|
මැදින් පුර
අටවක පෝ දා 2026-02-24
සැමට සුවපත් දිවියක්
බෞද්ධයා සුවපත් ජීවිත ඇත්තෙකි. මහා
පිනැතියෙකි. එසේ කියන්නේ සහේතුකව ය. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ම
සසර මහා පිනක මහිමයකි. එසේ ඉපිද අඳ, ගොළු, බිහිරි නොවී, ආබාධ
රහිත ව ජීවත්වීම ද පිනකි. ශ්‍රී සද්ධර්මය ඇසෙන, බුද්ධෝත්පාද
කාලයක උපත ලැබීම ම අප්‍රමාණ පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයකි. සසර
පුරුදු කළ ඒ පින් තව තවත් වර්ධනය කරමින් යන ගමන් මඟේ
සුවිශේෂත්වය වන්නේ කෙලෙස් භරිත සිත ටිකෙන් ටික නිදහස් බවට පත්
කර ගන්නට වෙර වීරිය වැඩීම ය.
සැබෑ බෞද්ධයාගේ ජීවන මඟ සරල ය. සාමකාමී ය.
ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ආදී දැවිලි සහිත සිතිවිලිවලින් හෙතෙම
පීඩා නොවිඳී. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ජීවිතය ආගාධයට ගෙන
යනු වෙනුවට ඒ අකුසල මූලයන් සිඳලන්නට ඔහු ධර්ම මාර්ගයට පිවිසී
සිටී. ඒ තුළ ත්‍රිවිධ ශික්ෂණය පුරුදු කරමින් සිටී.
ත්‍රිවිධ ශික්ෂණය නම් කය සංවර කර ගැනීම ය.
වචනය සංවර කර ගැනීම ය. මනස සංවර කර ගැනීම ය.
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ථ සංවරෝ
සබ්බත්ථ සංවුතො භික්ඛු
සබ්බ දුක්ඛා පමුච්චතී
ධම්මපදයේ එන මේ ගාථා ධර්මයට අනුව කාය, වාග්,
මන යන ත්‍රිවිධ ශික්ෂණය ඇති භික්ෂූන් වහන්සේ සියලු ලෞකික,
ලෝකෝත්තර දුකින් නිදහස් වේ. එනම් බුදු දහමේ පරමාර්ථය වන උතුම්
නිවන සාක්ෂාත් කරයි.
භික්ෂූන් වහන්සේ උදෙසා දේෂිත වුව ද, ගිහි
බෞද්ධයා ද මේ ධර්මතා ප්‍රගුණ කළ යුතු ය. එය කෙළවරක් නැති දුක්
නිමා කර සසර මඟ කෙටි කර ගනු පිණිස ය.
ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරය ආදී ලෙස
කය මෙහෙයවා සිදු කරන අකුසල තුනකින් හා වචනයෙන් සිදුවන අකුසල
හතරකින්, මනසින් සිදුවන අකුසල තුනකින් වැළකී සිටීම මේ ගාථා
ධර්මය අනුව විස්තර කෙරේ. දස අකුසල් යනු ඒ වැරැදිය.
වැරැදි කී පමණින් බොහෝ දෙනකු ප්‍රගුණ කර
සිටින්නේ තමන්ගේ නොව අනුන්ගේ වැරැදි දකින්නට ය. අනුන් විවේචනය
කරන්නට ය. ඒ තුළ තමන්ගේ ත්‍රිවිධ ද්වාරයෙහි ශික්ෂණයක් ලද
නොහැකි ය. අනුන්ගේ වැරැදි පෙන්වන්නට එක් ඇඟිල්ලක් දිගු කරන කල
තමන්ගේ හස්තයෙහි ඇඟිලි හතරක් ම ඉලක්ක වන්නේ තමන් දෙසට ය. එය
කල්පනාවට ගනිමින් තමන්ගේ වැරැදි දකින්නට පුරුදු පුහුණු වීම
තමන් යන ගමනට වැඩදායක ය. තමන්ගේ සිතන දේ, දරන ආකල්ප, කරන කියන
දේ ගැන දෙවරක් නොව කිහිප අවස්ථාවක් ම සිතා කටයුතු කරනවා නම්,
තමන් තමන් ගැන සිහි බුද්ධියෙන් අවබෝධයෙන් සිටිනවා නම් වැරැදි
නිවැරැදි කර ගෙන යහපත් ජීවිතයකට යෑම අපහසු නොවේ. |