[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක පෝ දා 2026-03-18

සතුට රැ‍ෙඳන මඟ

පුරවා තැබූ කළයකින් බිඳෙන් බිඳ වුව ජලය පරිහරණයට ගත්තේ නම් ටිකෙන් ටික එහි ජලය හිස්ව යන්නේ ය. නැවත එහි ජලය රැස් නොකළේ නම් යළි යළිත් පරිහරණයට ගන්නට ජලය නොවන්නේ ය.

හිස් කළයකට බිඳෙන් බිඳ වුව ජලය පුරවන්නේ නම් එය ක්‍රම ක්‍රමයෙන් පිරී ඉතිරී යන්නේ ය. පරිහරණය කරන්නට කරන්නට එහි ජලය අවසන් නොවන්නේ ය. එවිට ඉදිරිය ගැන බියක්, අවිනිශ්චිත බවක් නොවන්නේ ය. අප ජීවිතයට රැස්කර ගන්නා පින් ද එලෙස ය.

පෙර කළ පින් මහිමයෙන් අපි සුගතියේ, මනුලොව උපත ලැබීමු. සත්වයන් අතර උසස්ම මනසක් හිමි සත්වයන් බවට පත්වීමු. ඒ ද, උතුම් සම්බුදු දහම ජීවමාන කාලයක ය. සදහම් ශ්‍රවණය කරන්නට, දැන ඉගෙන ගන්නට හැකි දේශයක ය. පෙර කළ පින් බලයෙන් අපි යහපත් ජීවිතයක් ලැබුවෙමු. කුසගින්නේ නොසිට ආහාරපාන ලබන්නෙමු. කලට වේලාවට වෙද හෙදකම් ලබමු. උත්සාහය, වීර්යය තුළ ඒ යහපත තව තවත් උපදවා ගනිමු. සරලව කියනවා නම් අප පෙර කළ පින් ටිකෙන් ටික වියදම් කරමු. එය නැවත උපයා ගැනීමට ද වීර්යය වැඩිය යුතු ය. ඒ හෙට දවසටය. සසර ගමනට ය.

සම්බුදු මඟ යන අප උතුම් නිර්වාණය අවබෝධ කර ගන්නා තාක් සුගතියක උපත ලබන පින් සම්පාදනය කර ගත යුතු ය. නැතහොත් පිරවූ කළයකින් ටිකෙන් ටික ජලය පරිහරණය කිරීමේ දී එය හිස්ව යන්නා සේ අප සසර මඟ රැස්කළ පින් ටිකෙන් ටික ක්ෂය වී යයි. බිඳෙන් බිඳ ජලය දමා කළය පුරවන්නා සේ පින් රැස් කර ගන්නට ගෙවෙන හැම මොහොතක ම උත්සාහ කළ යුතු ය. එයට හෙට දවස උදාවන තුරු, එසේත් නැතිනම් මිල මුදල් හම්බ කරන තුරු, දරු මල්ලන්ගෙන් නිදහස් වන තුරු බලා සිටීම අවශ්‍ය නොවේ. විශේෂයෙන් යහපත් සිතිවිල්ලකින් වුව ජීවිතයට රැස්වන පුණ්‍ය මහිමය ප්‍රමාණ කළ නොහැකි ය. උදාහරණ ලෙස ලෝකයට මෛත්‍රිය වඩන්නට කාලයක් වේලාවක් ඇවැසි නැත. ලෝභය, ද්වේෂය, මෝහය දුරු කරන තැනට සිත වර්ධනය කර ගන්නට මිල මුදල් කුමටද? අවශ්‍ය ඒ වෙනුවෙන් ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම ය. එසේ රැස්කරන පින මෙලොවට සේ ම පරලොවට ද උපයන වියදම් ය.

බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්ම පදයේ යමක වග්ගයේ දී අනේපිඬු සිටුතුමාගේ දියණියක වූ සුමනා දේවිය අරභයා දේශනා කොට වදාළ අපූර්ව ගාථා ධර්මයකි මේ.

‘ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤො උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති
හීය්‍යො නන්දති සුග්ගතිං ගතො’

පින් කළ පුද්ගලයා මේ ජීවිතයේ දී සතුටු වෙයි. මිය පරලොව ගියේ, එහි ද සතුටු වෙයි. මා විසින් පින් කරන ලදැයි සතුටු වෙයි. සුගතියට ගොස් බෙහෙවින් සතුටු වෙයි.

ඒ සතුට අනුන්ගෙන් ලද හැක්කක් නොවේ. තමන්ගේ මවුපියන්ට වුව තමන් වෙනුවෙන් කළ හැකි දෙයක් නොවේ. තමන් වෙනුවෙන් පින් රැස් කළ යුතු තමන් ම ය. එය බෞද්ධයාට අරුමයක් නොවේ. අවැසි ඒ උදෙසා අධිෂ්ඨානය සහ වීර්යයයි. එය දෙලොව සතුට පිණිසයි.

මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]