[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සත්පුරුෂ ඇසුරෙන් අහෝසි කළ හැකි උප්පත්ති කර්ම

සත්පුරුෂ ඇසුරෙන් අහෝසි කළ හැකි උප්පත්ති කර්ම

බුදු දහමට අනුව මේ පොළෝ තලය තුළ භූමි දෙකක් ඇත. පෘථග්ජන භූමිය හා ආර්ය භූමිය ලෙසිනි. පෘථග්ජන යනු නූගත්, මෝඩ, කෙලෙස් සහිත, ආර්ය නොවන සාමාන්‍ය මිනිසුන් වසන භූමිය.

ආර්ය භූමිය යනු සෝවාන් ආදි සතර මඟ සතරපල ලැබූ උතුම් මිනිසුන් වාසය කරන භූමිය. මේ අනුව ශාස්තෘන් අතර “සර්වඥ සම්මා සම්බුද්ධ” නම් ශාස්තෘවරයකු වසර අසංඛ්‍යය කල්ප ගණනකට එක් වරක් ලෝක 31 ඇති මේ විශ්වයේ මනුෂ්‍ය ලොවට ඉතා කලාතුරකින් පහළවන්නේ ම හාත්පසින් ම දුකින් කල් ගෙවා මියයන පෘථග්ජන භූමිගත ව සිටින මිනිස් සත්ත්වයන් 31 ලෝකයන්හි ද ඇති නොපෙනෙන අනේක දුක්ඛක් ස්කන්ධයන්ගෙන් ද මුදා අරහත්ඵල ආර්ය භූමියට පත්කරවා ගැනීමට ය. මේ සඳහා මෙකල්හි පහළ වූ අපගේ ශාස්තෘ ගෞතම සම්මා සම්බුද්ධෝත්තමයාණෝ 45 වසරක් ජීවමාන ව වැඩ වසමින් දේශිත ත්‍රිපිටකාගත දහම් තුළින් අභිධර්මය හා විනය පිටක දෙක මුළුමනින් ම ද, සූත්‍ර පිටකයෙන් සියයට අනූවක් පමණ ද දේශනා කොට ඇත්තේ කෙලෙස් සහගත පෘථග්ජන භූමියෙන් අප මුදාගෙන මාර්ගඵල සංඛ්‍යාත ආර්ය භූමියට පැමිණ වීමට ය.

මේ පිළිබඳ බුද්ධ භාෂිත තුළින් ම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කළහොත් මෙසේ දැක්විය හැකි ය.

මේ විශ්වයේ කාමාවචර ලෝක 11 කි. රූපාවචර ලෝක අරූපාවචර ලෝක 04 කි. සියල්ල 31 කි. මේ කාමාවචර + රූප + අරූප තුන් භවයේම සත්ත්වයා අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හෝ ඕපපාතික හෝ ලෙසින් උත්පත්ති ලබන්නේ ඉකුත් අවසන් මරණ අවස්ථාවේ චුති චිත්තයට ආ ප්‍රබල කර්මය හේතු කරගෙන ය. මේ අනුව මෙලොව ඉපිද ආයු කෙළවර කරන තෙක් කල් ගෙවන්නේ පුරාණ කර්මයේ විපාක හෙවත් ඵල විඳිමින් ය. එහෙත් යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී තථාගත ලෝකෝත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැනි උතුමකු කාමාවචර, තුසිත වැනි දෙව්ලොවක සම්මත දිව්‍ය සැප විඳිමින් සිට පස්මහ බැලුම් බලා මනුලොව අප වැනි මිනිස් මවු කුසයක පිළිසිඳ ගත්තේ ම ආශ්චර්ය අද්භූත ධර්මතාවක් ලෝක සත්ත්වයාට හෙළිකර දීමට ය. (මජ්ක්‍ධිම නි. 3 පිට 286 - ආචා සූත්‍රය)

ඒ කවරක් ද? මනුලොව හැර අනෙක් ලෝක 30ම හේතුවෙන් උපන් කර්මය ඵල වශයෙන් විපාක වින්ද යුතු ය. එහෙත් මනුලොව රටවල් වශයෙන්, ජාති වශයෙන්, ආගම් හා කුල වශයෙන් වෙන්ව සිටින ඕනෑම මනුෂ්‍යයකු හට ශ්‍රද්ධාවෙන් (විශ්වාසයෙන්, පැහැදීමෙන් පිළිගැනීමෙන්, ඇදහීමෙන් හා එව බලව න්‍යායයෙන්) තෙරුවන් සරණ ගොස්, ශික්ෂාකාමී ව, තථාගත සද්ධර්මය අසා දැන ශ්‍රැතවත් ශ්‍රාවකයකු වුවහොත් එවැන්නහු හට උපන් ආශ්‍රව දුරුකොට, නූපන් ආශ්‍රව නොඋපදවා ගෙන, උපන් අනාශ්‍රව තවදුරටත් රැකගෙන, නූපන් අනාශ්‍රව ඉක්මනින් උපදවාගෙන මේ සතර ආරද්ධ විරිය ආරම්භක ධාතු, පරක්කම ධාතු හා නික්කම ධාතු ලෙසින් උට්ඨාන වීරියෙන් පවත්වාගෙන ගියහොත් ඔවුනට පූර්ව කර්මය හේතු කොටගෙන මෙලොව විඳින්නට වන ඵල ධර්මතා වෙනස් කරවා ගත හැකි ය.

මෙහිදී කසළ ශෝධක කුලයක උපන් සුනීත, සොහොන් පාලක පුතකු වූ සෝපාක, සැරව වැගිරෙන කුෂ්ඨ රෝගියකු වූ සුප්පබුද්ධ වැන්නෝ අරහත් ඵල වැනි මඟ පලවලට ලද හිමිකම් අපි සිහියට ගමු.

ඉහත කරුණුවලට අනුගත මේ සද්ධර්මයේ හරයන් ඇතුළත් අපගේ ශාස්තෘ අනාථ, නාථ අසරණයන්ට සරණ වූ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාරන ලද මේ සූත්‍රය ද ගළපා බලන්න.

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වැනි සංසාර සාගරයේ ඉපදෙමින්, මැරෙමින් යන මේ ගමනේ අෂ්ට දුෂ්ට කාරණයන්ගෙන් මිදුණු, මනුෂ්‍ය ආත්මයක් ලබා, බුදුරදුන් වදාරා ඇති අට තැන සැකයෙන් මිදුණු අපිට මේ ජීවිතයේ දී ම මාර්ග ඵලයක් ලැබිය නොහැකි ද? පුළුවනි. ඒ සඳහා ප්‍රමාදයන් අපිම විමසා දැනගෙන සපුරා උත්තම බුද්ධ පූජාවකට සුදුස්සෝ වෙමු.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]