[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කුසලමය සිහිකිරීම

කුසලමය සිහිකිරීම

සති යන පාලි වචනයෙන් අදහස් කරන්නේ මතක්වීම, මතක් කිරීම, සිහිකර ගැනීම, මතකයේ තබා ගැනීම සහ දැනීම යන අර්ථ යි.

එසේම අමතකවීම, නොසැලකිලිමත්කම සහ සිහිමුළාව යන වචන ඊට විරුද්ධ අර්ථ සපයයි. පුහුදුන් පුද්ගලයකුගේ සිතට නොයෙක් ආකාරයේ සිහි කිරීම් හා සිහිවීම් පැමිණිය හැකි ය. එහෙත් ඒ සියල්ලම සතියට අයත් නොවේ. කුසල පක්ෂයට අයත් සිහිකිරීම් හා සිහිවීම් සම්බන්ධ වූ මානසික ධර්මතා පමණක් සතිය ලෙස මෙහි දී දැක්විය හැකි ය.

සතර සංවර සීලයට අයත් ඉන්ද්‍රිය සංවර සිලය ආරක්ෂා කිරීමේ දී සතිය ප්‍රධාන වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රිය තුළින් සිතට ඇතුලු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරුමුණු පිළිබඳ සුබ අසුබ ලෙස තීරණ ගෙන රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් ඇති නොවන සේ සිතේ සංවරය ඇති කරන්නේ සතිය යි.

සතිය නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට නම් සමාධිය, අප්පමාදය හා සම්පජඤ්ඤය සමඟ සතිය සසඳා බැලීම සිදුකළ යුතු ය. මෙම ධර්ම සතර එකිනෙකට සම්බන්ධවත්, උපකාරීවත් පවතින අතර සුළු සුළු වෙනස්කම් ද දැකිය හැකි ය.

සමාධිය යනු කුසල් සිතෙහි එකඟ බව හෙවත් ඒකග්ගතාවයි. කුසල් අරමුණක සිත එකඟව පවත්නා විටක යම් හෙයකින් සිත එයින් බැහැර ගියහොත් එය නැවත සමාධියට පත් කරන්නේ සතියයි.

අප්පමාදය යනු පස්කම් සැපතෙහි නො ඇලී වීර්ය සම්පන්න ලෙස මෙලොව පරලොව සුබ සිද්ධිය සඳහා ක්‍රියා කිරීමයි. ප්‍රමාදයෙහි අහිතකර බවත් අප්‍රමාදයෙහි හිතකර බවත් සිහිකරවන්නේ සතිය යි. සම්පජඤ්ඤය යනු සතිය සමඟ නිතර ම යෙදෙන වචනයකි. නුවණ යනු එහි අර්ථය යි. සතිය තුළින් සිහිපත් කර දුන් කුසල් හා අකුසල්වලින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ විමසිලිමත් වන නුවණ සම්පජඤ්ඤය යි. නුවණ සද්ධාව ආදී අනෙකුත් ධර්ම සමඟ සම සේ වැඩිය යුත්තකි. සද්ධාව අඩු වී, ප්‍රඥාව වැඩිවීම ද ප්‍රඥාව අඩු වී සද්ධාව වැඩිවීම ද හිතකර නොවේ. එහෙත් සතිය හෙවත් සිහිය වැඩීම සෑම අංශයකට ම ප්‍රයෝජනවත් වන අතර එය කෙතරම් ප්‍රමාණයකට දියුණු කළත් කිසිදු අවැඩක් සිදු නොවේ.

සතිය ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම ලෞකික වශයෙන් ද මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් ම ප්‍රයෝජනවත් වන බව ද වටහා ගත යුතුම ය. ඉගෙන ගන්නා විවිධාකාර වූ විෂය දැනුම අමතක වන්නට නොදී නිතර නිතර සිහි කිරීමෙන් ඒවා සිතෙහි ධාරණය කරගත හැකිය. රැකී රක්ෂා හා ව්‍යාපාරවල නිරතව සිටින වෘත්තිකයන් ද ඒ හා අදාළව සිදු කළයුතු දෙය හා නොකළයුතු දෙය සිහි කිරීම දියුණුවට හේතු වන්නේමය. එසේ කරනු වෙනුවට ප්‍රාණඝාතය ආදී අකුසල් ගැනත් අනුන්ගෙන් පළිගැනීමේ ක්‍රියාකාරකම් ගැනත් නිතර නිතර සිහිකරමින් සැලසුම් ක්‍රියාත්මක කිරීම තමන්ට අයහපත උදා කරන්නාවූත්, අකුසල් රැස් කර ගන්නා වූත් මිථ්‍යා සතියක් බව මැනවින් වටහා ගත යුතු ය.

තාක්ෂණික වශයෙන් දියුණුවේ හිණි පෙත්තටම ගිය සංකීර්ණ ජන සමාජයක ජීවත්වීමේ දී විවිධ චර්යා ධර්මවලින් යුත් පුද්ගලයන් මුණ ගැසීම ස්වභාවික ය. ඇතැම් අයගේ දෛනික ක්‍රියාවන් දෙස බැලීමේ දී සතියෙන් තොරව ක්‍රියා කරන අය කෙතෙකුත් හමුවිය හැකි ය.

ලබා ඇති තාක්ෂණික දියුණුව තුළින් ඕනෑම විෂයයක් පිළිබඳ ඉහළම දැනුමක් ප්‍රතිලාභ හා වරප්‍රසාද රැසක් ලබාගත හැකි වුව ද ඒවා අවභාවිත කරමින් තමන්ටත් සමාජයටත් අහිතකර වන පරිදි ඇතැමුන් ස්වකීය හැසිරීම් රටාවන් පවත්වන්නේ සතිය හා අවධානයෙන් තොරවීම නිසයි. එසේම අයහපත් ඇබ්බැහිවීම්වලට පුරුදු වී ජීවිතය අඳුරු ආගාධය වෙත ගෙන යන්නෝ ද සිටිති. තමා කරන දේ පිළිබඳවත්, එහි හොඳ නරක පැති ගැනත් සිහි කිරීමට හැකි අයකුට හැඟීම්වලට වහල් වී යාන්ත්‍රික ව මෙන් අහිතකර ඇබ්බැහිවීම්වලට ගොදුරු විය නොහැකි ය. එබැවින් සතිය මනාව වඩන කෙනකුට අහිතකර ඇබ්බැහිවීම්වලින් මනාව මිදී නුවණ මෙහෙයවා හිතකර වූ ක්‍රියාකාරකම්වල පමණක් නිරත වීමෙන් ජීවිතය සාරවත් කර ගත හැකි ය.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]