[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිරය සහ නිරාදුක

නිරය සහ නිරාදුක

සංසාරගත සත්ත්වයන්ගේ පොදු ඉරණම කුමක් ද? විටෙක සුචරිතයෙන් දෙව්ලොවට යති. නැත්නම් මනුලොවට එති. තවත් විටෙක දුශ්චරිතයෙන් අපායට වැටෙති. සසරේ හැටි මෙයයි. මෙය බියකරු ගමනකි.

සසරේ බියකරු බව කියාපාන කටුකතම අත්දැකීම කුමක් ද? සතර අපාය අතරින් නිරයේ දී ලබන දුක් රැසයි. ඒ ගැන අපි බණකතාවලින් අසා ඇත්තෙමු. සමාජයේ දී නිරයට අගයක් ලැබේද? සැලකිය යුතු පිරිසකට අනුව, නිරය වැනි ගුප්ත ආගමික සංකල්ප කෙරෙහි නම්‍යශීලී වීම මදිකමකි. විශේෂයෙන් ම නිරාගමිකයන් නිරයක් නැතැ යි කියන්නේ එහෙයිනි. ඔවුන් රුචි නො කරන පැතිකඩ තුනකි. පරලොවට අයත් වීම, කළකම් පලදෙන තැනක් වීම සහ ඕපපාතික ව එහි පහළවීම යනුවෙනි. ඒ බව සලකා නිරය සංකල්පයට එරෙහි වන්නේ, “පරලොවක් නැත. පින්, පව්වල විපාක නැත. ඕපපාතික සත්ත්වයන් නැත.” යන මතවාද තුන පිළිගන්නා හෙයිනි. මේ මතවාද සංග්‍රහ වන්නේ “දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය තුළයි.

අප අතරින් කෙනෙක් මෙසේ කියති. ‘අපායත්, දෙව්ලොවත් ඇත්තේ මෙලොව යි’. දුක්ඛිත මිනිසා අපායේත්, සැපවත් මිනිසා දෙව්ලොවත් වෙසෙන බව ඔවුන්ගේ කල්පනාව යි. මිනිස් වෙසකින් ලබන මතුභවය හෝ කර්මවිපාක ගැන සැක නො කළත්, නිරය ආදී තවත් ලෝක ඇතැ යි යන අදහසට ඔවුහු එරෙහි වෙති. ඒ ඕපපාතික සත්ත්වයන් නැතැ’යි යන පදනමෙනි. මනෝමය වූ භෞතික කයක් ලද සත්ත්ව කොට්ඨාසය ‘ඕපපාතික’ නම් වෙයි. එවන් උපතක් නැතැයි කීමෙහි යටි අරුත කුමක්ද? මනස මූලික කරගත් භෞතික පැවැත්මකට ඉඩක් නැති බවයි. මනස නොව භෞතිකය ම ප්‍රධාන බවයි. එවන් භෞතිකවාදී දැක්මක් සහිත ව ආධ්‍යාත්මික ගුණ වැඩිය නොහැකි ය. මනස අවතක්සේරු කිරීමේ ශීර්ෂයෙන් ගත් විට, නිරයාදී ඕපපාතික භවයන් අපේ ලොවට ආදේශ කිරීමත් මිථ්‍යාදෘෂ්ටියකි.

නිරයේ පුවත් ඇසීමෙන් අපට දැනෙන සංවේගය ශාසනික වීර්යය උපදවයි. එනම්, සුගතිය සහ නිවන කරා පමුණුවන මඟට වුවමනා ජවය සපයයි. අපාය භය දැනෙන අය, සුගතියට යන්නැ යි දුසිරිතෙන් වළකිති. සසර කලකිරී නිවන් මඟ වඩති. කවදත් බොදුනුවන්ගේ සිත කුසලයෙහි ඔසවා තැබූ ජනපි‍්‍රය ම උනන්දු කාරකය වූයේ නිරය සංකල්පය යි.

ශාසනික වීර්යය උපදවා ගැනීමට නිරය ගැන ඉගෙනීම වැදගත්. ‘නිරයක් නැත’ යන මිථ්‍යා දෘෂ්ටියත් ‘නිරයක් ඇති ද? නැති ද?” යන විචිකිච්ඡාවත් කුසල් මඟ අවුරයි.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]