[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 44 කොටස: සත්‍ය අවබෝධය අත්පත් කර ගන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 44 කොටස:

සත්‍ය අවබෝධය අත්පත් කර ගන්න

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

සොරාගත් ඇසිල්ල

නාස්ති වූ කාලයක් කියා දෙයක් අත්දැකීම් බහුල භාවනායෝගියකුට නැත. ඔබගේ දිනය තුළ ඇති නීරස ඉඩ අවකාශයන් ඵලදායී බවට පත් කළ හැක. සෑම මොහොතක් ම භාවනාව සඳහා පාවිච්චි කළ හැක. සිත් තැවුලෙන් දන්ත වෛද්‍යවරයා හමුවීමට තමාගේ වාරය එනතුරු සිටින විට කාන්සාව ඔබගේ භාවනා අරමුණ ලෙස යොදා ගන්න. නොරිස්සුම් ගතියෙන් බැංකුවේ පෝලිමේ සිටින විට නොරිස්සුම් ගතිය පිළිබඳ භාවනා කරන්න. කම්මැලිකමින් බස් නැවතුමේ සිටින අතර කම්මැලිකම භාවනා අරමුණ කර ගන්න. දවස පුරා ම සෝදිසියෙන් හා අවදිමත් බවෙන් සිටීමට උත්සාහ ගන්න. ඉතා අප්‍රිය, වෙහෙසකර කාර්යයක් අතරතුර වුව ද මේ මොහොතේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ සිහියෙන් සිටින්න. ඔබ තනිව සිටින කාලයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න. විශාල වශයෙන් යාන්ත්‍රික වූ කාර්යයන්ගෙන් වාසි ලබා ගන්න. සෑම තත්පරයක දී ම සිහියෙන් සිටීම සඳහා යොදාගත හැකි සියලුම කාලය පාවිච්චි කරන්න.

සිත එකඟ කිරීම

උදෑසන නින්දෙන් පිබිදුණු මොහොතේ හටගන්නා මුල් හැඟීමේ සිට රාත්‍රියේ නින්දට වැටෙන්නට පෙර අවසාන සිතිවිල්ල දක්වා දවස පුරාම සිහිය පවත්වා ගන්න. මෙය විශ්වාස කළ නොහැකි තරම් විශාල ඉලක්කයකි. ඉතා ඉක්මනින් එතැනට ළඟාවීමට බලාපොරොත්තු නො වන්න. සෙමෙන් ඔබගේ හැකියාවන් වර්ධනය වීමට ඉඩ හරින්න. ඔබගේ දවස කොටස්වලට වෙන්කර ගැනීමෙන් මෙය පහසු වනු ඇත. ඔබගේ ඉරියව් ගැන සෝදිසියෙන් සිටීමට කාල සීමාවක් මුලින් වෙන්කර ගෙන පසුව එය ආහාර අනුභවය, සේදීම, ඇඳුම් ඇඳීම වැනි ක්‍රියාවන් සිහියෙන් කිරීම දක්වා දීර්ඝ කර ගන්න. දවස තුළ දී මතුවෙන ප්‍රසන්න, අප්‍රසන්න හා උදාසීන මානසික තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා පැය කාලක් පමණ වෙන්කරන්න. මෙවන් දින චර්යාවන් ඔබට සරිලන පරිදි සකස් කර ගන්න. විවිධ ක්‍රියාවන් දැන ගැනීම හා පූර්ණ සිහිය දවස පුරාම පවත්වා ගැනීමට පුහුණුවීම මෙහි අරමුණ ය.

වාඩි වී භාවනා කිරීම හා අනෙකුත් දෛනික කටයුතු අතර වෙනස අවම වන ආකාරයෙන් දිනපතා වැඩපිළිවෙලක් සැලසුම් කර ගැනීමට උත්සාහ කරන්න. එකක් අනෙකට ස්වභාවිකව පැමිණෙන්නට ඉඩ දෙන්න. ඔබගේ සිරුර කිසිවිටෙකත් නිසොල්මනේ නො පවතියි. සෑම අවස්ථාවක ම නිරීක්ෂණය කිරීමට චලනයක් එහි ඇත. අවම වශයෙන් හුස්ම ගැනීම හෝ ඇත. ඉතා ගැඹුරු සමාධියේ දී හැරුණු විට ඔබගේ සිතේ දොඩමළු බව කිසිවිටෙකත් නො නවතී. සැබැවින්ම භාවනාවේ යෙදෙන විට අවධානය යොමු කිරීමට දේ කිසිදිනෙක අඩු නොවනු ඇත.

එදිනෙදා ජීවිතයේ දී භාවිත කළ හැකි අයුරින් ඔබගේ පුහුණුව සකස් කර ගත යුතුයි. ඔබ ඔබගේ විද්‍යාගාරය යි. ඔබගේ පුහුණුව ගැඹුරු හා අව්‍යාජ වීම සඳහා අවශ්‍ය ගැටලු හා අභියෝගය එය ඔබට ලබාදෙයි. ඔබගේ රැවටිලි හා වැරැදි පවිත්‍ර කරන ගින්න වන එය, ඔබ දියුණුවක් ලබන බව හෝ ඔබවම රවටා ගන්නා බව පෙන්වා දෙන පරීක්ෂකයකු වෙයි. ඔබගේ එදිනෙදා ජීවිත සටනට හා ගැටීම්වලට උපකාරී නොවන භාවනාව නො ගැඹුරු ය. එය ඔබගේ එදිනෙදා ආවේගී ප්‍රතික්‍රියා වඩාත් පැහැදිලි හා පහසු නො කරන්නේ නම් ඔබ කාලය නාස්ති කරයි. ජීවිතයේ අනෙක් අංගයන් නිවැරැදි කර නො ගන්නේ නම් ඔබගේ භාවනා පුහුණුවේ දියුණුව ඔබට කිසි දිනෙක දැක ගන්න නො ලැබෙනු ඇත.

සිහිය පුරුදු කිරීම සමස්ත කාලික ක්‍රියාවලියක් යැයි කියනු ලැබේ. එය සමහර කාලයකට පුරුදු කරන ඉතිරි කාල පරිච්ඡේදවල අතහරින දෙයක් නොවේ. එය සෑම විටෙකම කළ යුතු දෙයකි. ශබ්දයක් නෑසෙන එක්ටැම් කුටියක් තුළ සාර්ථක ව කරන භාවනාව නො දියුණු තත්ත්වයක පවතින්නකි. විපස්සනා භාවනාව මොහොතින් මොහොත සිහිය දියුණු කිරීමයි. මනසේ ඉපැදෙන, වැඩෙන හා නැසී යන සියලු දේ වෙත අවධානය යොමු කිරීමට භාවනාව පුරුදු කරන්නා ඉගෙන ගනියි. ඒ කිසිවකින් පලා නො යන ඔහු කිසිවකට බේරි යාමට ද ඉඩ නොදෙයි. සිතිවිලි, හැඟීම්, ක්‍රියාකාරකම් හා ආශාවන් ඇතුළු සියලුම දේ මෙයට ඇතුළත් වේ. ඔහු සියලුම දේ නොකඩවා නිරීක්ෂණය කරයි. ඒවා ආකර්ශනීය හෝ බියකරු හෝ සුන්දර හෝ නින්දිත ද හෝ යන්න ගැටලුවක් නොවේ. එය ඇති සැටි හා එහි වෙනස්වීම ඔහු දකියි. කිසිම පැත්තක් මඟ නො හරියි. එය අංග සම්පූර්ණ ක්‍රියාවලියකි.

ඔබ දිනපතා වැඩකටයුතුවල නිරතවෙමින් සිටිය දී නීරස උදාසීන භාවයක් අත්දකියි නම්, එම ස්වභාවය ඔබගේ භාවනා අරමුණ කර ගන්න. එය ඔබට දැනෙන්නේ කෙසේද? එය ක්‍රියාකාරී වන්නේ කෙසේ ද? එය සෑදී ඇත්තේ කුමකින් ද, කියා සොයා බලන්න. ඔබ කෝපයට පත් වූ විට කෝපය පිළිබඳව භාවනා කරන්න. එහි යාන්ත්‍රණය ගවේෂණය කරන්න. එයින් පලා නොයන්න. ඔබ මානසික පීඩනයට හසු වී ඇතිවිට ඒ පිළිබඳ භාවනා කරන්න. බැඳීමෙන් තොර විමර්ශනාත්මක ආකාරයට එය පරීක්ෂා කරන්න. අන්ධ ලෙස එයින් ඉවත්ව නොයන්න. එහි පැටලිලි ගමන් මඟ ගවේෂණය කර එහි මාර්ග රූප සටහන්ගත කරන්න. මෙම ක්‍රමය නැවත ඔබ මානසික පීඩනයට හසු වූ විට එය සමඟ ගනුදෙනුව පහසු කරයි.

ඔබගේ ජීවිතයේ දුක සැප දෙක හරහා භාවනාත්මක ව ගමන් කිරීම විපස්සනා භාවනාවේ ප්‍රධානතම අරමුණයි. මෙබඳු පුහුණුවක් ඉතා දුෂ්කර හා අභියෝගාත්මක වන නමුත් කිසිවකට නො දෙවෙනි මානසික නම්‍යශීලී බවක් එය විසින් උපදවයි. භාවනානුයෝගියා තම මනස සෑම තත්පරයක දී ම විවෘත ව තබා ගනියි. ජීවිතය දෙස බැඳීමෙන් තොරව විමසිල්ලෙන් බලමින් නිරතුරුවම තමාගේ අත්දැකීම් හා ජීවිතය පරික්ෂාවට භාජන කරයි. එමනිසා ඕනෑම ආකාරයකට ඕනෑම මූලාශ්‍රයකින්, ඕනෑම වේලාවක පැමිණෙන සත්‍යයට ඔහු විවෘතව සිටියි. විමුක්තිය සඳහා ඔබට අවශ්‍ය වන්නේ මෙවන් මනසකි.

භාවනාත්මක සූදානමක පවතින මනසක් හිමි තැනැත්තාට සත්‍ය අවබෝධය ඕනෑම අවස්ථාවක අත්කර ගත හැකි යැයි කියමනක් ඇත. සඳ දැකීම, කුරුල්ලකුගේ හඬ, ගස්වල වදින සුළඟේ හඬ වැනි ඕනෑම ඉතාමත් සාමාන්‍ය දැකීමක් මේ සඳහා උත්තේජනයක් විය හැකියි. දකින්නේ කුමක්ද යන්න නොව එම දැකීමට ඔබගේ ප්‍රතිචාරය කුමක්ද යන්න වැදගත් වෙයි. විවෘත සූදානම් ස්වභාවය අත්‍යවශ්‍යයි.

ඔබ සූදානම් නම් මේ දැන් පවා එය සිදුවිය හැක. ඔබගේ අතට දැනෙන මෙම පොතේ ස්පර්ශය උත්තේජකයක් වීමට පුළුවන. මෙම වචන ඔබගේ සිතේ නඟන හඬ වුව ද සෑහේ. ඔබ සූදානම් නම් මේ දැන් වුව ද ඔබට සත්‍ය අවබෝධය අත්පත් කර ගත හැක.

මැදින් පුර අටවක

පෙබරවාරි 24 අඟහරුවාදා
පූ.භා. 07.04න් පුර අටවක ලබා
25 බදාදා පූ.භා. 04.53න් ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]