වචනය සහ කය සංවරව සීලානුස්සති භාවනාව වඩමු

වචනය සහ කය සංවරව සීලානුස්සති භාවනාව වඩමු

සීලානුස්සති භාවනාව කියන්නේ තමන්ගේ වචනයත්, කයත් සංවර කර ගැනීම තුළ තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමයි.

තමන් අත්විඳින සැනසිල්ල සිහිකිරීමේ දී තමන්ගේ වචනයෙන් සිදුවන අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෑ. තමන්ගේ කයින් සිදුවූ අඩුපාඩු හඳුනාගෙන එයින් අත්මිදෙන්නට ඕනෙ. ඒ වගේම තමන් කය හසුරුවන ආකාරය ගැන සිහියෙන් ඉන්නටත් ඕනේ. උදෑසන ම අවදිව අධිෂ්ඨාන කරන්නට ඕනෙ මම, මගේ ශරීරය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නේ නෑ. මම, මගේ වචනය මුල් කරගෙන වරදක් වෙන්න දෙන්නේ නෑ කියලා.

තමන්ගේ කයත්, වචනයත් පිළිබඳ ව ශාන්ත බවත්, සංවර බවත් ඇති කර ගැනීම පිණිස වෙහෙස මහන්සි වෙන විට තමන් නොදැනීම උදාර ගුණාංගවලට තමන් හිමිකාරයෙක් බවට පත් වෙනවා. ඒ තුළින් තමන්ට පුළුවන් වෙනවා සියලු දෙනා කෙරෙහි තමන් ගැන විශ්වාසනීයත්වයක් ගොඩනඟන්න.

මේ විදිහට තමන්ගේ කයයි, වචනයයි සංවර කරගෙන තමන්ගේ සීලමය ගුණය දියුණු කරන්නට ඕනෙ. සවස් කාලය වෙද්දී ඔබට සතුටු වෙන්න පුළුවන් මගේ ජිවිතය අද බොහොම යහපත් විදිහට ගත කෙරුණා. මම අද මගේ කය මුල්කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් කළේ නෑ. මම සොරකමක් කළේ නෑ. මම වැරැදි ජීවිතයක් ගෙව්වේ නෑ. මම යහපත් ජීවිතයක් ගෙව්වා. මම අද මත්පැන් පානයට යොමු වුණේ නෑ. මම අද ගත කරපු ජීවිතය තුළ කිසි කෙනෙක්ව බොරුවෙන් රැවැට්ටුවේ නෑ. කේළමක් කිව්වෙ නෑ. ඵරුෂ වචනයක් කිව්වෙ නෑ. හිස් වචන කියමින් කාලය කා දැම්මෙ නෑ.

මේ විදිහට තමන්ගේ සීලය ගැන සිහිකිරීමේ දී, පිරිසුදු වස්ත්‍රයක් දෙස බැලීමේ දී ඒ පිරිසුදු වස්ත්‍රයේ අඩුපාඩු ටික හොඳින් පේනවා වගේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ සීලයේ අඩුපාඩු පැත්ත පේන්න පටන් ගන්නවා. එලෙස තමන්ගේ සිල්වත් බව භාවනාවක් හැටියට දියුණු කරගන්නවා.

මේ සීලානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නිරතුරුවම සිදුකරන භාවනාවකි. සීලානුස්සති භාවනාව සිහි කරන්න සිහිකරන්න, තමාගේ සිත ශාන්ත වෙනවා. හිතේ තිබෙන පසුතැවිල්ල නැතිව යනවා. විපිළිසරබව නැතිව යනවා. කලබලකාරී බව නැතිව යනවා. මේ සංසිඳීමත් එක්ක සිත සමාධිගත වෙනවා.

එහෙමනම් ඔබට සීලානුස්සති භාවනාව තුළ බොහොම පහසුවෙන් සමාධියක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තම තමන්ගේ ගුණාත්මක ජීවිතය යළි යළි සිහිකරන්න පුළුවන්කම කෙනකුට ලැබෙන උතුම්ම ලාභයක්. ඔබ තුළ ඇති උතුම් ගුණාංග නිරන්තරයෙන්ම මනසිකාරයේ යෙදෙමින් භාවනාමය වශයෙන් දියුණුවක් කරා යන්න පුළුවන් වෙනවා.

සීලානුස්සතිය

මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිල්වත් වන සේක. බුදුරජාණන් වහන්සේ කය සංවර කළ සේක. වචනය සංවර කළ සේක. පිරිසුදු ජීවිතයක් ගත කළ සේක. කයින් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුව ම ප්‍රහාණය කළ සේක. වචනයෙන් සිදුවන සියලුම අකුසල් අවබෝධයෙන් යුතුව ම ප්‍රහාණය කළ සේක. මිථ්‍යා ආජීවය බැහැර කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළ සේක. සීලය පරිපූර්ණ කළ සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ සීලයෙන් යුතුව සියලු දෙව් මිනිසුන් හට මහා කරුණාවෙන් සීලය පිළිබඳ ව දේශනා කොට වදාළ සේක. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සීලය නිරතුරුව ම මම ආරක්ෂා කරමි. සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අවබෝධයෙන් යුතුව ම සිල් පද ආරක්ෂා කරමි.

මම සංසාර දුකින් මිදීම පිණිසම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතු ව, බලවත් සිහි නුවණින් යුතු ව, ඉතා ගෞරවයෙන් යුතු ව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරවමි. ලොකු කුඩා කිසිම සතකුට දැන දැන කිසිම හිංසා පීඩාවක් නොකරමි. මේ සීලය ආරක්ෂා කිරීම නිසා මා තුළ භය තැති ගැනීමක් නැත. අන් සියලු සත්ත්වයෝ ද බියෙන් හා තැති ගැනීමෙන් වළකින්නේ ය. සුව සේ ජීවත් වන්නේ ය. මම සතුන් මැරීමෙන් වැළකී අන් සියලු දෙනා ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවමි. එහි ගුණ කියමි. මම සතුන් මැරීමෙන් වැළකීම නිසා ද, අන් අය සමාදන් කරවීමෙන් ද ගුණ ප්‍රකාශ කිරීමෙන් ද, අප්‍රමාණ සතුටක් ලබමි. ඒ සතුට මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාර වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතු ව, බලවත් සිහි නුවණින් යුතු ව ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසිම තැනක දී, කිසිම අයුරකින් අනුන් සතු දෙයක් සොර සිතින් නො ගනිමි. ඉතා කුඩා වූ දෙයක් පවා සොර සිතින් ගැනීමෙන් වළකිමි. මා මෙන් ම අන් සියලු දෙනා ද තම තමන්ගේ ධනයට හා වස්තුවට ආශා කරති. මේ කිසිවකුගේ කිසිම දෙයක් සොර සිතින් හෝ වංචාවෙන් රවටා පැහැර නො ගනිමි. මේ සීලය ආරක්ෂා කිරීම මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාරී වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම වැරැදි කාමසේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතුව, බලවත් සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතු ව මෙම සිල් පද ආරක්ෂා කරමි. මම කිසිම අයුරකින් මාගේ බිරිඳ ඉක්මවා (ස්වාමියා ඉක්මවා) වරැදි කාම සේවනයේ නො යෙදෙමි. මම මාගේ බිරිඳ කෙරෙහි (ස්වාමියා කෙරෙහි) ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. මාගේ දරුවන් කෙරෙහි ද ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කරමි. පිරිසුදු චරිතයක් ඇත්තෙක් වෙමි. මේ සීලය ආරක්ෂා කිරීම මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාරී වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිස ම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතු ව, බලවත් සිහි නුවණින් යුතු ව, ඉතා ගෞරවයෙන් යුතුව මේ සිල්පද ආරක්ෂා කරමි. මම කිසි තැනක දී, කිසිම අයුරකින් බොරුවෙන් අන් අය රැවටීම නොකරමි. බොරු කීමෙන් පීඩාවට පත් නොකරමි. සත්‍ය වූ වචන ම කතා කරමි. සත්‍යයෙහි පිහිටා කතා කරමි. සියලු දෙනාට ඇසීමට පි‍්‍රය වූ, මිහිරි වචනම කතා කරමි. මේ සීලය ආරක්ෂා කිරීම මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාරී වන්නේ ය.

මම සංසාර දුකින් මිදීම පිණිසම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වූයෙමි. මම බලවත් වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතුව, ඉතා ගෞරවයෙන් යුතු ව මේ සිල්පද ආරක්ෂා කරමි. මම සිහි නුවණ නැති කර දමන්නා වූ, ප්‍රමාදයට හේතු වන්නා වූ කිසිම ආකාරයක මත්ද්‍රව්‍යයක් භාවිත කිරීමෙන් වළකිමි. දුක පිණිස හෝ සතුට පිණිස හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකිමි. ධනය නැති කරන්නා වූ, ආරක්ෂාව නැති කරන්නා වූ, රෝග පීඩා ඇති කරන්නා වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුළුමනින් ම වළකිමි. මේ සීලය ආරක්ෂා කිරීම මාගේ චිත්ත සමාධිය පිණිස මට උපකාරී වන්නේ ය.

බලවත් වීරියෙන් හා සිහි නුවණින් යුතු ව, ඉතා ගෞරවයෙන් මා ආරක්ෂා කරන මේ (පංච) ශීලය මාගේ සතුට පිණිස ම හේතු වන්නේ ය. මාගේ මෙලොව පරලොව දියුණුව පිණිසම හේතු වන්නේ ය. සිහි නුවණ දියුණු වීම පිණිස ම උපකාර වන්නේ ය. වීරිය පිණිස ම උපකාර වන්නේ ය. සමාධිය දියුණුවීම පිණිසම උපකාර වන්නේ ය. චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම උපකාර වන්නේ ය. මාගේ මේ සීලය නිරතුරුව ම ආරක්ෂා කර ගනිමි. මේ සීලානුස්සති භාවනාව සතුට පිණිසම, ප්‍රමෝදය පිණිසම, සමාධිය පිණිසම, චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසම උපකාර වේවා.

මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]