පහන් සිතක කවි

සමරමු පොසොන් පෝදා ...

පායා පුරසඳ ගනඳුර බින්දාට
තරු හිනැහිලා නිලඹර දිලුනාට
බැඳිලා ලෝබ සිත දඩයමට
පෑතිස් නිරිඳු වැදුනා මහ වනයට

මුවාගෙ පස්සේ රජු ලුහුබැන්දා
පිබිදෙන සතුටින් දුනු දිය ඇද්දා
තිස්ස කියන හඬ රජු සිත බින්දා
දුනු හී අතහැර හිමිරුව වැන්දා

සම්බුදු සමිඳු තෙවරක් වැඩි ලක්බිමට
අනුබුදු මිහිඳු සමිඳුන් වැඩ මිස්සකට
අපි වෙමු පසිඳු සමනුන් ගිය බුදුමඟට
දෙසුවා සමිඳු පෑතිස් නරනිඳුට

ඉර පායන විට මිනිසුන් ඉරටත් වැන්දා
සඳපායන විට ගැමියන් සඳටත් වැන්දා
විසල් ගසක් විසල් ගලක් දුටුවත් වැන්දා
ගත විලි වසන්නට කොළ අතු ඇන්දා

පෑතිස් නිරිඳු හා හතළිස් දහසක් ආවා
චුල්ලහත්ති සුතුරට සැම කැටි කෙරුවා
අනුබුදු සමිඳු පිරිසට සදහම් දෙසුවා
තෙරුවන් සරණ ගොස් බොදුවන් වූවා

අහන්න බලන්න නිති දහමක් ලැබුණා
ලියන්න කියන්න නිති ශිල්පය ලැබුණා
නෙළන්න සදන්න නිති කලාව ලැබුණා
ගයන්න වයන්න නිති තාලය ලැබුණා


මම හරි ආසයි ...

වෙසක් පෝය දා පන්සල් යන්නට
සුදු මල් අරගෙන බුදුන් පුදන්නට
බණ මඩුවට වී කතා අහන්නට
මම හරි ආසයි සිල් අරගන්නට

නව ගුණ වැල ගෙන සසර ගණින්නට
ජීවිත ගමනේ එතෙර දකින්නට
සිල් රෙදි පොරවා බවුන් වඩන්නට
මම හරි ආසයි සිල් අරගන්නට

බෝ මළුවේ හිඳ මල් අතුරන්නට
වෙහෙර මළුවෙ බුදු පහස ලබන්නට
පොල්තෙල් පහනින් අඳුර නිවන්නට
මම හරි ආසයි සිල් අරගන්නට


නිවීම

එළිය ඇත
මකා අඳුර
සුවඳ ඇත
පැතිරෙයි දසත
කාලයට ඉඩදී
නිවී යයි එළිය
කපුරු පෙත්තක් සේ
නැතුව අළු ටිකක්වත්
උවම්, මඟ ඵල ඇත්ත
පසක් කර ගත් විට
මොහඳුරෙන් මිඳී
නවතා මෙතෙක් ආ ගමන
යා හැකි ය නිවනට
කපුරු පෙත්තක් දැවුණා සේ


කළොත් පින්

දුකක මහත
කියයි කළ පවුවල
උස - මහත
සැපතක මහත
විඳිනා සතුට
කියයි කළ පින්හි
උස - මහත

කළොත් පව්කම්
වෙයි - විපත් බොහෝ
කළොත් පින්කම්
බොහෝ සැප ලැබේ

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]