|
මහත් ඵල මහානිශංස ගෙන දෙන මෙත් සිත
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ විසින් අපිට පෙන්වා දෙනවා පින් කරන ආකාර තුනක් තිබෙන බව. දන්
පැන් දීමෙන් පින් රැස්වෙන විදිහත්, ඒ වගේම සිල් රැකීමෙන් පින් රැස් වෙන විදිහත්, ඒ
වගේම තමයි මෛත්‍රි භාවනාව පුරුදු කිරීමෙන් පින් රැස්වෙන විදිහත් භාග්‍යවතුන් වහන්සේ
පෙන්වා දෙනවා.
දන්පැන් දීමෙන් රැස්වෙන පිනට වඩා සිල් රැකීමෙන් රැස්වෙන පින මහත් බවත්. සිල්
රැකීමෙන් රැස්වෙන පිනට වඩා මහත් වූ පිනක් මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් රැස්වෙන
බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.
ආකාසයේ කොතරම් තරු තිබුණත්, ඒ තාරකාවලින් ආකාසය ආලෝකමත් වෙන්නේ ඉතාම මද වශයෙන්.
නමුත් යම් දවසක සඳ පායලා ඒ තාරකාවල ආලෝකය අභිබවා ආකාසය ආලෝකමත් වන්නේ යම් සේ ද, ඒ
වගේ ප්‍රමාණ කරන්නට බැරි තරම් මහත් වූ පිනක්, අග්‍ර වූ පිනක් මෛත්‍රී භාවනාව පුරුදු
කිරීමෙන් රැස්වෙන බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.
ඒ නිසා අපි මේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් එහෙම නැත්නම්, මෙත් සිත පුරුදු
කිරීමෙන් පින් රැස්කර ගන්නට අපි කවුරුත් පුරුදු වෙන්ට ඕන. මේක අමාරු දෙයක්. නමුත්
අපි පුරුදු කර ගත්තොත් ඒක කාටත් පහසු දෙයක් බවට පත්වෙනවා.
එහෙත් ආරම්භයේ දී අමාරු දෙයක් වගේ පෙනෙයි. ටික ටික මෙත් සිත පුරුදු කර ගත්තොත් ටික
ටික මෛත්‍රි භාවනාව පුරුදු කර ගත්තොත් අපි හොඳින් මෛත්‍රී භාවනාව කරමින්, මෙත් සිත
පුරුදු කරමින් මහත් සේ පින් රැස්කර ගන්නට පුළුවන් අය බවට පත්වෙනවා.
ගොඩක් අයට තිබෙන ගැටලුවක් තමයි, “අපිට භාවනා කරන්නට වෙලාවක් නැහැ” කියන කාරණාව.
ගෙදර දොරේ වැඩ රාජකාරි කටයුතු ආදි දේ නිසා බණ භාවනා කරන්නට වෙලාවක් නෑ කියන අදහස
ගොඩක් අය අතර තිබෙනවා. ඒ නිසා ම ඒ අය මේ මෙත් සිත පුරුදු කරමින්, මෛත්‍රී භාවනාව
පුරුදු කරමින් මහත් වූ පින රැස්කර ගන්නට තිබෙන අවස්ථාව මඟහැර ගන්නවා. හොඳින් අපි
කල්පනා කළොත්. මෛත්‍රී සිත පුරුදු කරන්නට වුවමනා තරම් කාලය අපට තිබෙනවා.
අපි ගෙදර දොරේ කටයුතු කරද්දී, දරුවන්ගේ කටයුතු කරද්දී, බිරිඳ ස්වාමියාගේ කටයුතු
කරද්දී එහෙම නැතිනම් රැකී රක්ෂා කරන ස්ථානයේ ඒ අදාළ කටයුතු කරද්දී, අපේ සිතේ මෙත්
සහගත සිතිවිලි පවත්වන්නට පුරුදු වුණොත්, එතකොට අපි මෛත්‍රි සිතෙන් යුක්තව වාසය කරන
කෙනෙක් බවට පත්වෙනවා. යම් කෙනකුට බැලූ බැල්මට මෙය අමාරු දෙයක් වගේ තේරෙයි.
එහෙත් ඉතාම පරිස්සමින් ටික ටික පුරුදු කර ගත්තොත් අපිට හොඳින් ම මෙත් සිත පුරුදු කර
ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ පින්වතුන් දිනපතා තම තමන්ගේ කටයුතු කරන කොට, ඒ
සෑම කටයුත්තක්ම මෙත් සිත පදනම් කරගෙන මෙත් සිතින් යුක්තව කරන්නට පුරුදු වෙන්නට.
එතකොට මේ පින්වතුන්ට මෙත් සිත පුරුදු කිරීමෙන් පින් රැස්කර ගන්නට තරම් වාසනාව උදා
වෙනවා.
මෙය ආරම්භයේ දි අමාරු වුවත්, කලක් හොඳින් පුරුදු කළොත් එහෙම නිරන්තරයෙන් මෙත්
සිතින් යුක්තව වාසය කරන්නට අපට පුළුවන්කම ලැබෙනවා.
ඒ නිසා ගෙදර දොරේ කටයුතු වේවා, රැකී රක්ෂා කරන තැන්වලදී කරන කටයුතු වේවා, අන් අයට
යහපතක් වේවා. අන් අයගේ සුවපත් භාවයට උපකාර වේවා. කියන හැඟීම ඇතිව කරන්න.
ගෙදර දොරේ කටයුතු කරද්දී, “මම මේ කරන වැඩකටයුතුවලින් මේ ගෙදර දොරේ වසන අය. ගෙදරට එන
අය සුවපත් වේවා. ඒ අයගේ සුවපත් භාවයට උපකාර වේවා. කියන හැඟීම උපදවා ගන්න ඒ හැඟීමෙන්
යුක්තව ගෙදර දොරේ කටයුතු කරනවා නම් රැකියා කරන තැන ඒ රාජකාරි කටයුතු මෙත් සිතින්
යුක්තව කරනවා නම් ඔහු නිරන්තරයෙන් මෛත්‍රිය පුරුදු කරන කෙනෙක් බවට පත්වෙනවා.
ඒ විදියට නිතර මෛත්‍රි සිතින් වාසය කළොත් එයාට මෙත් සිත පුරුදු කිරීමෙන් රැස්වෙන
පින උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට මෙත්
සිත පුරුදු කරමින් මහත් වූ ආනුභාව සහිත, මහත් වූ ඵල විපාක සහිත පින් රැස් කර ගැනීමට
අපට සිත් පහළ වේවා.
මෛත්‍රී භාවනාව
මෛත්‍රිය කියල කියන්නේ තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වය යි. තමා තමාට
මිත්‍ර නම් තමා විසින් තමන්ගේ ජීවිතයට හානියක්, කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට
මිත්‍ර නම් අනුන්ගේ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත
සලසන මිත්‍රත්වයට මෛත්‍රිය කියනවා. මෛත්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ක්‍ධිම නිකායේ
අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම
දෙකක් පිළිබඳ ව පැහැදිලි කරල දීල තියෙනවා. ඒ තමයි අප්පමාණ චේතෝ විමුක්තිය සහ මහග්ගත
චේතෝ විමුක්තිය.
අප්පමාණ චේතෝ විමුක්තිය
අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෛත්‍රී සිත පැතිරවීම
යි. ඒ කියන්නේ දිශා වශයෙන් වෙන් කර ගෙන දස දිසාවට ම මෛත්‍රීය වැඩීම යි. අප්‍රමාණ
ක්‍රමයට මෛත්‍රී භාවනාව කරන්නට කැමති කෙනකුට මේ භාවනා වාක්‍ය කටපාඩම් කරගෙන මෛත්‍රී
භාවනාව වඩන්න පුළුවන්.
1.උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඉරිසියා
නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුව සේ ජීවත් වෙත්වා.
උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඉරිසියා
නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුව සේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට
පත්වෙත්වා. ඒ ආකාරයට
උතුරු අනු දිශාවේ සිටින සියලු සත්වයෝ....
නැඟෙනහිර දිශාවේ සිටින සියලු සත්වයෝ.....
නැඟෙනහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ..........
දකුණු දිශාවේ සිටින සියලු සත්වයෝ........
දකුණූ අනු දිශාවේ සිටින සියලු සත්වයෝ.........
බටහිර දිශාවේ සිටින සියලු සත්වයෝ.........
බටහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ....
උඩ දිශාවේ සිටින සියලු සත්වයෝ..........
යට දිශාවේ සිටින සියලු සත්වයෝ............
දස දිසාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා
නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුව සේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට
පත්වෙත්වා.
මහග්ගත චේතෝ විමුක්තිය
මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත්‍රීය වඩන ප්‍රදේශය පුළුල් කරමින්
මෛත්‍රීය වැඩීම යි. ඒ කියන්නේ පළමුවෙන් ම තමන්ට මෛත්‍රීය වඩනවා. ඊළඟට ගමේ අයට,
පළාතේ අයට තමන් ජීවත් වෙන රටේ අයට මෛත්‍රීය වඩනවා. මෙන්න මේ ක්‍රමයට මෛත්‍රී භාවනාව
වඩන්න කැමැති කෙනකුට මේ භාවනා වාක්‍ය ටික කටපාඩම් කරගෙන මහග්ගත ක්‍රමයට මෛත්‍රීය
වඩන්න පුළුවන්.
මම වෛර නැත්තෙක් වෙම්වා.....
තරහ නැත්තෙක් වෙම්වා.
ඉරිසියා නැත්තෙක් වෙම්වා.........
සුව සේ ජීවත් වෙම්වා.....
ශාන්ත සුවයට පත්වෙම්වා
මා මෙන් ම මේ ගමේ සිටින
සියලු සත්වයෝ
මා මෙන්ම මේ නගරයේ සිටින
සියලු සත්වයෝ
මා මෙන් ම මේ පළාතේ සිටින
සියලු සත්වයෝ
මා මෙන්ම මේ රටේ සිටින
සියලු සත්වයෝ
මා මෙන්ම මේ ලෝකයේ සිටින
සියලු සත්වයෝ
මා මෙන්ම මේ සියලු සත්වයෝ ම
පෙර ආකාරයට වඩන්න.
මෛත්‍රි ධ්‍යාන දක්වා
මෛත්‍රී භාවනාවෙන් තුන් වෙනි ධ්‍යානය දක්වා ම හිත දියුණුූ කරන්න පුළුවන්. මෛත්‍රි
භාවනාව තුළින් ධ්‍යානයක් ඇති කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන ආකාරයට
ම භාවනා කළ යුතුයි. මේ ක්‍රමයට මෛත්‍රී භාවනාව වඩන කොට පංච නීවරණ යටපත් වෙලා
මෛත්‍රී අරමුණ තුළ ම හිත එකඟ වෙනවා. ඒ එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත්‍රී භාවනාව
වඩන කොට වීතක්ක, විචාර, නිරාමිස පී‍්‍රතිය සැපය හා ඒකාග්‍රතාව ඇති පළමු වෙනි
ධ්‍යානය ලැබෙනවා. ඔහුට පුළුවන් තවදුරටත් මෛත්‍රී භාවනාව දියුණු කරලා දෙවෙනි,
තුන්වෙනි කියන ධ්‍යාන ලබන්න.
මෛත්‍රී භාවානවේ අනුසස්
අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේ දි මෛත්‍රී භාවනාව කරන කෙනකුට ලැබෙන ආනිසංස
ඉතා ම පැහැදිලිව පෙන්වා දී තියෙනවා. ඒ තමයි මෛත්‍රි භාවනාව වඩන පුද්ගලයා.
සැප සේ නිදාගන්නවා.
සැප සේ අවදිවෙනවා
නිදා සිටින විට නපුරු හීන දකින්නෙ නෑ
මිනිසුන්ට පි‍්‍රය වෙනවා
අමනුෂ්‍යයින්ට පි‍්‍රය වෙනවා
දෙවිවරු ඔහු ව ආරක්ෂා කරනවා
වස විෂ, අවි ආයුධවලින් විපත් සිදු වෙන්නෙ නැහැ
සමාධිය ඉක්මනින් ම ඇති කර ගන්න පුළුවන්
ශරීර වර්ණය පැහැපත් වෙනවා
සිහි මුළා නො වී මරණයට පත් වෙනවා
මේ ජීවිතයේ අරහත්වයට පත් වුණේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. |