[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනන්ත සක්වළ පුරා පැතිරගිය සම්බුදු සසුනේ සීල සුගන්ධය

අනන්ත සක්වළ පුරා පැතිරගිය සම්බුදු සසුනේ සීල සුගන්ධය

කෙනෙක් ගත කරන ජීවිතයට සමුදුන් විට, “ඔහු මැරුණා” කියා කියනවා. එය උපන් සත්ත්වයාට උරුම පොදු ධර්මතාවක්. කර්මානුරූප බව මත එය එකිනෙකා ඉදිරියට පැමිණෙන්නේ විවිධ අයුරින්.

නිරි සතුන්, ප්‍රේතයන් ඒ ඒ පාපකර්ම ගෙවා දමා ඒ ලොවින් නොපෙනී යයි. තිරිසන් සතුන්, මිනිසුන් විවිධ ආපදා, ලෙඩ දුක් උවදුරුවලට ගොදුරු වී සිරුර අත්හැර දමයි. දෙවියන්, බඹුන්, ආයුෂ හෝ පින අවසන් වීමෙන් දෙව්ලොවින් චුත වෙයි.

දෙව්ලොව ගැන අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ පරිපූර්ණ වූ කේවල සත්පුරුෂ භූමිය කියලයි. මින් වසර 2569කට පෙර අපගේ ශාස්තෘන් වහන්සේ දිවමන් ව වැඩසිටි සොඳුරු යුගයේ බොහෝ දෙවිවරු ධර්මය අවබෝධ කළහ. ඇතැම් දෙවිවරු දෙව්ලොවින් චුතව මනුලොවට පැමිණ සසර දුකින් නිදහස් වී ගියහ. තවත් බොහෝ දෙනා ශාස්තෘ සම්පත්තියේ පිහිට, රැකවරණ සහිත ව නැවත දෙව්ලොව ගියා.

එක්තරා දිනක දී අපගේ තිලෝගුරු මුනිරදුන් සම්බුදු මුවමඬලින් බ්‍රහ්ම ස්වරයෙන් මෙසේ වදාළහ.

“පින්වත් මහණෙනි, යම් දිනෙක දෙවිවරු චුත වෙන්න ආසන්න වෙත් ද නිමිති පහක් පහළ වෙයි.”

දෙවිවරු පැලඳ සිටින මල් මාලා මැලවී යයි, දිව්‍ය සළුපිළි කිළිටි වී යයි, කිහිලිවලින් දාඩිය ගලයි, දිව්‍ය සිරුරේ පැහැය අඩු වී යයි, තම දිව්‍ය විමානයේ සිත නො ඇලෙයි.

මෙය දකින දෙවිවරු ඔහු ව නන්දන උයනට කැඳවාගෙන යති. මෙබඳු සැනසිලි වදන් පවසති.

‘පින්වත, ඔබ සුගතියට යන්න. උතුම් ලැබීම ලබන්න. උතුම් ලැබීම ලබලා එහි හොඳින් පිහිටන්න.

දෙව්ලොව පින අවසන් වූ දෙවියාට දෙවිවරු එදා සුගතිය කියා පැවසුවේ මිනිස් ලොවට යි. උතුම් ලැබීම යැයි පැවසුවේ තථාගත ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇති කර ගන්නා ශ්‍රද්ධා ලාභයට යි. ඒ ශ්‍රද්ධාව ඔහුගේ සිත තුළ පිහිටා, මුල් බැසගෙන, ස්ථාවර වී තිබෙන විට ලෝකයේ කිසිම ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ, ලෝකයේ වෙන කවුරු විසින් හෝ ඔහුගේ ඒ ශ්‍රද්ධාව නැතිකර දාන්න බැරිනම්, එය තමා උතුම් ලැබීම කියා පැවසුවේ.

ඒ වගේ ම කාය දුශ්චරිතය, වචී දුශ්චරිතය, මනෝ දුශ්චරිතය අතහරින්න. අනේක වූ පාපී අකුසල් අතහරින්න. කයෙන්, වචනයෙන් බොහෝ කුසල් කරගන්න. සිතින් අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කුසල් කරන්න. මතු යහපත සලසාලන බොහෝ පින් කරන්න. දන් දෙන්න. අන් අයට තථාගත ධර්මය කියා දී අමා නිවන් මඟෙහි සමාදන් කරවන්න. මෙබඳු බොහෝ පින් කර කුසල් වඩා දෙව්ලොවට නැවතත් පැමිණෙන්න.

බලන්න, මොනතරම් සොඳුරු සත්පුරුෂ සමාගමක් ද? මොන තරම් කාරුණික අනුග්‍රහයක් ද? අපේ මනුලොව මියයන්න පණ අදින කෙනකුට උරුම වන්නේ කෙතරම් දුක්ඛිත ඉරණමක් ද? එනමුත් සොඳුරු සත්පුරුෂ භූමිය තුළ දෙව්ලොවින් චුත වෙන්න ආසන්න දෙවියකුට ලැබෙන අනුකම්පාව...

කම් නැත. කෙසේ වුවද අපි සියලු දෙනා දැන් මිනිසුන් වෙමු. සංසාර රංග මණ්ඩලයේ මනුලොව වේදිකාවේ විවිධ ජවනිකා රඟ දක්වමින් සිටිමු. පැමිණියේ කොහි සිටදැයි දැනීමක් නැතිමුත් යම් දිනක මේ වේදිකාවෙන් බැස වෙනත් වේදිකාවකට ගොඩ විය යුතු බව දනිමු.

අසිරිය නම් එය නොවේ. දිව්‍ය නේත්‍රයට මනුලොව දිස් වූ ඒ උතුම් ශාස්තෘ සම්පත්තිය අපට ද ලැබී තිබීම ය. ජීවමාන බුදුරදුන් නැති වුවද ධර්මයත්, විනයත්, පූජනීය වස්තූනුත්, ආර්ය මහා සංඝ රත්නයත් තවමත් දිවමන් ව වැඩ සිටී ය. එය සැබවින් ම දුක් ගැහැට පිරි මේ මනුලොවින් මිදී මුළුමනින් ම පිරිපුන් සත්පුරුෂ භූමියට පියනඟනු කැමැත්තවුන්ට දිව්‍ය ද්වාරය දිස්වීමක් බඳුයි.

ඒ දිව්‍ය ද්වාරය යැදීමෙන් හෝ ප්‍රර්ථනාවෙන් විවර නොවන්නක්. තෙරුවන් සරණෙහි පිහිටා, ශාස්තෘන් වහන්සේ පුදමින්, ධාතුන් වහන්සේට, බෝධීන් වහන්සේට උපස්ථාන කරමින්, තථාගත ශ්‍රී සද්ධර්මය අසා, දරා, නුවණින් විමසමින්, දන් දෙමින් අන් අය ද දානයෙහි, පිනෙහි, කුසලයෙහි සමාදන් කරවමින් යමෙක් වාසය කරයි ද, ඒ සොඳුරු සත්පුරුෂ භූමියේ ස්වර්ණ ද්වාරයෙහි යතුර ඔහු අතට පත් වෙනු ඇති.

ශාස්තෘ සම්පත්තිය සිරසේ දරාගෙන දහම් මනසිකාරයෙන් යුතු ව ශ්‍රාවක සඟරුවනට අවනත ව ඔහු යන ඒ ගමන ඒකාන්තයෙන් ම අමා නිවනින් කෙළවර වන්නක් ම යි.

සැබැවින්ම ස්වල්ප වූ හෝ නුවණක් අප සතු ව පවතී නම් අප කැමැති විය යුත්තේ අනතුරට නොව රැකවරණයට ය. අනතුර නම් සසරේ යළි යළි ඉපිද ඉපිද යන්නට වීමයි. ආරක්ෂාව නම් ඉන් මුදාලන ත්‍රිවිධ රත්නයේ සරණ තුළ මනාව පිහිටීමයි.

අපගේ ශාස්තෘන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක.

“ලොවෙහි ප්‍රශංසාවත්, වස්තු ලාභයත්, මරණින් මතු සුගතියත් කැමැති නැණවතුන් විසින් සීලය ම යි රැකිය යුත්තේ....”

ඒ වගේ ම තමන් පව් නොකරන්න පුළුවන්. නමුත් ඇසුරු කරන්නේ පව් කරන අය නම් සිල්වතා ගැනත් පාපී රාවයක් පැතිරී යනවා. හරියට කුණු මාළු කෑල්ලක් කොළයක එතුවා ම ඒ කොළයත් ගඳ ගහනවා වගේ. ඒ වගේ ම ඒ පාපී ඇසුර දිගින් දිගට ම පැවැත්වුවහොත් එහි භයානකකම වන්නේ තමන්ගේ ගුණත් ටික ටික විනාශ වෙලා දුස්සීල ගති තමාටත් පිහිටන්න පටන් ගැනීමයි.

නුවණැති අය ඇසුරු කරන්න පටන් ගත්විට ඊට වෙනස්. තමන් තුළ කුමන දුර්වලතා තිබුණත් කීර්ති රාවයක් පැතිරී යනවා. ‘මේ කෙනා යහපත් අයගේ ඇසුරේ ඉන්න කෙනෙක්’ කියලා. හරියට සමන් මල් මිටක් ඔතා තිබෙන කොළෙනුත් සුවඳ හමනවා වගේ ඇසුර නිසා ම ඔහුත් යහපත් ගුණදහම් ඇති කෙනෙක් බවට පත් වෙනවා.

එලෙසම, නුවණැති සත්පුරුෂ අය තමා ඇසුරු කරන අය වරදින් වළක්වනවා. අඩුපාඩු කියා දී සීලයේ පිහිටුවනවා. යහපතෙහි, කුසලයෙහි යොදවනවා. මෙලොවත්, පරලොවත් දෙලොව ම යහපතට මඟ කියා දෙනවා. නුවණැති සත්පුරුෂයන් කැමති තමා ඇසුරු කරන අය සුගතියේ යනවා දකින්නයි. දුකෙන් අත්මිදෙනවා දකින්නයි. ඒ තමයි සත්පුරුෂයන්ගේ සත්පුරුෂ දහම.

ඒ නිසා ඔබත්, මේ දස දහසක් ලෝක ධාතු අභිභවා අනන්ත සක්වළ පුරාවට පැතිර ගිය සම්බුද්ධ සුගන්ධයේ මිහිර විඳගන්න. මේ සොඳුරු සම්බුදු සසුනේ සීල සුගන්ධය ගත තවරා ගන්න. දහම් මනසිකාරය නමැති මාලා දාමයන්ගෙන් සිත සරසා ගන්න. සත්තිස් බෝධිපාක්ෂික දහම් නමැති දහම් ඖෂධ ටික ටික පානය කරන්න.

එවිට මේ බුදු සසුනේ දී ම මඟඵල නිවන නම් වූ ඒ අමා ඵල රස භුක්ති විඳීමට හැකිවනු නියත යි.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]