇවැත්නි, මම යම් දිනක කමටහන වඩන්න පටන්ගත්තේ නම්, එදවස් පටන් මේ දක්වා කිසි කලෙක
මම කර්මස්ථානයෙන් තොරව මෙනෙහි නො කළෙමි. නමුත් අද නුඹ වහන්සේ හා පිළිසඳර කථා කරමින්
සිටිය දී සිහිමුළාවීම නිසා කමටහනින් තොරවම අත හකුළා ගතිමි. නැවත මතක් වී සිහි
නුවණින් යුක්තව ම ආපසු නැවත තිබූ පරිදිම තබා හකුළා ගතිමි” යි කීහ. “සාධු! සාධු!
ස්වාමීනි, භික්ෂුන් වහන්සේ පිළිපැදිය යුත්තේ ඒ ආකාරයෙන් ම ය” යි මහා ස්ථවිරතුමන්ට
ප්‍රශංසා කළහ.
සංඝාටි පත්තචීවරධාරණෙ සම්පජානකාරි හොති.
දෙපට චීවරය, තනිපට චීවරය, අඳනය ඇඳීමේ දී, පෙරවීමේ දී, දැරීමේ දී හා පාත්‍රය දැරීමේ
දී ද දැන දැන කරන්නේ ය.
බත් ආදී භෝජන වැළඳීමේ දී ද කැඳ ආදිය පානය කිරීමේදී ද, කැවුම් ආදිය විකා කෑමේ දී ද
පැණි ආදියෙහි රස විඳීමේදී ද දැන දැන ම කරන්නේ ය.
උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරි හොති
මළ මුත්‍ර පහ කිරීමේ දී දැන දැන ම කරන්නේ ය.
ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
යෑමෙහි ද, සිටීමෙහි ද, ඉඳීමෙහි ද, හොවීමෙහි ද, නොනිදා සිටීමෙහි ද, වචන කීමෙහි ද,
වචන නොකියා නිසොල්මන්ව සිටීමෙහි ද නුවණින් දැන දැන කරන්නේ ය.
මෙසේ ඒ ඒ කටයුතුවල දී නුවණින් සලකා දැන දැනම කිරීම සති සම්පජඤ්ඤ නම් වේ.
(2) මුට්ඨස්සති පුග්ගල පරිවජ්ජනතා
සිහි ඇති පුද්ගලයන් හාත්පසින් දුරුකොට වාසය කිරීම යි. සිහි මුළා වූ පුද්ගලයා බත්
සඟවන කපුටා මෙනි. කපුටාට බත් ගොඩක් හමු වූ විට එයින් කටක් පුරවා එය රුක් සිදුරු
අතුපතර ආදියෙහි සඟවා තබයි. එසේ සඟවා තැබූ ආහාර නැවත සොයාගෙන කෑමට අමතක වීමෙන් ඒ ඒ
තැනම කුණු වී යයි. එවැන්නවුන් ඇසුරු කිරීමෙන් තමනුත් සිහිය නැත්තකු විය හැකි බැවින්
සිහි මුළා වූ පුද්ගලයා දුරු කළ යුතු ම ය.
(3) උපට්ඨිත සතිපුග්ගල සෙවනතා
මහා ගතිම්බ අභය ස්ථවිර, දීඝභානක අභය ස්ථවිර, ත්‍රිපිටක චුලාභය ස්ථවිර ආදී ස්වාමීන්
වහන්සේ මෙන් සතිපට්ඨාන භාවනාවේ යෙදෙමින් නිතර යහපත් සිහියෙන් යුක්ත වූ කල්‍යාණ
මිත්‍රයන් වහන්සේ ඇසුරු කිරීම.
මහාගතිම්බ අභය ස්වාමීන් වහන්සේ උප්පත්තියෙන් පස්වැනි දිනයෙහි පැවති මංගල භෝජනය සඳහා
පිළියෙළ කරන ලද කිරිබත් කෑමට සැඟවී බලා සිටි කපුටෙක් සේවකාදීන්ගේ ප්‍රමාදයක් දැක
කිරිබත් බඳුන මත වැසූයෙන් එය දුටු අභය ස්වාමීන් වහන්සේ කුඩා කල සු සූ යන අනුකරණයෙන්
හඬ නැඟූහ.
එතැන් සිට මහා ගතිම්බ අභය ස්වාමීන් වහන්සේට කළ කී දේ සිහි කළ හැකි විය.
තවද දීඝභානක අභය ස්වාමීන් වහන්සේට උප්පත්තියෙන් නව වන දවසේ පටන් සිහිකළ හැකි විය.
මෙතුමා ඉපිද නව වැනි දින සුවඳ පැනින් නහවා යහනෙහි සතප්පවා තිබුණි, යහන ළඟට පැමිණි
මව්තුමිය කුඩා දරුවා සිප ගැනීමට නැමුණු කළ හිස පැළඳී දෑසමන් මල් කළඹ දීඝභානක අභය
ස්වාමීන් වහන්සේ ගේ පපුව මත පතිත වීමෙන් වේදනා ඇති විය. එතැන් සිට ස්වාමීන් වහන්සේට
කළ කී දෙය සිහි කිරීමට පුළුවන් විය.
ත්‍රිපිටක චූලාභය ස්වාමීන් වහන්සේ, දොරටු සතරක් ඇති අනුරාධපුරයෙහි දොරටු තුනක් වසා
එක් දොරටුවකින් ම උදෑසන කාලයෙහි මහජනයා ඇතුල් කරවා නුඹ කුමන නම් ඇත්තෙක් ද, නුඹ
කුමන නම් ඇත්තෙක්දැ‘යි නම් විචාරා දැන, සවස් කාලයෙහි ඒ සා මහා ජනකාය පෙර පරිදි එක
දොරටුවකින් බැහැර යන කල, මේ අසවල් නම් ඇත්තා, මේ අසවල් නම් නම් ඇත්තා ‘ යි නො වරදවා
ඔවුනොවුන්ගේ නම් කියන්නට සමර්ථ වී සිටියහ.
(4) තද්ධිමුත්තතා -
ඉඳීම් සිටීම් ආදී හැම ඉරියව්වක දී ම සිහිය උපදවා ගන්නෙමි ‘ යි සිතමින් එයට නැඹුරු
වු ද බරවු ද සිත් ඇති බවයි.
මෙසේ සති සම්බොජ්ඣංගයාගේ උත්පාදයට හේතු වූ, උපකාර වූ කරුණු සතර දැනගත යුතුයි.
සති සම්බොජ්ඣංගය මුල් කොට සෙසු බොජ්ඣංග ධර්මයන් ද උපදවා එහි පිහිටා අර්හත්වයට
පැමිණිය යුත්තේ ය. එබැවින් මෙම සති සම්බොජ්ඣංගය ඇතුළු සෙසු බෝධිපාක්ෂික ධර්මයන්
මෙලොව දියුණුවත්, පරලොව සුගතියත් අවසන් වශයෙන් ලැබිය යුතු අමෘත මහා නිර්වාණය
සාක්ෂාත් කිරීම පිණිසත් සමථ - විදර්ශනා භාවනා වශයෙන් වැඩිය යුතු බව කරුණාවෙන් දන්වා
සිටිමි. |