|
බව ගණනින් පසුපස එන පාපයේ විපාක
ආචාර්ය
බොරලැස්ගමුවේ පේමරතන හිමි
සැවැත්නුවර දෙව්රම් වෙහෙරට නිතර ම භික්‍ෂූහු රැස් වෙති. එසේ වැඩම කළ භික්‍ෂුන් කීප
නමකට එක් ගමක සැදැහැවතුන් විසින් දානයක් පිරිනැමීමේ අරමුණින් කටයුතු සූදානම් කරද්දී
ඒ සඳහා මාළු බැද ඇත.
එහි දී සිදු වූ ප්‍රමාද දෝෂයකින් ඒ නිවසේ වහලය ගිනි ගෙන ඇත. ඒ ගින්නෙන් නැඟුණු ගිනි
දැල්ලක් ඒ මොහොතේ අහසේ පියඹා ගිය කපුටකුට වැදී පිච්චී බිම වැටී මැරී ඇත. ඒ සිදුවීම
දුටු භික්‍ෂූන් වහන්සේ මේ ගැන පසුව බුදුහිමියන්ගෙන් විමසූහ.
එහි දී බුදුහිමියන් මෙසේ දේශනා කර ඇත.
පෙර ආත්මයක සී සෑම කළ ගොවියෙකු සී සෑම සඳහා යෙදවූ ගවයන් අතර වැඩට කම්මැළි ගවයකු බිම
ලැග සිටිනු දැක කෝපයට පත්ව “උඹ හැමදා ම වැඩ නොකර සැපට නිදා ගන්නවා”යැයි කියා පහර දී
ඒ
ගවයාගේ ඇඟ පිදුරුවලින් වසා ගිනි තබා ඇත. ඉන් පිළිස්සුණු ගවයා මිය ගියේ ය. ගොවියා
ඒ කළ පාපයෙන් බොහෝ කලක් අපායේ දුක් විඳ කපුටකු වී ඉපදී මේ අයුරින් ආත්ම සීයයක් ම
ගින්නට හසු වී පිච්චී මිය ගිය බව බුදුහිමියන් දේශනා කර ඇත. ඉන් පැහැදිලි කර දී
ඇත්තේ කළ පවින් මිදී සිටීමට අහසින් ගියත් නොහැකි වූ බවයි.
තවත් භික්‍ෂූන් පිරිසක් නැව් නැඟී යන අතරතුර මුහුද මැද දී නැව නතර වීම නිසා ඉදිරියට
යා ගත නොහැකි වී තිබේ. මේ හදිසි අකරතැබ්බය දුටු බොහෝ දෙනකු නැවියාට කියා ඇත්තේ මෙහි
පව්කාරයකු ඇත කියා ය. නැවියා ඒ පිරිස කී පව්කාරයා, කාලකන්නියා නැතිනම් අවාසනාවන්තයා
සොයා ගැනීමට කුසපත් ඇද තිබේ. එහි දී ‘පව්කාරයා’ යනුවෙන් ලියා තිබූ තුණ්ඩුව ඇදී
තිබුණේ නැවියාගේ රූමත් බිරිඳට ය. ඒ නිසා නැවියා නැවත වරක් කුසපත් ඇද තිබේ. ඒත් ඒ
අවාසනාවන්ත පව්කාර කුසපත යළිත් ඇදුණේ නැවියාගේ බිරිඳට ය. තෙවරක් ම එලෙස කළත්
නැවියාගේ බිරියට ම ඒ කුසපත ඇදුණි- නැවේ සිටින අන් පිරිසගේ දිවි ගලවා ගැනීමට නැවියා
තම රූමත් බිරියගේ බෙල්ලේ වැලි පිරවූ කළයක් බැඳ මුහුදට දමා තිබේ. මේ සිදුවීම දුටු
භික්‍ෂූන් බුදුහිමිගෙන් විමසා සිටියේ ඇයට එලෙස වීමට ඇය පෙර කළ අකුසලය කුමක් ද
කියායි. එහි දී බුදුහිමියන් මෙලෙස දේශනා කොට වදාළා.
පෙර කලෙක ගෘහමූලිකයා ගෙදර ආරක්‍ෂාවට බල්ලකු ඇති කර තිබේ. ගෙහිමියාගේ බිරිඳටත්
සුනඛයා දැඩි ආදරයක් දැක්වීය. ඇය යන එන හැම තැනක ම සුනඛයා ද ගොස් ඇත. ඇගේ තුන්වන
ආත්මයේ සැමියා වී සිට ඇත්තේ ඒ සුනඛයා යි. ඒ නිසා සුනඛයා ඇයට ආදරයෙන් සිටියේ ලු.
ගෙදර සුරතලට හා ආරක්‍ෂාවට හැදූ ඒ සුනඛයා ගෘහමූලිකයාගේ බිරිය යන එන තැන පස්සෙන් ගිය
නිසා ගමේ අය ඇයට ‘බලුවැද්දී’ කියා අපහාස කර ඇත. මින් ලජ්ජාවට පත් වූ ඇය කෝපයෙන්
සුනඛයාගේ බෙල්ලේ වැලි පිරවූ කළයක් එල්ලෙන සේ බැඳ ජලයට දමා මිය යන්නට ඉඩ හැර ඇත. ඇය
මිය ගිය පසු සුනඛයා මරා දැමූ පාපයෙන් අපායේ ඉපදී දැඩි දුක් විඳ ගැහැනියක් ව ඉපදී
ආත්ම සියයක් ම මිය ගොස් ඇත්තේ වැලි කළයක් බෙල්ලේ බැඳ ජලයට දැමීමෙන් බව බුදුහිමියන්
දේශනා කර තිබේ. එයින් තහවුරු කර ඇත්තේ මරණයෙන් බේරීමට මුහුද මැද සිටිය ද නොහැකි
බවයි.
තවත් භික්‍ෂූන් හත් නමක් පාර අද්දර තිබූ විහාරයකට වැඩම කොට රාත්‍රි කාලයේ ගල් ලෙනකට
ගොස් සැතපී තිබේ. මැදියම් රැයේ විශාල ගලක් කන්දෙන් ගැලවී පහළට පෙරළී ඇවිත් ඉහත කී
ගල්ලෙනට යෑමට හා ඒමට තිබු එක ම දොරටුව වැසී ඇත. මේ නිසා ගල්ලෙනේ සිටි හත්නමට
එළියට ඒමට නොහැකි ව සතියක් පුරා කෑම බීම නැතිව දුකට පත් වී තිබේ. මේ ගැන දැන ගත්
බොහෝ දෙනා එක් වී ඒ මහා ගල ඉවත් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වී තිබේ. කෑම බීම
නැතිව ගත කළ හත්වන දින ඒ විශාල ගල ඉබේ ම එතැනින් ඉවත් වී දොරටුව විවර විය. එළියේ
සිටි පිරිස ලෙන තුළ සිටි හත් නමට රසවත් ආහාර පිළිගන්වා තිබේ. ඒ භික්‍ෂූන් හත් නමත්
තමන්ට විඳීමට සිදු වූ අකරතැබ්බයට හේතු වූ පෙර සසරේ කළ කර්ම කවරේදැයි බුදුහිමිගෙන්
විමසූ විට මෙසේ දේශනා කර තිබේ.
පෙර ගොපලු දරුවන් හත් දෙනකු වනයේ හරකුන් තණකොළ කෑමට දමා ඇවිදිමින් යන විට තලගොයින්
වසන තුඹසක් දැක එහි තිබූ සිදුරු හත කොළ ගුලිවලින් තදින් වසා ඇත්තේ පසුදා පැමිණ ඒ
කොළ ගුලි ඉවත් කිරීමේ අදහසිනි. නමුත් ඒ ගොපලු දරුවන් යළි ඒ වනයට පැමිණ ඇත්තේ සතියකට
පසුවයි. ඔවුන් එසේ පැමිණි දින තුඹසේ සිර කර තිබූ කොළ ගුලි ඉවත් කළ පසු ඒ ගොපලු
දරුවන්ට දක්නට ලැබුණේ සතියක් පුරා ආහාර නැති ව පීඩාවට පත්ව සිටි තලගොයින් ඉතා
අමාරුවෙන් තුඹසින් එළියට එන අයුරුයි. තලගොයින් මරා නො දැමූ නිසා ඒ ළමයින් මිය ගිය
පසු අපාගත නොවූවත් මිනිසුන් ලෙස උපන් ආත්ම 14ක දී තලගොයින්ට සිදු වූ පරිදි දින හත
බැඟින් කෑම බීම නැති ව පීඩා විඳීමට සිදු වූ බව බුදුහිමියන් දේශනා කර ඇත.
මෙම සිදුවීමෙන් තහවුරු කර ඇත්තේ අපරාධයක් හෙවත් පාප කර්මයක් කොට ඉන් සැඟවී සිටීමට
ගල්ගුහාවක් තුළට වී සිටියත් නොහැකි බවයි. |