අපාය
සිහිකිරීම උපායකි
ආසභ මහසිංහ
නරකාදිය හෙවත් නිරය ගැන අදහසක් අපට සංස්කෘතියෙන් ම දායාද වෙයි. කුමක් ද නරකය? එය
පියවි ඇසට නොපෙනෙන ලෝකයකි.
නොයා යුතු තැනකි. කටුක දුක්වලින් පිරුණකි. එහි ආයතනික ව්‍යූහය ගැන සිතින් ඇඳගත් දළ
සටහනක් ද අප සතු ය. යම රජු නිරයේ පාලකයා වෙයි. යමපල්ලෝ ඔහුගේ සහායකයෝ වෙති. නිරයෙහි
උපන් අයට වධ දෙනු ලබන්නේ යමපල්ලන් විසිනි. මේ ක්‍රියාපටිපාටිය දෙස අද සමහරු සරදම්
බැලුම් හෙළති. කොතෙකින් ද යත්, යමරජු සහ යමපල්ලන් අද වන විට හාස්‍යොත්පාදක
නිර්මාණවල චරිත බවට පත්ව තිබේ. සිතන්න. පේ‍්‍රක්ෂකාගාරයේ සිනාවෙන් හෑල්ලු වන්නේ
බැරෑරුම් නිරය සංකල්පය යි.
නිරය යනු විහිළුවක් නොව භීතිය දනවන සංකල්පයකි. බණදහම් දන්නා අපි එහි ඇති භීතිය
පිළිගනිමු. එහෙත් නිරයේ භීතිය තමන් කරා නොව, අනුන් කරා පමණක් එතැයි සිතන්නෝ අප අතර
හිඟ නොවෙති. ඔවුහු ස්වයං සාධාරණීකරණයකින් තමන්ගේ පාපය සඟවති. අනෙකාට නිරය නිර්දේශ
කරන්නට පසුබට නොවෙති. නුරුස්නා හඬින් පිට වෙන, “මොවුන්ට යන්න අලුතෙන් අපායක් හදන්න
ඕනෑ!” වැනි කියමනක ඇත්තේ, අනෙකා නිරයේ දී මට්ටු වෙතැයි යන හැඟීමයි. අනෙකාට නිරය
වේවා’යි අනියමින් පතන එය සාපයක් මෙනි.
තවෙකකු ලබන නිරා දුකක් ගැන සිතා අයෙක් සතුටු වෙති. නිදසුනක් මෙසේ ය.
දෑවුරුද්දකට පමණ ඉහත එක්තරා විකට නිරූපිකාවක විසින් සුදොවුන් රජුටත්, සිදුහත්
සිරිතටත් අපහාස කරන ලදැයි ආන්දෝලනයක් විය. එම සිද්ධියෙහි උණුසුම මැද, අවශේෂ වෙසක්
කලාප කිහිපයක අපාය දර්ශනවල දී ඇගේ රුව නිරයේ පැසෙන සෙයක් ප්‍රදර්ශනය කෙරිණි. මේ
අපාය නරඹන පේ‍්‍රක්ෂකයන් සියුම් කුරිරු සතුටකින් යුතු ව, තවකකු කෙරෙහි බලපවත්වන
ත්‍රාසයක් රසවිඳින්නට ඇතැයි සිතිය නොහැකි ද? සිය පුහුදුන් සිතේ කුරිරු මානසික කලාපය
සංතර්පණය කර ගන්නටත් අද ඇතැමුන් නිරය සංකල්පය පාවිච්චි කරන බව පෙනේ. ඒ, අද පමණක්ද?
පන්සලේ සිතුවමකින් හෝ ඇඹීමකින් හෝ නිරූපිත සාහසික නිරාදුක් දැක සංවේගය උපදවා ගනු
වෙනුවට, ත්‍රාසජනක චිත්‍රපටයකින් ලැබෙන ආස්වාදය ලැබූ සුළුතරයක් නමුත් පෙරත් ඉන්නට
ඇති.
අප අතින් නොයෙක් තැන්වල දී අවභාවිත වූ නිරය සංකල්පය, සැබැවින් ම යොදාගත යුත්තේ
කුමටද? අවංකව ම තමන් දෙස හැරී බැලීමටයි. කෙසේවත් අනෙකා විනිශ්චය කිරීමට නොවේ. නිරය
සංකල්පය එසේ හදවතින් ම වැලඳගන්නා පුද්ගලයකුට එය තමන්ගේ ප්‍රශ්නයකි. බොහෝ දෙනා
උත්තරය ලෙස තෝරා ගන්නේ පින්කම්වල යෙදීමයි. පින්කමකින් සුගතියට ගිය, දුගතිය මඟහැර
ගිය අයගේ පුවත් බණකතාවලත් කියැවේ. මනෝරථපූරණී අට්ඨකථාවේ එන සිදුවීමක් මෙසේ ය.
“දීඝජන්තු නමැති දෙමළ ජාතිකයා දිනක් සුමනගිරියෙහි ආකාස චෛත්‍යයට රතුපාට රෙදිපටක්
පිදුවේ ය. රෙදිපට සුළඟේ ලෙලෙන විටදී හඬක් පිටවිය. පසු කලෙක දීඝජන්තු සිහිමුළාවෙන්
මියැදී නිරයට වැටුණේ ය. එවිටම ඔහුට උස්සද නිරයේ ගිනිදැල්වල හඬ ඇසිණි. තමන් විසින්
පුදන ලද රෙදි පටෙහි හඬත් වහා සිහිපත් විය. පින්කම සිහිවූ හෙයින් දීඝජන්තු නිරයට
නොගොස් සුගතියෙහි උපන්නේ ය. මෙසේ එක් වතාවකට, සුගතියත්, දුගතියත් අතර කඩඉම ජය ගන්නට
දීඝජන්තුට හැකි විය.
එහෙත් ඉඳහිට කරන පින්කමකින් සුගතිය ලැබෙන තුරු බලා සිටීම භයානක සූදුවක් මෙනි.
සූදුවකින් ජයක් ලැබීමට යම් ඉඩක් ඇති නමුත් අඩමාන දිනුමකට සිය ජීවිතයෙන් ලංසු තැබීම
සුබ නැත.
නිරයේ නූපදින්නට නම් පින්කම් කළ යුතු බවට මතයක් අපේ සිතට තදින් කා වැදී ඇත.
පින්කමක් මාර්ගයෙන් නිරයෙන් මිදීමට ලැබෙන අඩමාන අවස්ථාව මෙතරම් ප්‍රවර්ධනය වූයේ
කෙසේද? වේදනාකාරී දුගතියක් සහ පී‍්‍රතිමත් ස්වර්ගයක් පෙන්වීමෙන්, අනුගාමිකයන් සිය
ආගමික සංස්ථාව තුළ රඳවා තබා ගැනීම සංවිධානාත්මක ආගම්වල පොදු ලක්ෂණයකි. ජනපි‍්‍රය මඟ
පෙන්වීම අනුව, ආගමික සංස්ථාව විසින් නිර්දේශ කරනු ලබන කටයුතු සඳහා මුදලින් සහ
ශ්‍රමයෙන් වැයබර යොදන්නාට දුගතියෙන් ගැලවෙන්නට පුළුවන. අනුගාමිකයන් සුගතියට යැවීම
කෙසේ වෙතත්, ආගමික සංස්ථාවෙහි පැවැත්ම අතින් මේ ක්‍රමය ඵලදායක ය. සිතේ පැහැදීම
වෙනුවට, භෞතික ව කරන දෙයක් මෙහිදී අවධාරණය කෙරේ. එහෙත් සසර ගමනට අදාළ වන්නේ පින්කමක
ඇති පින් සිතයි.
දැන් අපි බුදු වදන දෙසට හැරෙමු. යමකු නිරයට වැටෙන්නේ ඇයි? අංගුත්තර නිකායේ දසක
නිපාතයෙහි එන ‘පඨම නිරය සූත්‍රය’ මෙයට ඍජු පිළිතුරක් දෙයි. දුශ්චරිතවත් පුද්ගලයා
නිරයට වැටෙයි. එම දුසිරිත් මොනවාද? ප්‍රාණඝාතය, සොරකම සහ අයථා කාමසේවනය යනුවෙන්
කයෙන් කෙරෙන දුසිරිත් තුනකි. වචනයෙන් කෙරෙන දුසිරිත් හතරක් වෙයි. බොරු කීම, කේළාම්
කීම, පරුෂ බසින් බැණීම සහ හිස් ප්‍රලාප දෙඩවීම යනුවෙනි. අන් සතු දේට ගිජු වීම,
අනුන් කෙරෙහි වෛර බැඳීම සහ දැඩි භෞතිකවාදී මිථ්‍යා මත දැරීම යනුවෙන් මනසින් කෙරෙන
දුසිරිත් තුනකි. දුශ්චරිතයෙන් වැළකී, එයට ප්‍රතිවිරුද්ධ වූ සුචරිතයෙහි යෙදීම
සුගතියට යන මඟයි. සුචරිතයෙන් සුගතියට යන මේ නිසැක මඟ තිබිය දී, වැඩිදෙනා පින්කමෙන්
සුගතියට යන අඩමාන මඟම තෝරාගන්නේ ඇයි? දැහැමිකම චරිතයෙන් සපයා ගන්නවාට වඩා, කැමැති
විටෙක පින්කමක් කිරීම පහසු වන හෙයිනි.
‘අපායභය පච්චවෙක්ඛණතා’ - බියකරු අපාය ගැන සිහිකිරීමෙන් ශාසනික වීර්යය උපදී. අපාය
සිහිකිරීම උපායකි. බියකරුම අපාය වන්නේ නිරය යි. මේ ජීවිතය දුසිරිතට වැය කළොත්
පරලොවදී නිරාදුක් ලැබේ. පරලොව අනතුර ගැන මෙසේ පුන පුනා සිහිකැඳවා ගත්විට, සුචරිතවත්
වීමට අවංක වුවමනාවක් හටගනී. සියල්ලන්ට ම වඩා, සංසාරයෙන් නික්මෙන්නට වෑයම් කර
ගන්නන්ට නිරය සංකල්පය පිහිටකි. මෙලොව දුසිරිතෙන් වැළකීමෙන් මතු භවයේ දී සුගතියට
ගියත්, සසර සැරිසරන කාටත් නිරයෙන් නිදහස් වුණැයි යන සහතිකය නොලැබේ. සසරෙහි පමාණවන
කාගේත් මහගෙදර සතර අපාය යි. එහෙයින් නිවන් මඟ වැඩීමට වෙර දැරිය යුතුයි. අධිකුසලයෙහි
යෙදෙන්නට සිත කම්මැලි වෙද්දී, නිරය සංකල්පයෙන් කොනහා සිහි ඵළවාගත හැකියි.
‘දාරුං නමයන්ති, තච්ඡකා , අත්තානං දමයන්ති පණ්ඩිතා’ දැවයෙන් යමක් තනන වඩුවන් මෙන්,
නුවණැත්තෝ සිය ආත්මය දමනය කර ගනිති. සුගතියෙන් සහ නිවනින් ජීවිතයක් අලංකාරවත් වන්නේ
ආත්ම දමනය නමැති කැටයම හේතුවෙනි. නිරය සංකල්පය යනු මේ වඩුකමට උපකාරවත් වන
ආම්පන්නයකි. |