[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඉන්දක දෙවිඳුන්ගේ රැකවරණය ලබන මුතියංගණ සෑ රදුන් වහන්සේ

ඉන්දක දෙවිඳුන්ගේ රැකවරණය ලබන මුතියංගණ සෑ රදුන් වහන්සේ

සොළොස්මස්ථාන අතරින් හත්වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගණය මහ සෑ රදුන් වහන්සේ ය. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ නමුණුකුල කඳුවැටියෙන් ආරම්භ වන බදුලු ඔය සමීපයේ විහාරගොඩ ග්‍රාමයේ මුතියංගණ සෑ රදුන් වහන්සේ වැඩ සිටිති.

බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පුන් පොහෝ දා පන්සියයක් රහතන් වහන්සේ සමඟ ලංකාවට වැඩි තෙවැනි ගමනේ දී එනම්, කැලණියට වැඩම කළ අවස්ථාවේ දී ඌවේ නමුණුකුලට අධිපති ඉන්දක රජුගේ ආරාධනාවකට අනුව මෙම භූමිය වෙත වැඩම කළ බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.

එසේ ලැබූ ආරාධනයෙන් වැඩම කළ තථාගතයන් වහන්සේ වර්තමානයේ මුතියංගණය සෑරදුන් පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිට අනතුරුව ඉන්දක දෙවියන් ඇතුළු රැස්ව සිටි පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබා දුන් බවට විශ්වාස කෙරේ.

ඉන්දක දෙවියන් විසින් එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගෙන් පූජා පිණිස පූජනීය වූ යමක් අයැද සිටි බව කියැ වේ. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ විසින් කේශ ධාතුන් වහන්සේ ලබා දී ඇති අතර, ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේශයෙන් නිකුත් වූ දහදිය බිඳු කිහිපයක් ද ඉන්දක දෙවියන්ට ලබා දී ඇත. එසේ ලබා දුන් දහදිය බිඳු මුතු බවට පත් වූ බවත්, ඒවා “මුත්තක” ධාතුන් වහන්සේ ලෙසත් හඳුන්වා තිබේ.

එම මුතු පිහිටි අංගණය මුතියංගණය වූ බවට ද මතයක් පවතී. එමෙන් ම සසර දුකින් මිදීම යන අර්ථයෙන් “මුක්ති + අංගණය” මුතියංගණය වූ බවට ද මතයක් පවතී. ඒ වගේ ම මෙම ස්තූපයේ මුතු පොටක් තැන්පත් කර තිබෙන බැවින් මුතියංගණය නමින් ස්තූපයත්, විහාරයත් ප්‍රසිද්ධ වූ බව ද ජනප්‍රවාදයක කියැවේ. පුරාණ යුගයේ මෙම භූමියෙන් මුතු මතු වූ නිසා “මුතියංගණය” නමින් ප්‍රකට වූවා යැයි ද සිතිය හැකි ය.

ථූපවංශයේ සඳහන් වන ආකාරයට ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී දේවානම්පියතිස්ස රජු විසින් ගරා වැටී තිබූ ස්තූපය ගොඩනංවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අංකුරයක්, දෙතිස් අෂ්ටඵල රුකක් මුතියංගණ විහාර භූමියේ රෝපණය කිරීමටත්, රජුගේ අනුග්‍රහයෙන් අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනැංවීමටත් කටයුතු කර ඇත.

පසු කාලයේ දී ජෙට්ඨතිස්ස රජතුමා විසින් මුතියංගණ ස්තූපය ඇතුලු විහාරය ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බවට ද සැලකේ. එසේ ම ධාතුසේන, පළමුවැනි විජයබාහු යන රජවරු මෙහි නවකම් එක් කරන්නට ඇති බවට ද සාධක ඇත. ඉන් අනතුරුව පොළොන්නරුවේ මහා විජයබාහු රජතුමා ද, මහා පරාක්‍රමබාහු රජතුමා ද මුතියංගණ විහාරය ප්‍රතිසංස්කරණය කරවා සංවර්ධන කටයුතු කළ බව ද සඳහන් ය.

ඒ වගේ ම සතුරු ආක්‍රමණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මුතියංගණ ස්තූපය ද විනාශවීම්වලට බඳුන් වී තිබේ. පසු කාලෙක, එනම් මහනුවර යුගයේ දී පළමු රාජසිංහ රජු හා දෙවැනි රාජසිංහ රජු ද එම රජවරුන්ගෙන් පසුව පැමිණි රජවරුන් විසින් ද ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් මෙහි දියුණුවට කටයුතු කරන ලද බව ද සඳහන් වේ.

මෙම ස්තූපය උස අඩි හැට පහක් පමණ ද, වට ප්‍රමාණය අඩි හැත්තෑවක් පමණ ද වන මධ්‍යම ප්‍රමාණයේ බුබ්බුලාකාර හැඩයකින් යුතු ස්තූපයකි. මෙම විහාර භුමියේ අතීතයේ රහතන් වහන්සේ වැඩ සිටි බවත්, විශේෂයෙන් ම ලංකා ද්වීපයේ අවසන් මහ රහතන් වහන්සේ යැයි සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කළ බව ද සඳහන් වේ.

මජ්ක්‍ධිම නිකායට අයත් අටුවා ග්‍රන්ථයක දැක්වෙන්නේ මලියදේව මහ රහතන් වහන්සේ විසින් මෙම ස්ථානයේ දී “චරක්ඛ” නම් සූත්‍රය දේශනා කළ බවයි. එහිදී භික්ෂූන් වහන්සේ හැට නමක් රහත්ඵල ලැබූ බව ද සඳහන් ය. උන්වහන්සේගේ එම කාර්යය සිහිවීම පිණිස මලියදේව බෝධිය රෝපණය කර තිබේ.

මුතියංගණ ස්තූපය වර්තමානයේ තිබෙන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 1935 දී ය. ඒ වන විට ගරා වැටීමට මෙන් ම ගිලා බැසීමට පත්ව තිබූ ස්තූපය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. එවකට විහාරාධිපති ධුරය දැරූ නාහිමිවරුන් විසින් ලබා දුන් උපදෙස් අනුව නැවත ප්‍රතිසංස්කරණය කොට වර්ෂ 1959 සම්බුද්ධත්ව ජයන්ති සැමරුමේ දී ස්තූපයේ වැඩ කටයුතු නිම කර විවෘත කර තිබේ. අද අපට දක්නට ඇත්තේ එම ප්‍රතිසංස්කරණය කළ ස්තූපයයි. රන් වැටකින් වට කර ඇති එකම සෑ රදුන් වහන්සේ වන්නේ මුතියංගණ මහ සෑ රදුන් ය.

සැවැත්නුවර සිට වැඩම කරවන ලද ආනන්ද බෝධීන් වහන්සේ නමක් ද මෙම පින් බිමෙහි රෝපණය කර තිබේ. එමෙන් ම මීට දශකයකට පෙර රෝපණය කරන ලද අට විසි බෝධීන් වහන්සේ නමක් ද වැඩ සිටිති. අතීතයේ බෝධින් වහන්සේ හත් නමක් මෙහි වැඩ සිටි බව පැවසෙතත් අද වන විට රීපිත බෝධින් වහන්සේ තෙනමක් මේ පින්බිමේ වැඩ සිටිති.

මුතියංගණ පුද බිම හා සම්බන්ධිත තවත් පෞරාණික වටිනාකමක් ඇත්තේ අටවිසි බුදුවරුන්ගේ පිළිරූ සිතුවම් කර ඇති “පෙතිකඩ” යි. මේ පෙතිකඩ නියං සමයන්හි දී පුද පූජා මැද නමුණුකුළ කඳු මුදුනට වැඩම කොට දෙවියන්ට පින් දීමෙන් නියං සමය නිමා වන බව ජන ප්‍රවාදයේ පැවත එන්නකි.

අතීතයේ සිට අද දක්වා ම මුතියංගණ පුද බිම හා සම්බන්ධ පිළිවෙත් සහිත සුවිශේෂී මංගල්‍යය හතරක් ද වේ. ඒ අතරින් අලුත් අවුරුදු මංගල්‍යය විශේෂී ය. එහි දී හිසතෙල් ගෑමේ මංගල්‍යයට විශේෂත්වයක් හිමි වේ.

වෙසක් පෙරහර ද සුවිශේෂීය. පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර සහිත ව පවත්වන පෙරහර මෙරට පැරැණි ම මෙන් ම වෙසක් මාසයේ ලංකාවේ පවත්වන විශේෂිත පෙරහරකි. ඒ වගේම ඇසළ මාසයේ පවත්වන පෙරහර ද, නොවැම්බර් මාසයේ දී පවත්වන කාර්තික මංගල්‍යය ද තවත් විශේෂිත මංගල්‍යයන් වන්නේ ය.

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]