සුවපත් මනසක් සුවබර දිවියක් - 46 කොටස: ජීවිතය හා මරණය හමුවේ අනාරක්ෂිත බව වටහා ගන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 46 කොටස:

ජීවිතය හා මරණය හමුවේ අනාරක්ෂිත බව වටහා ගන්න

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

ඔබ කුමක් කරනවාද කියා එය කරන මොහොතේ දී ම ඔබ දැක ගනියි. යථාර්ථය මඟහැරී යන්නේ කෙසේ ද යන්න කෙරෙහි වඩාත් සංවේදී වන ඔබ, පවතින දෙයට යමක් එකතු නොකරන හෝ එයින් යමක් අඩු නොකරන සරල අවබෝධයක් වෙතට ආකර්ෂණය වෙනු ඇත. ඔබ ප්‍රත්‍යක්ෂ ඥානය හා සබැඳී පුද්ගලයකු බවට පත්වෙනු ඇත.

මෙම වාසිදායක තත්වයේ දී සියල්ලක්ම ඉතාමත් පැහැදිලි බවකින් දකිනු ඇත. ගණනය කළ නොහැකි මානසික හා ශාරීරික ක්‍රියාවන් විස්තර සහිත ව කැපී පෙනෙනු ඇත. සිහියෙන් යුතු ව, ඔබ නිරන්තරයෙන් හුස්ම ඉහළ හා පහළ යෑම නිරීක්ෂණය කරයි. නො නවතින ශාරීරික සංවේදනා හා චලන ප්‍රවාහය ඔබ දකියි. ශීඝ්‍රයෙන් එන සිතිවිලි හා හැඟීම් අනුක්‍රමය ඔබ පරික්ෂා කරයි. නොසැලී කාලය ගමන් කිරීමේ දී නැඟෙන දෝංකාරයේ රිද්මය ඔබට දැනෙයි. මෙම නො නවතින චලනයන් මැද බලා සිටින්නකු නැත. ඇත්තේ බැලීම පමණකි.

මෙම අවබෝධිත තත්ත්වයේ දී, අනුක්‍රමික මොහොතවල් දෙකක් තුළ කිසිවක් එක ලෙස නොසිටියි. සෑම දෙයක් ම නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතියි. සියලු දේ ඉපදී, වැඩී. මරණයට පත් වෙයි. එයින් පිටස්තර කිසිවක් නොමැත. ඔබගේ ජීවිතයේ සිදුවන නො නවතින වෙනස්වීම්වලට ඔබ අවදිවෙයි. වටපිට බලන ඔබට සෑම දෙයක් ම, කිසිදු ඉතිරියක් නැතිව සෑම දෙයක් ම ගලායන ප්‍රවාහයක් බව පෙනෙයි. ඒ සෑම දෙයක් ම ඉහළ යමින් හා පහළ බසිමින්, වැඩිවෙමින් හා අඩු වෙමින්, ජීවය ලබමින් හා මරණයට පත් වෙමින් තිබේ. සෑම ජීවයක් ම, ක්ෂුද්‍ර ජීවිය සිට පැසිෆික් සාගරය දක්වා සියල්ල නිරතුරුව ම චලනය වෙමින් පවතියි. ගලායන මහා අත්දැකීම් ගංගාවක් සේ ඔබ විශ්වය දකිනු ඇත. ඔබ මහත් ආශාවෙන් රැකබලාගත් වස්තුව ගිලිහී යයි. ඔබගේ ජීවිතය ද එසේම ය. මෙම අස්ථිර බව කනගාටුවට හේතුවක් නොවේ. ඔබ ගල්ගැසුනාක් මෙන් මේ අනවරත ක්‍රියාවලිය දෙස විශ්මයෙන් බලා සිටියි. ඒ සෑම දෙයක් ම චලනය වෙමින්, නටමින් ජීවයෙන් පිරී පවතියි.

මෙසේ අඛණ්ඩ වෙනස්වීම් දෙස බලා සිටින ඔබ සියල්ල එකට ගැලපෙන අන්දම දකියි. සියලුම මානසික, ඓන්ද්‍රීය හා චිත්තවේගී සංසිද්ධීන්වල අන්තර් සම්බන්ධතා පිළිබඳ අවබෝධයක් ලබා ගනියි. එක සිතිවිල්ලක් තවත් සිතිවිල්ලකට පාර කපන අන්දම, බිඳීයාම ආවේගී ප්‍රතිචාර ඇති කිරීම හා හැඟීම් තවත් සිතිවිලිවලට මඟ සලසන අයුරු ඔබ දකියි. ක්‍රියාවන්, සිතිවිලි, හැඟීම් හා ආශාවන් සමීපව හේතුඵල වියමනේ එකට ගෙතී ඇති අයුරු ඔබට පෙනෙයි. වින්දනාත්මක අත්දැකීම් ද රැඳී නො සිට, ඇතිවී නැති වී යන අන්දම ඔබ දකී. ආරාධනාවකින් තොරව පැමිණෙන වේදනාව ඉවතට විසිකිරීම සඳහා ඔබ දරන ප්‍රයත්නය ඔබ දකියි. ඔබගේ අසාර්ථකත්වය ඔබ දකියි. ඔබ ඒ සියල්ල සිදුවන ආකාරය බලා සිටින අතර මේ සියලු දෙය නැවත නැවතත් සිදුවෙයි.

මෙම සජීවී විද්‍යාගාරය තුළින් ගැඹුරු හා බිඳහෙළිය නොහැකි නිගමනයක් මතුවෙයි. ඔබගේ ජීවිතය බලාපොරොත්තු සුන්වීම් හා ඉච්ඡාභංගත්වයෙන් සලකුණු වී ඇති බවත්, ඒවායේ මූලාශ්‍රයනුත් ඔබ පැහැදිලිව දකියි. මෙම ප්‍රතික්‍රියා පැන නඟින්නේ අවශ්‍ය දේ ලබා ගැනීමට ඔබගේ නොහැකියාව, ඔබ සතු දේ ගිලිහී යාමේ බිය හා තිබෙන දෙයින් කිසි දිනෙක තෘප්තියට පත් වීමට නොහැකිවීම වැනි පුරුදුවලින් බව ඔබ දකියි. මේවා තවදුරටත් න්‍යායාත්මක සංකල්ප පමණක් නොවේ. ඔබ විසින් ම දැකගත් මේවා සත්‍ය බව ඔබ දනියි. ඔබගේ බිය, ජීවිතය හා මරණය හමුවේ ඔබගේ අනාරක්ෂිත බව ඔබ වටහා ගනියි. ජීවත්වීම වෙහෙසකාරී ප්‍රයත්නයක් බවට පත් කරන එය සිතිවිල්ලෙන් මුලටම යන ප්‍රබල ආතතියකි.

අන්ධකාරයේ අතපත ගාමින්, බියෙන් සැලෙමින්, ස්ථිරසාර නොසැලෙන බිමක් අල්ලා ගැනීමට දරන උත්සාහය ඔබ දකියි. ඔබ අස්වැසිල්ලක් නැතිව කුමක් හෝ අල්ලා ගැනීමට නොනැවතී දරන ප්‍රයත්නයත් සියල්ල වෙනස් වෙමින් යන එහි අල්ලා ගැනීමට ස්ථිර වූ කිසිදෙයක් නැති බවත් ඔබ දකිනු ඇත.

මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]