[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජාතික නාමල් උයනේ 35 වැනි සැමරුම

ජාතික නාමල් උයනේ 35 වැනි සැමරුම

වනවාසී රාහුල හිමියන් විසින් ජාතික නාමල් උයන හඳුන්වාදී මෙම 28 වැනිදාට වසර 35ක් සපිරේ. ඒ නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සව රැසක් 27 වැනි දා සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඒ 9 මාර්ගයේ දඹුල්ල දෙස සිට පැමිණ මඩාටුගම ගම්මානයෙන් හැරී ආඩියාගල මාර්ගයේ ගමන් කර ගල්කිරියාගමට නුදුරු වනයක් අද්දර අපි නැවතුණෙමු. එතැන් සිට හමුවන වන මැද මාවත ඔස්සේ ගමන් කළ අපට රැවුල වවාගත් හිමිනමක් හමු විය. ඒ වනවාසී රාහුල හිමියන් ය.

කලෙක කුඩා පැල්පතක් ආවාසය කරගෙන සිටි උන් වහන්සේ කුප්පි ලාම්පුවක් දල්වාගෙන එකල දිවි ගෙවූහ. ඒ නාමල් උයන රැක ගන්නට බව උන්වහන්සේ පවසති. කැලෑ හොරුන්ගෙන් මෙන්ම නිධන් හොරුන්ගෙන් නාමල් උයන ආරක්ෂා කර ගැනීම තමන් වහන්සේගේ අදිටන වූ බව උන් වහන්සේ පැවසූහ.

නාමල් උයන මෙතරම් ජනප්‍රිය ඇයි?

ඒ නාමල් උයනටම ආවේණික වූ රෝස තිරිවානා කන්ද නිසා ය.

අද වන විට දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ නෙත් සිත් ඇදගන්නට සමත් ව ඇති නාමල් උයනේ අතීතය ගැන ඇත්තේ සුන්දර කතාවක් නම් නොවේ.

නාමල් උයනේ නිර්මාතෘවරයාණන් වහන්සේ ද වනවාසී රාහුල හිමියන්ය.

නාමල් උයන තම පණ මෙන් රැක ගත් බවත්, එය අනාගත පරපුරට දායාද කිරීමට අවශ්‍ය වන හෙයින් එහි කටයුතු සංස්කෘතික අමාත්‍යාංශයට පවරා දුන් බවත් උන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ නාමල් උයන ලොවට හඳුන්වා දුන්නේ 1991 වසරේ දී ය. ඒ අදට වසර 35කට පෙරය. දශක 3 1/2ක් ගත වන මේ මොහොතේ නාමල් උයන ගැන මෙන්ම වනවාසී රාහුල හිමියන් වැඩම කළ ගමන් මඟ ගැන ආවර්ජනය කළ යුතු ම ය.

“මම ආපු ගමන ගැන ආපසු හැරිල බලද්දි පුදුම සතුටක් දැනෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනෑ මම මේ තැනට නාමල් උයන ගෙනාවෙ මගේ දක්ෂතා, හැකියාවන්, කැපවීම සහ වාසනා ගුණයත් එක්ක කියලයි මම හිතන්නෙ. ඒ වගේම මේ ගමනෙදි මම මුහුණ දුන් අභියෝගත් සුළුපටු නැහැ. අධිෂ්ඨානය, නොපසුබට උත්සාහය සහ කැපවීම මට මේ ගමන එන්න ලොකු උපකාරයක් වුණා.

ඒ කාලේ නාමල් උයනට මිනිස්සු කිව්වේ ගල් පාත්තරේ කියලා. රෝස තිරිවානා කන්දට එයාල කිව්වෙ ලුණු ගල් කන්ද කියලා.

මේ කැලේ වටිනා ගස් කපා ගෙන යන බව ගමේ අය මට ඒ කාලේ කිව්වා. ඒ වගේම මගේ ඇස් දෙකෙන් දැක්කා සඳුන් ගස් බිම පෙරළලා තිබුණු හැටි. ඒ අපරාධය දැක්ක නිසා මට හිතුණා ජාතික වගකීමක් යුතුකමක් විදිහට මේ නාමල් උයන රැකදිය යුතුයි කියලා.

ඒ නිසා 1991 අවුරුද්දෙ මාර්තු 28 වැනි දා මම නාමල් උයනෙ පදිංචියට ගියේ රුපියල් තුන්සීයක් අතේ තියාගෙන. මහ කැලේ අලි, කොටි, වලස්සු ඉන්න නිසා මොර ගහක් උඩ පැලක් හදාගත්තා. කිසිම පහසුකමක් තිබුණෙ නැහැ. අඩුම ගානේ වතුර ටිකක්, වැසිකිළියක් මේ කිසි දෙයක් නැතිව පුදුමාකාර දුකක් වින්දා. කැලේ සත්තු හිටියට මට අද වන තෙක් කිසිම කරදරයක් වුණේ නැහැ. ඒ වගේම මම ආව පළමු දවසෙ කොලරොඩු ගොඩක් උඩ හිටපු පිඹුරකුගෙ ඇග උඩයි මම වාඩි වෙලා තියෙන්නේ නොදැන. මට ගස් කපන ජාවාරම්කාරයො විතරක් නෙමෙයි එක දවසක් පොලිස් නිලධාරියෙක් පවා වෙඩි තිබ්බා. ඒ වුණාට මගේ අරමුණ හොඳ නිසා වෙන්න ඇති මට කරදරයක් කරන්න බැරිවුණා”

අද වන විට ජාතික නාමල් උයන මෙරටට අනන්‍ය වූ ජාතික වස්තුවක් බවට පත්ව ඇත. එහි නියමුවා පුරෝගාමියා වූයේ වනවාසී රාහුල හිමියන් ය. දිවා රාත්‍රී නොමැතිව ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා ලිපි යවා නාමල් උයන රැක ගැන්මට උන් වහන්සේ කටයුතු කළහ.

“මම අවුරුදු ගණනාවක් තිස්සේ මේ නාමල් උයන රැක ගත්තා. මගෙන් පස්සෙ කවුරු හරි ඇවිත් මේක විනාශ කරල ගියොත් මම අවුරුදු ගණනාවක් විඳපු දුක් අහකට යනවා. ඒක නිසා මේක ජාතික මට්ටමින් ආරක්ෂා විය යුතු නිසා නාමල් උයන ආරක්ෂා කිරීමේ වගකීම 2018 වසරේ මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දුන්නා. මේ කිසි දෙයක් මම අල්ලගෙන බදාගෙන නැහැ. ඒක නිසා මට දුකක් එහෙමත් නැත්නම් සිත් රිදීමක් අමනාපයක් නැහැ. එකම දේ මම ආරක්ෂා කරපු මේ වටිනා සම්පත විනාශ වෙන්න නම් මම ඉන්නකල් මම ඉඩ තියන්නෙ නැහැ. කිසිම නිලධාරියෙක් මේ දක්වා මට බලපෑම් කරලත් නැහැ.

මම දැන් මේ නාමල් උයනේ මුරකාරයෙක් නැත්නම් භාරකාරයෙක් විතරයි. මම මේ සම්පත රැක ගැනීමේ මඟ පෙන්වන්නා වුණා.

පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන් එක්ක මම නාමල් උයන රැක ගන්න වැඩ කරල තියෙනවා. මගේ කිසිම දේශපාලනයක් නැහැ. කවුද මේක රැක ගන්න කටයුතු කරන්නෙ මම ඒකට කටයුතු කරනවා. කොයි දේශපාලකයා වුණත් මට එකයි. නාමල් උයනට ආවහම මම කාටත් සලකන්නෙ පිළිගැනීම එක විදිහට.

නාමල් උයන විවිධ පරිසර සුන්දරත්වයන් ඇති වන සතුන් පවා නිදැල්ලේ සැරිසරණ භූමියකි.

නාමල් උයන ජාතික උරුමයක් බවට පත් කළ යුතු ය. ඒ වෙනුවෙන් මේ වන විට වැඩ සටහන් සකස් කර ඇත. නාමල් උයනේ 35 වැනි සංවත්සරය වෙනුවෙන් මාර්තු මස 27 වැනි දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. එහිදී නාමල් උයනේ සමරුව වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීමත්, නාමල් උයන ගැන සම්පාදිත ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමත් සිදු කෙරේ. මීට අමතරව ජාතික ආඩියාගල මාර්ගය ජාතික නාමල් උයන මාවත නිල වශයෙන් විවෘත කිරීම ද සිදු කෙරේ. නාමල් උයන අනාගත පරපුරට ලබා දීමත්, නාමල් උයන හරහා රටට විදේශ විනිමය උපයා ගැනීමට හැකි බවත් අප වටහා ගත යුතු ය. ඒ සඳහා අවශ්‍ය සංචාරක පහසුකම් ස්ථාපිත කර නාමල් උයන ජාතික සම්පතක් බවට පත් කළ යුතු වේ. ලබන මස 27 වැනි දා සිදු කෙරෙන්නේ එහි එක් අදියරකි.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]