[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතයේ කැඩපත

ජීවිතයේ කැඩපත

මිනිස්සු දුකින් පෙළෙති. කනගාටුවෙන් , පසුතැවිල්ලෙන් පසුවෙති. කිසිවකු සතුටු නොවෙති. සතුට ලබන්නට යම් යම් දේ කරති. එහෙත් සතුට නැත.

ගහ බැණ ගැනීම, රණ්ඩු සරුවල් වීම සැම තැන දක්නට ලැබෙයි. අන්අයට හිංසා පීඩා කිරීම, අන්සතු දේ තමන්ට අයිති කර ගැනීමට වෙර දැරීම, වැරැදි ආකාරයෙන් ආශ්වාදය, වින්දනය ප්‍රාර්ථනා කිරීම, ඒ සඳහා ම බොරු, කේළාම්, පරුෂ, හිස් වචන කථා කිරීම, දකින දකින දේ, අසන අසන දේ, ආග්‍රාණය කරන කරන දේ සූභ අයුරින් ගැනීම, විඳින විඳින රස තමන්ට අයත් කර ගැනීමට වෙහෙස විම, රසවත් ගැටීම්වලට රුචි වීම, අනුන් මැරීමේ පෙළීමේ සිතුවිලි හා සතුට උදෙසා ම මෙලොවක් නැත, පරලොවක් නැත, පින් නැත, පව් නැත, දුන්දෙයෙහි විපාක නැත. නුදුටු දෙවියන්ගෙන් සතුට අයැදීම, යාඥා කිරීම, කන්නලව් කිරීම, විවිධ අභිචාර විදිවල යෙදීම ආදි කටයුතු නිසා පාපි සමාජයක් දකියි. මේ සියල්ල ධර්මය නිවැරැදි ව නොදැකීමයි.දහමට අනුව ලෝකය දකියි නම් ගැටුම් විරහිත සමාජයක් ගොඩනැඟිය හැකි ය. දහම තුළින් ජීවිතය දකින්නට මඟ පෙන්වන සූත්‍ර දේශනාවක් සංයුක්ත නිකායේ ඛන්ධන වර්ගයේ දෙව්දහ සූත්‍රය තුළින් ජීවිතය නිවැරැදිව දකින්නට මඟ පෙන්වයි.

දෙව්දහ නුවර දී දේශනා කළ නිසා මේ සූත්‍රයට දෙව්දහ සූත්‍රය යැයි නම් කර තිබේ. භික්ෂූන් වහන්සේ සමූහයක් බුදු රජාණන් වහන්සේ හමුවන්නට පැමිණ, තමන් බටහිර ප්‍රදේශයේ ජනපදවල චාරිකාවේ යන්නට කැමති බවත්. ඒ ප්‍රදේශයේ දිගට ම වැඩ වාසය කරන්නට කැමති බවත්. ඒ සඳහා අවසර දෙන ලෙසත් ඉල්ලති. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේගෙන් විමසුවේ සැරියුත් හාමුදුරුවන්ට මේ බව පැවසුවේ ද යන්නය. එම භික්ෂූන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට නොකී බව කී කල, බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට කියනවා සැරියුත් හාමුදුරුවන් මුණ ගැසී ඒ සඳහා උපදෙස් ගන්නා ලෙස. එම භික්ෂූන් වහන්සේ සැරියුත් හාමුදුරුවන් මුණගැසී මේ කරුණු පවසති. එවිට සැරියුත් හාමුදුරුවෝ එම භික්ෂූන් වහන්සේ මෙසේ දැනුම්වත් කරති . ඔය නොයෙක්, නොයෙක් රාජ්‍යවලින් පැමිණෙන භික්ෂූන්ගෙන් ප්‍රශ්න අහන ක්ෂත්‍රිය,බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ පණ්ඩිතවරු සිටිනවා. ඒ අය විවිධ ප්‍රශ්න අහනවා. ඒවාට ශාස්තෘ ගෞරවය ඇතිව පිළිතුරු දෙන්න දනීද? ඔබේ ශාස්තෘවරයා මොන විදිහේ මතයක් දරන කෙනෙක් ද ? මොන විදිහේ මතයක් පවසන කෙනෙක් ද? ඒ වගේ ප්‍රශ්නවල දී බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබෙන ආකාරයට ධර්මානුකූල පිළිතුරු දෙන්න දන්වා ද? ඒ දේ හොඳින් දැන,ඉගෙන ගෙන, මෙනෙහි කරලා,හොඳින් මතක තබා ගෙන ද ඉන්නේ ප්‍රඥාවෙන්, අවබෝධයෙන් උත්තර දෙන්න පුළුවන් ද? එය දේශනා කරන්න යැයි එම භික්ෂූන් වහන්සේ ඉල්ලූ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙම කරුනු දේශනා කළහ.

ඔබ වහන්සේගේ ශාස්තෘන් වහන්සේ මොන ආකාරයේ මතයක් දරන කෙනෙක් ද? මොන විදිහේ මතයක් පවසන කෙනෙක් දැයි? විමසනවා. එසේ විමසූ කල ‘ඒවං බ්‍යාකරෙය්‍යාථ’ මෙසේ පිළිතුරු දිය යුතුයි. ඡන්දරාග, විනයක්ඛායි ඛෝ නෝ ආවුසෝ සත්ථාති අපේ ශාස්තෘන් වහන්සේ ඡන්ද රාගය, (කැමැත්තෙන් ඇලීම) දුරුකිරීම ගැන අපට දේශනා කරති.

මොනවා ගැන ඡන්දරාගය දුරු කරන්න කියල ද දේශනා කරන්නේ

අපගේ ශාස්තෘන් වහන්සේ අපට වදාරන්නේ රූපය, වේදනාව, සඤ්ඤාව., සංස්කාර, විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමටයි.

‘ඔබ වහන්සේගේ ශාස්තෘන් වහන්සේ රූපය, වේදනාව, සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ කවර ආකාරයේ ආදීනව දැකලැදැයි ද?’ විමසති.

රූපය කෙරෙහි ඇති රාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනකුට ඔහුගේ ඒ රූපය වෙනස් වෙලා යද්දී වෙනත් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇති වෙයි.

වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ පිළිබඳව ද මේ ආදිනව මෙලෙස දක්නට ලැබෙයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ ස්ඛන්ධ වෙනස් වෙයි. මේ වෙනස හඳුනා ගන්නට, අවබෝධ කර ගන්නට නොහැකි වෙයි. කවුරුත් මේ සියල්ලට කැමැති වෙති. ආශා කරති. ප්‍රේම කරති. එසේ කරමින් සිටිය දී මේ සියල්ල වෙනස් වෙයි. මේ වෙනස හමුවේ පුද්ගල අභ්‍යන්තරය තුළ දුක දොම්නස, කනගාටුව, වේදනාව, වැළපීම ඇති වෙයි. පුද්ගල අභ්‍යන්තරයේ මේ වෙනස නිසා පුද්ගල සන්ථානයෙහි වැරැදි කෙලෙස් උපදියි. එම තත්වය තුළ සමාජ සාමකාමිත්වය බිඳ වැටෙයි. විවිධ සමාජ ගැටලු හටගන්නේ මේ නිසා වෙනි. පුද්ගල සාමය උදෙසා, සමාජ සාමය උදෙසා මේ ආදිනව හඳුනාගෙන ජීවත් වීම වැදගත් වේ.

ඔබගේ ශාස්තෘන් වහන්සේ රූපය, වේදනාව, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය දුරු කිරීමට දහම් දෙසන්නේ මොන විදිහේ ආනිශංස දැකල ද?’ කරුණු විමසයි. රූපය කෙරෙහි ඇති රාගය දුරු කළ, කැමැත්ත දුරු කළ, ප්‍රේමය දුරු කළ, පිපාසය දුරු කළ, දාහය දුරු කළ, තණ්හාව දුරු කළ කෙනකුට ඔහුගේ ඒ රූපය වෙනස් වෙලා යද්දී, වෙනස් ස්වභාවයකට පත්වෙද්දී ඔහු තුළ සෝක වැලපීම්, දුක් දොම්නස්, සුසුම් හෙළීම් ඇතිවෙන්නේ නැත. වේදනාව, සඤ්ඤාව, සංඛාර, විඤ්ඤාණය කෙරෙහිත් මේ අකාරයේ ආනිසංස වෙයි. මේ දැක්ම පුද්ගල සාමකාමිත්වය, සාමාජ සාමකාමිත්වය ගොඩනඟන අවස්ථාවකි. බොහෝ අය සිතන්නේ අල්ලා ගැනීම තුළ සතුට ඇති බවයි. එසේ වුවත් රාමුවෙන් බැහැරව චින්තනය යොමු කළොත් සැබෑ සතුට පවතින්නේ අත හැරීම තුළයි.

පුද්ගලයා අල්ලා ගැනීම තුළ දුක, දොම්නස, අසහනය ඇති කරන අතර, අතහැරීම තුළ ගොඩ නඟන්නේ සතුටයි.

සපත්තු මහන මිනිසෙක් විසී ය. මොහු සපත්තුවක් මසා දෛනික ආදායමක් ලබයි. එයින් ඔහු තම අවශ්‍යතා, සමාජ අවශ්‍යතා, ඉටුකරමින් සතුටින් සිටියි. ඔහු කෙරෙහි කාරුණික වූ අයෙක් ඔහුට මසුරන් සියයක් දෙයි. මසුරන් සියය ලද දවසේ සිට ඔහුගේ සතුට නැති විය. සාමය නැති විය. නින්ද නැති විය. විවේකය නැති විය. ගැටුම් වැඩි විය. ඒ මසුරන් සියය ආරක්ෂා කර ගැනීමට ඔහු වෙහෙසීම හා වැඩි දියුණු කර ගැනීමට වෙහෙසීමයි.සපත්තු මහන තැනට මසුරන් දහස රැගෙන යයි. එය ආරක්ෂා කරයි. එන අය සැක කරයි. සොරු පැමිණෙතියි බිය වෙයි. ගෙදර ගිය ද එසේ ය. ගෙදර අය ද සැකයි. රාත්‍රියට නින්ද නොයයි. මසුරන් දහස නිසා දුක් කරදර ගොඩයි.

මෙය අවබෝධ කර ගත් ඔහු මසුරන් දහස දුන් අයට දී තමන්ගෙන් ඔහු ගත් සතුට විවේකය යළිත් ලබා ගත්තේ ය.

පව් කරන කෙනකුට මේ ජීවිතය තුළ දී ම සැප සේ දුකක් නැති ව, පීඩාවක් නැති ව දැවිල්ලක් නැති ව සිටින්නට හැකි නම්, කය බිඳී මරණින් මතු සුගතියෙහි ඉපදීමට හැකි නම්, භාග්‍යවතුන් වහන්සේ ඔය පාපී අකුසල් ප්‍රහාණය කිරීම වර්ණනා කරන්නේ නැත. එහෙත් පව් කරන කෙනකුට මේ ජීවිතය තුළ දී ම දුක සේ සිටින්නට, පීඩා සහිත ව කරදර සහිත ව, දැවිලි සහිත ව සිටින්නට වෙන නිසා, කය බිදී මරණින් මතු දුගතියේ උපදින්නට වන නිසා ම යි භාග්‍යවතුන් වහන්සේ මේ පාපී අකුසල් ප්‍රහාණය කිරීම ගැන වර්ණනා කළේ

කුසල් කරන කෙනකුට මේ ජීවිතය තුළ දී ම ජීවත් වෙන්නට සිදුවන්නේ දුක සේ නම්, පීඩා සහිත ව නම්, කරදර සහිත ව නම්, දැවිලි සහිතව නම්, කය බිඳී මරණින් මතු දුගතියෙහි උපදින්නට කැමැති වීම නම් සිදුවන්නේ, භාග්‍යවතුන් වහන්සේ මේ කුසල් කිරීම ගැන වර්ණනා කරන්නේ නැත. එහෙත් ඇවැත්නි, කුසල් දහම් උපදවා ගෙන වාසය කරන කොට සැප ලැබෙන නිසා ම ත්, දුකක් නැතිව පීඩා නැතිව, කරදර නැතිව දැවිලි නැතුව ජීවත් වෙන්නට හැකි නිසා ම ත්, කය බිඳී මරණින් මතු සුගතියෙහි උපත ලැබීම ට හැකි නිසාත් භාග්‍යවතුන් වහන්සේ මේ කුසල් දහම් උපදවා ගෙන එයට පැමිණ වාසය කිරීම ගැන වර්ණනා කළහ.

සුදනෙනි, දහමෙහි අරුත දැන ජීවිතයට සතුට ගෙන, ජීවිතයට, භව සසරට ජයග්‍රහණ එකතු කර ගනිමු. පරම නිවනින් සැනසෙමු.

මැදින් පුර අටවක

පෙබරවාරි 24 අඟහරුවාදා
පූ.භා. 07.04න් පුර අටවක ලබා
25 බදාදා පූ.භා. 04.53න් ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]