දසබලයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේට විවේකස්ථානයක් වූ ගුජරාටයේ දේව්නිමෝරි
පින්බිම
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති
අලුදෙණියේ සුබෝධි නා හිමි
|

දේව්නිමෝරි කැණීමෙන් හමුවූ බුදුපිළිමයක ශීර්ෂයක් |
බෞද්ධයන්ගේ මතකයෙන් ගිලිහී නටඹුන් ව තිබූ උතුරු ගුජරාටයේ දේව්නිමෝරි මහා ස්තූපය
සහිත විහාර සංකීර්ණය යළි සොයා ගැනීමේ පුවත දන්නෝ අල්පයහ.
මේ වන විට මෙශ්වෝ ජලාශයේ ජලතලයට යට වී යළි දක්නට නොලැබෙන එම පින්බිමේ සහ එහි
පුරාවිද්‍යා කැණීමෙන් ලැබුණු ධාතූන් වහන්සේගේ විස්තරය මෙම ලිපියේ සැකෙවින් දක්වා
තිබේ. දඹදිව් තලයේ අස්සක් මුල්ලක් නෑර භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ සදහම්
සන්දේශය පැතිර තිබුණ බවට මේ පින්බිම සාක්ෂි සපයයි.
දෙව්නිමෝරි පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ උතුරු ගුජරාටයේ අරවල්ලි
දිස්ත්‍රික්කයේ ශම්ලාජි නගරයට කිලෝමීටර් 2ක් පමණ දුරිනි. එය පුරාණ බෞද්ධ විහාර
සංකීර්ණයක් වන අතර, ක්‍රි.ව. 3 - 4 සියවස්වලට කාලනිර්ණය කොට තිබේ.
මෙම පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 16ක් දිග හා කිලෝ මීටර් 2ක් පළල සතර
අතින් කඳුවලින් වට වූ නිම්නයක ය. ඒ මැදින් මෙශ්වෝ ගංගාව ගලායන අතර, එය මෙම
නිම්නයෙන් ඉවතට බැස යන්නේ බටහිර දෙසින් කඳුවැටි අතර පිහිටි මීටර් 150ක් පමණ පළලැති
කුඩා ඉඩකිනි. ශම්ලාජී ප්‍රදේශයේ ජල හිඟයට විසඳුමක් ලෙස එහි මධ්‍යම ප්‍රමාණයේ
වේල්ලක් බැඳ ජලාශයක් තැනීමට ගුජරාට් ප්‍රාන්ත රජය 1950 දශකයේ දී සැලසුම් කළේ ය.
නමුත් 1936 සිදු කළ පුරාවිද්‍යා ගවේෂණ මඟින් මෙම දේව්නිමෝරි නිම්නයේ පුරාවිද්‍යා
අවශේෂ විශාල ප්‍රමාණයක් තිබෙන බව වාර්තා කොට තිබූ නිසා ජලාශය තැනීමට පෙර එම භූමියේ
මුදාගැනීමේ කැණීමක් සහ පුරාවිද්‍යාත්මක වාර්තාකරණයක් සිදුකරන ලෙස වාරිමාර්ග
දෙපාර්තමේන්තුව මඟින් ගුජරාට් රජයට දැනුම් දී තිබුණි.
|

දේව්නිමෝරි ස්තූප කැණීමේ සටහනක් |
ඒ අනුව බරෝදා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය වෙත
මෙම වගකීම පැවරුණු අතර, මහාචාර්ය බී. සුබ්බරාඕ, ආචාර්ය ආර්. එන්. මෙහෙතා සහ ශ්‍රී
එස්. එන්. චවද්‍රි ඇතුළු කණ්ඩායම 1959 සිට 1965 දක්වා මුදාගැනීමේ කැණීමක් ලෙස
දෙව්නිමෝරි කැණීම් සිදු කළෝ ය.
භෝජ රජුගේ කඳුගැටය
එහි පැරැණි ගඩොල් විසිරීගිය අඩි 120ක් අරයැති සහ අඩි 40ක් උසැති අර්ධ කේතුආකාර
කඳුගැටයක් බඳු ස්ථානයක් තිබූ අතර, එය ප්‍රදේශවාසීන් හැඳින්වූයේ ‘භෝජ රජුගේ කඳුගැටය’
නමිනි. 1960 දශකය වන තුරුම සියවස් ගණනක් පුරා ප්‍රදේශවාසීන් සිය නිවෙස් ඉදිකිරීමේ
දී මෙම ස්ථානයෙන් ගඩොල් ගෙනගොස් තිබුණි. එහෙත් තවමත් ඉතිරි ව තිබූ මෙම අර්ධ
කේතුආකාර කුඩා කඳු ගැටයක් බඳු ස්ථානයේ කැණීම් සිදුකරන විට එය බෞද්ධ ස්තූපයක් බව
හඳුනාගත් අතර, එහි තිබී ශෛලමය ධාතු මංජුසා දෙකක් හමුවිය. එම ධාතුමංජුසා දෙක ම විශාල
මැටි භාජන තුළ තැන්පත් කොට තිබූ අතර, එම මැටිභාජන මහා ස්තූපය මධ්‍යයේ වූ ගඩොල් අතර
මැනැවින් ස්ථානගත කොට තිබුණි.
පළමු මංජුසාව
|

මෙශ්වෝ ජලාශය ඉදිකිරීම නිසා දේව්නිමෝරි විහාර සංකීර්ණය
ජලයෙන් යට වී ඇති අයුරු |
මෙම මංජුසාව කොළ පැහැයට හුරු ශිස්ට් පාෂාණයෙන් නිමවා ඇත. එය
12cm උසැති සහ ඉහළ දී
1.5cm ගණකමැති සිලින්ඩරාකාර මංජුසාවකි. නියන් පහරවල සලකුණු එහි ඇතුළත හා පිටත දක්නට
ලැබෙන අතර, එය මැනැවින් නිම කොට නැත. නමුත් එහි පියන හොඳීන් නිමවා ඇති අතර එය කැබලි
වී තිබුණි. මෙම මංජුසාව තුළ අළු පුරවා තිබුණි. එය වටකොට තිබූ කලුපැහැ මැටි ද
මංජුසාව තුළට පැමිණ තිබුණි.
දෙවැනි මංජුසාව
|

අංක 2 ධාතුමංජුසාව ගඩොල් අතර තිබී හමු වූ අවස්ථාව |
මෙම මංජුසාව කොටස් තුනකට නිමවා තිබුණි. ඒ පියනේ අල්ලුව පියන හා බඳ ලෙසයි. පියනේ
අල්ලුව අඟල් 0.65 උසැති අඟල් 1.1 විශ්කම්භයැති වටකුරු වූ එකක් වන අතර, එය පියනේ මැද
පිහිටි සිදුරට සවිවන කොටස සතරැස් (අඟල් 0.5) ය.
අල්ලුවෙන් අල්ලා පියන කරකැවීමේ දී එය පියනට හොඳීන් සවි වී තිබීමේ උපක්‍රමයක් ලෙස
මෙසේ යට කොටස සතරැස්ව සකසන්නට ඇත. පියන අඟල් 6.7 විශ්කම්භයැති අඟල් 1.05 උසැති අඟල්
0.75 ගණකමැති රවුමක් වන අතර, පොට කරකැවීමෙන් මංජුසාවේ බඳට හොඳීන් සවිවන සේ නිමවා
තිබේ. එය මැඳ තිබූ කුඩා රඳවන කොටස පසුව කඩා ඉවත් කොට ඇත. අඟල් 6.8ක් විශ්කම්භයැති
මංජුසා බඳ සිලින්ඩරාකාර ය. එය අඟල් 2.9ක් උස වන අතර අඟල් 0.4ක් ගණකම් ය.
මංජුසාවේ ලියා තිබූ
අපූරු පුවත
එම සිලින්ඩරාකාර හැඩැති අංක 2 ගල් මංජුසාවේ පියනෙහි, බඳෙහි සහ අඩියෙහි පුරාණ අක්ෂර
සහිත අභිලේඛන දක්නට ලැබේ. ඒවා බටහිර වර්ගයේ දකුණු බ්‍රාහ්මී අක්ෂර වේ. එහි පියනේ
මතුපිට සහ ඇතුළත දෙපස ම පාලි බසින් පටිච්චසමුප්පාද ධර්මය සටහන් කොට තිබූ අතර, එහි
බඳෙහි හා පත්ලෙහි මෙම ස්තූපය තැනීම සහ ධාතු නිදානය පිළිබඳ තොරතුරු සංස්කෘත බසින්
සටහන් කොට තිබුණි.
එයට අනුව මෙම මහා ස්තූපය තනවා ධාතු නිදානය ශ්‍රී රුද්‍රසේන රජුගේ රාජ්‍ය සමයේ උදා
වූ කතික රජවරුන්ගේ 127 වැනි වර්ෂයේ බද්‍රපාදයේ 5 වැනි දිනයේ දී සිදුකරන ලද්දකි.
සියලු ජනයාට අනුග්‍රහ කැමැති ශාක්‍ය භික්ෂූන් දෙනමක් වූ අගිනිවර්මන් සහ සුදර්ශන නම්
හිමිවරුන් මෙම ස්තූපය ඉදිකළ බවත්, පාශාන්තික සහ පද්ද යන ශාක්‍ය භික්ෂූන් දෙනම එම
චෛත්‍ය කර්මාන්තයට උපදේශකත්වය
දැරූ බවත්, සේනගේ පුත් වූ වරාහ විසින් මෙම අලංකාර
ශෛලමය මංජුසාව තැනූ බවත්, දසබලයන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේට විවේක ස්ථානයක්
වූ එය (ස්තූපයේ) පාදමෙහි පිහිටවන බවත්, සුගතයන් වහන්සේ කෙරෙහි චිත්තප්‍රසාදය පතමින්
මහාසේන භික්ෂුව ධර්මයේ සහ සංඝයාගේ සමෘද්ධිය කැමැති ව මෙම වටකුරු මංජුසාව තැනවීමට
ඇණවුම් කළ බවත් එහි දැක්වේ.
සංස්කෘත බසින් රචිත ගාථා සයකින් යුතු මෙම විස්තරය ආරම්භ වන්නේ
‘සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා! ජනයාට අනුකම්පා ඇති කරුණාව දරන (ප්‍රඥාවෙන්)
ප්‍රභාවත් වූ, පරවාද නැමති අඳුර දුරු කළ සූර්යයා බඳු සම්මා සම්බුදු රජාණන් වහන්සේට
නමස්කාර වේවා!’ යන අදහසින් යුතු නමස්කාර පාඨයකිනි. මෙම චෛත්‍ය කර්මාන්තයේ යෙදුණු
භික්ෂූන්ගේ ශ්‍රද්ධාව එම නමස්කාර පාඨයෙන් පෙනේ. මෙහි ඇතුළත් ‘දශබල ශරීර නිලය’ යන
පාඨය අභිලේඛනඥයින් පරිවර්තනය කොට ඇත්තේ ‘දසබලයන් වහන්සේගේ ශාරීරික ධාතූන්ට විවේක
ස්ථානයක් වූ’ ලෙසයි. ත්‍රිපිටක පාලියේ හමුවන ‘දසබල’ යන වදන බුදුරජාණන් වහන්සේට
පර්යාය පදයකි. ‘දසබලසමන්නාගතෝ භික්ඛවේ තථාගතෝ’ ආදි ලෙස තථාගතයන් වහන්සේ දසබලයෙන්
සමන්නාගත බව දසබල සූත්‍රය, දුතිය දසබල සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල හමුවේ. ඒ අනුව
බලන කල මෙම ධාතු මංජුසාව තනා ඇත්තේ සම්බුද්ධ ධාතූන් වහන්සේ නිදන් කිරීම පිණිස ය.
තඹ හා
රන් මංජුසා
|

අංක 2 ධාතු මංජුසාව තුළ තඹ මංජුසාවත් ඒ තුළ සර්වඥ ධාතු
වැඩසිටින රන් ආලේපිත මංජුසාවත් පිහිටා තිබූ අයුරු දැක්වෙන
සටහනක් |
|

දේව්නිමෝරි කැණීමෙන් හමුවූ බුදුපිළිම වහන්සේ |
අංක 2 ශෛලමය මංජුසාව විවෘත කළ විට ඒ තුළ තිබී 4cm උසැති සහ
6cm විශ්කම්භය ඇති
සිලින්ඩරාකාර තඹ මංජුසාවක් හමු විය. එය බොහෝ මළබැඳී විවෘත කිරීමට අපහසු තත්ත්වයෙන්
තිබූ අතර, පළමුව ඒක්ස්රේ ඡායාරූපයක් ගෙන අභ්‍යන්තරයේ ඇති දෑ පිළිබඳ අදහසකින් යුතු ව
ඉතා සියුම්ව සිදු කළ ක්‍රියාවලියකින් අනතුරුව එම තඹ මංජුසාව විවර කළ හැකි විය. එය
තුළ වූයේ රිදී මිශ්‍ර ලෝහයකින් සෑදූ රන් ආලේපිත ඕවලාකාර මංජුසාවක් සහ කුඩා රෙදි
ඛන්ඩල පහකි. එම රන් ආලේපිත ඕවලාකාර මංජුසාව තුළ අලු සහ ධාතූන් වහන්සේ වැඩ සිටියහ.
එම ධාතූන් වහන්සේ එම රන් ආලේපිත මංජුසාව තිබූ අංක 2 ශෛලමය මංජුසාවේ සඳහන් විස්තරයට
අනුව දසබලයන් වහන්සේගේ හෙවත් සම්බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ය. එහි
තිබූ කුඩා රෙදි බන්ඩල පහ මුල් ධාතු නිදාන අවස්ථාවේ සුවඳ කවා පූජා පිණිස තැන්පත් කළ
ඒවා වීමට ඉඩ තිබේ.
ගුජරාටයෙන් ලක් දෙරණට වැඩි ධාතුන් වහන්සේ
මෙම කැණීමෙන් පසු ගුජරාටයේ බරෝදා හි මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා
අධ්‍යයන අංශයේ ආරක්ෂිත කුටියක මෙතෙක් වැඩසිටි එම ධාතූන් වහන්සේ ඉන්දියානු රජයේ සහ
ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම මත පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට වඩමවුණි. පුරාවිද්‍යා
කැණීමෙන් සොයා ගැනීමෙන් අනතුරුව මෙම ධාතූන් වහන්සේ මෙසේ මහජන වන්දනාවට විවෘත වන
ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මේ වනතුරු එම විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරට වැඩමවා
නොමැත.
බටහිර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ දේව්නිමෝරි ධාතූන් වහන්සේට උපහාර පිණිස
එම ධාතූන් වහන්සේගේ අතීත සහ වත්මන් පුවත් පුරාවිද්‍යා කැණීම් වාර්තා සහ ඒ පිළිබඳ පළ
වූ පර්යේෂණ පත්‍රිකා අධ්‍යයනය කොට මෙම ලිපිය රචනා කරන ලදී.

සර්වඥ ධාතු වැඩසිටි අංක 2 ධාතු මංජුසාව |

පුරාවිද්‍යා කැණීම සිදුවන කාලයේ දේව්නිමෝරි ස්තූපය |
|