[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නවම් පෝදාක...

නවම් පෝදාක...

අසිරිමත් පුණ්‍ය පාරමී ගුණය පුරවා ලොවට පහළ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ මුළු දිවිය ම ආශ්චර්යයෙන් පිරී පවතී. සම්බුදු සිරිතෙහි වැඩිමනත් විශේෂ සිදුවීම් පොහෝ දිනවලම යෙදීම ද එක්තරා අසිරියකි. නවම් පුන් පොහෝ දින කිහිප කරුණක් නිසා සුවිශේෂී වේ.

* සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතුන් වහන්සේට අග්‍ර ශ්‍රාවකත්වය ලබා දීම.

* ප්‍රථම සංඝ සන්නිපාතය සහ ඕවාද ප්‍රාතිමෝක්ෂය.

* බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණය අත්හැරීම, සිහි කළයුතු විශේෂ සිදුවීම් ය.

එදින නවම් මස පුන් පොහෝ දිනකි. අප සම්බුදු රජාණෝ බුද්ධාසනය අරා වැඩ සිටිති. උරුවේල කාශ්‍යප තෙරුන්, නදී කාශ්‍යප තෙරුන්, ගයා කාශ්‍යප තෙරුන් සිය පිරිසේ සිට පැවිදි වූ දහසක් භික්ෂු සංඝයා පෙරටුව වැඩ සිටිති. රන්වන් කිනිහිරියා මල් පැහැයෙන් බබළමින් සාරිපුත්ත මුනිඳාණෝ ද, නිල්මහනෙල් මල් පැහැයෙන් බබළමින් මොග්ගල්ලාන මුනිඳාණෝ ද සිය පිරිසෙහි සිට පැවිදි වූ දෙසිය පනහක් භික්ෂු සංඝයා පෙරටු කොට වැඩ සිටිති. එක්දහස් දෙසිය පනහක් වූ ගෞතම සම්බුදු සසුනේ ප්‍රථම සංඝ සන්නිපාතයයි මේ.

ධතරාෂ්ට හංසරාජයා පිරිවරා ගත් ශ්වේත රැස් විහිදෙන හංස සමූහයක් සේ, තරු පිරිවරා ගත් පුන්සඳ මඬලක් සේ මගධයේ රජගහනුවර වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහරහත් මුනිවරුන්ගෙන් බැබළී ගියේ ය. සම්බුදු රජාණෝ ඒ පිරිසෙහි වැඩ සිටි සිය පුත්‍රයන් දෙදෙනකුගේ අතීත කෘතපුඤ්ඤ ලක්ෂණයන් බුදු ඇසින් විමසා වදාළහ.

පුෂ්පාසන, පුෂ්ප ඡත්‍ර පිදීමේ පින. මෙයින් එක් අසංඛෙය්‍යකුත් තවත් කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී සම්මා සම්බුදුරජුන් වැඩ සිටි සේක. සරද නම් මානවකයෙක් මහාසාර බ්‍රාහ්මණ පවුලක උපන්නේ පියාගේ ඇවෑමෙන් කුලය සතු ධනය බලා සසරෙහි අස්වැසිලි රහිත බව නුවණින් සලකා සිය ධනය දුගී මගී යාචක ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දන් දී විමුක්තිය පිණිස ගිහි ගෙදරට සමු දී, තවුස් පැවිද්දෙන් පැවිදි විය. හැත්තෑ හතර දහසක් පිරිවර ඔහු සමඟ අභිනික්මන් කළහ. සරද තවුසාණෝ කසින භාවනා වඩා අෂ්ට සමාපත්ති, පංච අභිඤ්ඤ පිරිසුදු කොට සිය පිරිසට ද ඒ සඳහා මඟ දෙසූහ. සරද තවුසාණන් සිටි අසපුව පෙදෙසට අනෝමදස්සී බුදුරජාණෝ වැඩි සේක. මහා පුරුෂ ලකුණු බලා බුදුවරයකු බව දැන පැහැදී ශිෂ්‍ය තවුසන් ඔහු වෙනුවෙන් ගෙනා ප්‍රණීත පලවැල ද, මිහිරි සිසිල් පැන් ද පිදූහ. එවිට අග්‍රශ්‍රාවකයන් ඇතුළු ලක්ෂයක් රහතුන් එහි වැඩියහ. නිහතමානී ගුණයෙන් යුතු සරද තවුසාණෝ සිය ශිෂ්‍ය පිරිස සමඟින් මියුරු සුවඳැති වන මල් රැස්කොට වහ වහා සොඳුරු පුෂ්පාසන තනා පුෂ්ප ඡත්‍රයක් පිළියෙල කළහ. බුද්ධ ප්‍රමුඛ මහ සඟරුවන අනුකම්පාවෙන් මල් අසුන්හි වැඩ සිටි සේක. සරද තවුසාණෝ බුදුරදුන් මස්තකයෙහි සුවඳ පුෂ්ප ඡත්‍රය දරමින් සිටියහ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් නිරෝධ සමාපත්තියට සමවන් සේක. ශ්‍රාවකයෝ ද එසේ කළහ. නිරෝධ සමාපත්තියෙන් නැඟී සිටි බුදුරදුන්ගේ මෙහෙයවීමෙන් අග්‍රශ්‍රාවක නිසභ මහරහතන් වහන්සේ පුෂ්පාසන අනුමෝදනා දේශනාව වදාළහ. ද්විතීය ශ්‍රාවක අනෝම මහරහතන් වහන්සේ ද අනතුරුව දහම් දෙසූහ. පසුව බුදුරජාණන් වහන්සේ දහම් දෙසන කල්හි එහි සිටි හැත්තෑ හතර දහසක් පිරිස අරහත්වයෙහි පිහිටියහ. උන්වහන්සේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලදහ.

අග්‍රශ්‍රාවක නිසභ මහ තෙරුන් දෙස බලා උන්වහන්සේගේ පිවිතුරු සීල තේජස, නිහතමානී ගුණකඳ, මහා ප්‍රාඥ දේශනා විලාසය මෙනෙහි කරමින් උන් සරද තවුසාණන් තුළ ද එවන් මහරහත් උතුමෙක් වීමට සිත පිහිටියේ ය. සතියක් පුරාවට පුෂ්පාසන පූජාව පුදා පුෂ්ප ඡත්‍ර දරා සිටීමේ පින් බලයෙන් ‘නිසභ තෙරුන්ට සේ අනාගත බුදු සසුනක ශ්‍රාවකත්වය ලැබේවා.’ යි පැතීය. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ එය ගෞතම සම්බුදු සසුනේ සඵල වන බව වදාළ සේක.

කලණ මිතුරු සිරිවඩ්ඪ නම් කුලපුත්‍රයා තම හොඳම මිතුරා කළ මේ උදාර පින්කම ගැන දැනගෙන බුදු පාමොක් සඟරුවනට නිල් මහනෙල් මලින් සැරසූ මණ්ඩපයක් තනා සතියක් මහ දන් දී, ‘මගේ මිතුරු සරදයන් අගසව් ලබන සසුනේ දෙවන සව් වෙම්වා’යි පැතීය. බුදුරජාණෝ විවරණ දුන් සේක. අප බුදුරදුන් කල රජගහනුවර උපතිස්ස බමුණුගම සාරි බ්‍රාහ්මණ උත්තමාවිය කුස පිළිසිඳ ගත් සරද තවුසාණෝ මනුලොව උපන්හ. සිරිවඩ්ඪ කුලපුතු කෝලිත බමුණුගම මොග්ගලී බ්‍රාහ්මණතුමියගේ කුසින් බිහි විය. උපතිස්ස, කෝලිත පන්සියය බැගින් පිරිස් සහිත ව ශිල්ප ශාස්ත්‍ර උගෙන කාර්යශූර තරුණයෝ වූහ. ගිරග්ග සමජ්ජ පී‍්‍රති උත්සවය දැකුමට ගොස් ජීවිතය පිළිබඳ විශේෂයෙන් හිතන්නේ කළකිරී විමුක්තිය සොයා චාරිකාවේ පිටත් වූහ.

නුවණැති පැන විමසීම

සංජය නම් ප්‍රසිද්ධ පරිබ්‍රාජකතුමා හමුවේ ඔහු පහදන මඟ ඉගෙන ඉන් පලක් නොවන වග දැන නැවත නිවැරැදි මඟ පෙන්වන්නෙක් සොයමින් ඇවිද ගියහ. ශාන්ත ඉඳුරන් ඇති, නිවී ගිය ඉරියව් ඇති අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාගේ නෙත ගැටිණි. උන්වහන්සේ පිඬුසිඟා වැඩ ගස් සෙවණක හිඳ දන් වළඳා නිමවූහ.

“ඔබතුමා කවර ශාස්තෘවරයකු උදෙසා පැවිදි වූවෙහි ද? ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේ කවරහුද? කිනම් ධර්මයකට රුචි කරන්නේ ද?” කියා ප්‍රශ්න කළේ ය.

“අලුත පැවිදි වූ නිසා ගැඹුරු දහම් විග්‍රහයක් කිරීමට අපහසු ය. කෙටියෙන් ම කිවහොත්, යම් ධර්මයක් හේතූන් නිසා හට ගන්නේද ඒ හේතු සහ එම හේතූන්ගේ නිරුද්ධ වීම පිළිබඳ තථාගතයන් වහන්සේ වදාරන සේක. මහා ශ්‍රමණයන් වහන්සේ මෙබඳු අයුරින් දහම් පවසන සේක” යැයි ‘යේ ධම්මා හේතුප්පභවා’ ගාථා රත්නය වදාළ සේක. උපතිස්ස තරුණයා එහි පළමු පද දෙක අසන්නේ සෝවාන් ඵලය පසක් කළේ ය. අස්සජි තෙරුන් වැඳ නැවත පැමිණෙන බව පවසා කෝලිත මිත්‍රයා හමුව මේ දහම් පදය ම පවසන්නේ ඔහු ද දහම් ඇස ලබා ගත්තේ ය. සාධු සාධු මහා නුවණැත්තෝ ලෝකයෙහි දුර්ලභ ය. ඔවුහු වහා ධර්ම රසය හඳුනා ගනිත්ම ය.

සංජය පිරිවැජියාට ද මේ උතුම් පණිවිඩය පැවසූ නමුත් ඔහු එකඟ නොවූවෙන් “රුචි අයෙක් අප සමඟ ඒවා.” යි වේළුවනය බලා පිටත් වූහ. ඔවුන් පසුපස දෙසිය පනහක් පිරිස ආවෝ ය. දුරින්ම එන පිරිස දුටු අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රධානියන් දෙදෙනා අග්‍රශ්‍රාවකයන් වන බව හඳුනා ගත්හ. ඔවුන් සියල්ල පැවිදි උපසම්පදා කළහ.

ඒ මහා සංඝ සන්නිපාතයේ, දීම සාරිපුත්ත තෙරුන් වහන්සේ සහ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලදහ.

කාලය ගතවෙද්දී සාරිපුත්ත තෙරුන් ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අග්‍ර යැයි ද මොග්ගල්ලාන තෙරුන් සෘද්ධිමත් භික්ෂුන් අතර අග්‍ර යැයි ද පිළිවෙළින් ධර්ම සේනාධිපති සහ ධර්ම පුරෝහිත වන්නේ යැයි ද දෙව් මිනිසුන් අතර ප්‍රකට වූහ.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

අගසව් තනතුරු දීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දෙසූ සේක. අප බුදු සසුනේ ප්‍රථම වර්ෂ විස්ස ශික්ෂාපද නොපනවා මෙම උතුම් අවවාදයෙන් ම ශ්‍රාවක සඟ පිරිස හික්මී මඟ ඵල නිවනින් සැනසුණහ. දීර්ඝායුෂ්ක බුදු සසුන්වල සසුන අතුරුදහන් වීම දක්වා ම ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසීම වන්නේ ය. ආණා ප්‍රාතිමෝක්ෂයක් නොවන්නේ ය. ආණා ප්‍රාතිමෝක්ෂය යනු ඒ ඒ අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ විසින් පනවනු ලබන ශික්ෂා පදයන් ය. අප බුදු සසුන දිගුකල් පවතින්නේ බොහෝ ශික්ෂාපදවලින් යුතු ආණා ප්‍රාතිමෝක්ෂය මනාව පවතින නිසා ය.

“ඛන්තී පරමං තපෝ තිතික්ඛා - නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූපඝාතී - සමණෝ හෝති පරං විහේඨයන්තෝ”

“ඉවසීම තමයි උතුම්ම තපස කියලා කියන්නේ. ඒ අමා මහ නිවන සියල්ලට මම වඩා උතුම් බව බුදුවරු දේශනා කරත්. අනුන් නසන කෙනා පැවිද්දෙක් නොවේ. අනුන් වෙහෙසවන කෙනාත් පැවිද්දෙක් නොවෙයි.

“සියලු පව් නොකිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තම සිත පිරිසුදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනායි.”

“අන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනායි.”

මේ උතුම් ඕවාද ප්‍රාතිමෝක්ෂය මාස හයකට හෝ තුනකට හෝ මසකට වරක් සියලු සංඝයා රැස්කොට බුදුරජාණෝ වදාරන සේක. ඒ අනුව ශ්‍රාවකයෝ හික්මීමෙන් ප්‍රතිඵල ලබති. එය මුලින්ම වදාළේ අද වන් උතුම් නවම් පුර පසළොස්වක පොහෝ දිනයක යි.

ආයු සංස්කාරය අත්හැරීම

සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේ පිරිනිවන් වැඩි පසු අසූවැනි වියේ පසු වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ, ‘මාස තුනකින් පිරිනිවන් පාන්නෙමි. මාස තුනක් දක්වා පමණක් සමාපත්තීන්ට සමවැද ඉන් ඉදිරියට සම නොවදින්නෙමි.’ යි ආයු සංස්කාරය අත්හළ සේක.

ඒත් සමඟ ම මහපොළොව සැලී ගියේ ය. අකල් මේඝ හටගත්තේ ය. මෙසේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වී වදාළ සිවුවැනි සම්මා සම්බුදු රජාණෝ ද මාස තුනකට සීමා කොට අනුපාදිශේෂ පරිනිර්වාණයට දින නියම කොට වදාළහ. හටගත් සියලු සංස්කාරයෝ වැනසී යන්නාහ. අප්‍රමාදී ව කුසල් දහම් වැඩීම ම එකම රැකවරණය වන්නේ ය. මෙවන් වැදගත්කම් රාශියකින් යුතු නවම් පුර පසළොස්වක පොහෝ දින ප්‍රතිපත්ති පූජාව පෙරට ගෙන, ආමිස ප්‍රතිපත්ති යන ආකාර දෙකින් ම පින් කුසල් පුරමින් බුදු සසුනෙහි යෙදෙන්නට ඔබ සැමට වාසනාව ලැබේවා.

නවම් අව අටවක

පෙබරවාරි 09 සඳුදා
පූ.භා. 05.03 න් අව අටවක
ලබා 10 අඟහරුවාදා
පූ.භා. 07.29 න් ගෙවේ.
09 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]